Connect with us

පුවත්

ජනපති, අගමැතිනිය හා විපක්ෂනායක මැයි දින පණිවුඩ එක්කරති

Published

on

අද දිනට යෙදෙන කම්කරු දිනය වෙනුවෙන් ජනපති අනුර දිසානායක මහතා, අගමැති හරිනි අමරසූරිය මෙනෙවිය හා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මැයි දින පණිවිඩ නිකුත් කර තිබේ.

මෙරට ආර්ථිකය යළි ඉහළට ඔසවමින් ස්ථාවර ආරම්භයක් ලබා ගත්තා – ජනපති

මෙරට ආර්ථිකය යළි ඉහළට ඔසවමින් ස්ථාවර ආරම්භයක් ලබා ගැනීමට මේ වන විට රජය සමත්ව ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මැයි දින පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ සමාජයේ විවිධ වෘත්තීන් නියෝජනය කරන සියලු පුරවැසියන් වෙනුවෙන් ප්‍රතිලාභ ලබා දීමට රජය විසින් කටයුතු කර ඇති බවය.

එමෙන්ම කම්කරු ජනතාව මුහුණ දෙන ගැටළු විසඳීමට හා ඔවුන්ගේ පුරවැසි අයිතිවාසිකම් තහවුරු කිරීමට රජය කටයුතු කරමින් සිටින බවද ජනාධිපතිවරයා සිය මැයි දින පණිවිඩය මගින් පෙන්වා දී තිබේ.

දිනූ අයිතීන් සුරකිමින් රට ගොඩනඟන්න එක්වෙමු – අගමැතිනිය

ජනතාවාදී රජයක් ලෙස ජනතා අවශ්‍යතා මැනවින් හඳුනා ගනිමින් විකෘති මාවතක ගමන්ගත් ආර්ථික, දේශපාලන, සමාජයීය, සංස්කෘතික මෙන්ම නෛතික රාමුව ද යළි ප්‍රකෘති මාවතකට ගැනීමට මහත් වෙහෙසක් දරමින් සිටින බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය කම්කරු දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

සමස්ත වැඩ කරන ජනතාව එක ධජයක් යටතේ පෙළගැසෙන්න – විපක්ෂනායක

සිය මැයි දින පණිවිඩය මගින් විපක්ෂනායකවරයා සඳහන් කර ඇත්තේ වැඩ කරන ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කිරීමට සහ දිනා ගැනීමට සමස්ත වැඩ කරන ජනතාව එක ධජයක් යටතේ පෙළගැසිය යුතු බවයි.

වර්තමාන රජය වැඩකරන ජනතාවට ලබා දුන් පොරොන්දු සහ ප්‍රතිපත්ති කඩ කරමින් කටයුතු කරන බවද සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දී තිබේ.

ජනපති, අගමැති හා විපක්ෂනායකවරයා විසින් නිකුත් කරන ලද මැයි දින පණිවුඩ වල සම්පූර්ණ සටහන් පහතින් දැක්වේ.

ජනපතිගේ සම්පූර්ණ මැයි දින පණිවිඩය

1886 වසරේ මැයි මස 01 වන දින ඇමෙරිකාවේ චිකාගෝ නුවර හේමාකට් චතුරශ්‍රයේදී, පැය 08ක සේවා මුරයක් ඉල්ලා විරෝධතාවක නිරත වෙමින් සිටියදී එල්ල වූ මර්දනීය වෙඩි ප්‍රහාරයෙන් රුධිරය වැගිරූ කම්කරුවන් සදාතනිකව සිහි කිරීමට 1889 වසරේ රැස් වූ දෙවන කොමියුනිස්ට් ජාත්‍යන්තරය තීරණය කළ අතර එතැන් පටන් සෑම වසරකම මැයි පළමුවන දා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.

ශ්‍රී ලංකාවේ වැඩකරන ජනයා ප්‍රමුඛ පොදු ජනතාව මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය සමරන්නේ මෙරට දූෂිත, ප්‍රභූ දේශපාලනය අවසන් කර ජනතාවාදී පාලනයක් තුළ රටත්, සමාජයත් ගැඹුරු සාධනීය පරිවර්තනයකට ලක් කරමින් තිබෙන අවස්ථාවකය. පවුල් සහ පරම්පරා කිහිපයක් 76 වසරක් පුරා තට්ටු මාරු ක්‍රමයට ගෙන ගිය දූෂිත පාලනය නිමා කර මෙරට දේශපාලනයේ සුවිශේෂී හැරවුමක් සනිටුහන් කිරීමට ඉකුත් ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී ජාති, ආගම් භේදයකින් තොරව මෙරට සිව් දෙස ජනතාව විසින් කටයුතු කරනු ලැබිණි. එකී ජනවරමේ අපේක්ෂා සාක්ෂාත් කරමින් මේ වන විට රට ආර්ථික, සාමාජයීය සහ දේශපාලන වශයෙන් පුළුල් පරිවර්තනයකට ලක් කිරීමට ජාතික ජන බලවේගයේ අපි කටයුතු කරමින් සිටින්නෙමු.

දුෂිත, ප්‍රභූ දේශපාලන ක්‍රමය තුළ පතුලටම ඇද දමා තිබූ මෙරට ආර්ථිකය යළි ඉහළට ඔසවමින් ස්ථාවර ආරම්භයක් ලබා ගැනීමට මේ වන විට අපි සමත් වී සිටිමු. එහි පැහැදිලි සංඥාවන් දැනටමත් සියලුදෙනාට පෙනෙන්නට තිබේ. රජයේ පළමු අයවැයේදීම ඉතිහාසයේ කිසි දා නොවූ අයුරින් රාජ්‍ය සේවකයන්ගේ අවම වැටුප සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ නැංවීම ඇතුළු ගොවි ජනතාව, ධීවර ජනතාව, තරුණයින්, කාන්තාවන්, සිසුන් පමණක් නොව නිෂ්පාදකයන්, සුළු පරිමාණ ව්‍යාපාරිකයන්, විවිධ වෘත්තීන්හි නිරත වන්නන් ආදී සමාජයේ සියලුදෙනා වෙනුවෙන් ප්‍රතිලාභ ලබා දීමට අපි කටයුතු කර ඇත්තෙමු. එසේම වතුකරයේ කම්කරු ජනතාව මුහුණ දෙන ගැටලු විසඳීමට හා ඔවුන්ගේ පුරවැසි අයිතිවාසිකම් තහවුරු කිරීමටද අපි කටයුතු කරමින් සිටිමු.

දිනෙන් දින අලුත් වන නිෂ්පාදන බලවේගවලට සමගාමීව අප භුක්ති විඳින අයිතිවාසිකම්හි නව පරිච්ඡේදයක අවශ්‍යතාව අපි දකිමු. 1948 මානව හිමිකම් න්‍යාය පත්‍රයේ නොතිබූ, ඩිජිටල් ප්‍රවේශ අයිතිවාසිකම්, පාරිසරික අයිතිවාසිකම් ආදියද ඇතුළත්ව වෙනස් වන දේශපාලන පද්ධතින්හි මතු වීම සහ ලෝක සාමය තහවුරු කරමින්, නව සංවර්ධන අවශ්‍යතා මත පදනම්ව මානව හිමිකම් පිළිබඳ යාවත්කාලීන වූ විශ්ව ප්‍රකාශනයක අවශ්‍යතාව වත්මන් සමාජය ඉල්ලා සිටී. ඒ පිළිබඳව සංවේදී වීම සහ මැදිහත් වීමේ අවශ්‍යතාවද ජාත්‍යන්තර කම්කරු දිනය සමරන මේ අවස්ථාවේ අපි යළි සිහිපත් කරමු.

ජාත්‍යන්තර භූ දේශපාලනික වෙනස්කම් සහ අභියෝග හමුවේ නොසැලෙන ආර්ථිකයක් ගොඩනැංවීම වෙනුවෙන් වෙහෙසෙන මෙරට වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කරමින් හා ප්‍රවර්ධනය කරමින් දූෂිත ප්‍රභූ දේශපාලනය බිද හෙළූ මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කර “ලස්සන ජීවිතයක් සහ පොහොසත් රටක්” නිර්මාණය කිරීමට සහෝදරත්වයෙන් එක්ව පොර බැඳීමට මෙරට ආදරණීය වැඩකරන ජනතාවට ආරාධනා කරමින්, වැඩ කරන ජනතා අයිතින් සුරක්ෂිත කෙරෙන අර්ථවත් වූ ජාත්‍යන්තර කම්කරු දිනයකට ශුභාශිංසන එක් කරමි.

අග්‍රාමාත්‍යවරියගේ මැයි දින පණිවුඩය

වැඩකරන ජනතාව ලෙයින් දහදියෙන් ජීවිත පරිත්‍යාගයෙන් ගමන් කළ වේදනාකාරී ඉතිහාසය නිමා කරමින් ජයග්‍රාහී වර්ෂයක ජනතා රජයක් යටතේ ⁣ 139 වන ලෝක කම්කරු දිනය සමරමු.

හැත්තෑ පස් වසරක් පුරා පාලක පන්තියේ තාඩනපීඩන මතින් නැගී සිටිමින් දුෂිත දේශපාලනය මුලිණුපුටා දමමින් ජනතාවගේ රජයක් යටතේ මෙවර කම්කරු දිනය සැමරීම ඓතිහාසික සංධිස්ථානයක් සනිටුහන් කරයි.

කල්ලිවාදය, දෙශපාලන හිතවත්කම් සහ ගජමිතුරු සැලකීම් හමුවේ අසාධාරණයට පත්ව සිටි වැඩ කරන ජනතාව 2024 වර්ෂයේ අභියෝගාත්මක තීරණයක් ගනිමින් ⁣සමස්ථ දේශපාලන සංස්කෘතිය උඩුයටිකුරු කිරීම අගාධයට ඇද දැමූ රට ගොඩ ගැනීමට ගත් අභිත ව්‍යායාමයකි.

ජනතාවාදී රජයක් ලෙස ජනතා අවශ්‍යතා මැනවින් හදුනාගනිමින් විකෘති මාවතක ගමන් ගත් ආර්ථික, දේශපාලන, සාමාජයීය, සංස්කෘතික මෙන්ම නෛතික රාමුවද යළි ප්‍රකෘති මාවතකට ගැනීමට අපි මහත් වෙහෙසක් දරමින් සිටිමු.

වසර ගණනාවක් පුරා මෙරට වෙලාගත් දූෂණය හා අසාධාරණය එක රැයකින් වෙනස් කිරීම කළ නොහැකි වුවද රජය ක්‍රමාණුකූලව සියල්ල ක්‍රමවත් කරමින් ජනතා අවශ්‍යතා වෙනුවෙන් ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කරමින් තිබේ.

රාජ්‍ය, පුද්ගලික, ව්‍යවසාය, කම්කරු ඇතුළු සමස්ථ වැඩකරන ජනතාවගේ ආර්ථික බලවේගයන් ශක්තිමත් කිරීමට රජය ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කර ඇති අතර රට අහරින් ස්වයංපෝෂිත කිරීමට පෙරමුණ ගන්නා ගොවි ජනතාව ශක්තිමත් කිරීමටද සුදානම්ය.

අප පසුකරමින් සිට්න්නේ ජනතාවගේ ආරක්ෂාව, ස්වාධිනත්වය, අයිතීන් ආරක්ෂා කරමින් වඩාත් ස්ථාවර විශ්වාසනීය අනාගතයක් ලඟා කර ගැනීමට එක්ව කැපවිය යුතු කාලයකි.

දිනු අයිතීන් සුරකිමින් රට ගොඩනගන්නට එකාවන්ව එක්ව අධිෂ්ඨානයෙන් කටයුතු කරමු.

විපක්ෂනායකවරයාගේ සම්පූර්ණ මැයි දින පණිවිඩය

Continue Reading

පුවත්

දෙවැනි වටයේ අභි­යා­චනා ඉදි­රි­පත් කිරීම අද සිට Online ක්‍රම­යට

Published

on

By

2024 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරී­ක්ෂ­ණයේ ප්‍රති­ඵල මත පාස­ල්වල 2025 වර්ෂයේ 6 ශ්‍රේණි­යට ඇතු­ළත් වීමේ දෙවැනි වටයේ අභි­යා­චනා ඉදි­රි­පත් කිරීම අද (03) සිට 17 වැනිදා දක්වා මාර්ග­ගත ක්‍රම­වේ­දය ඔස්සේ සිදු කළ හැකි බව අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය දැනුම් දෙයි.

අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ නිල වෙබ් අඩ­විය වන www.moe.gov.lk වෙත පිවිස උප­රිම පාසල් 3ක් සඳහා අභි­යා­චනා ඉදි­රි­පත් කිරීමේ හැකි­යාව පව­තියි. g6application.moe.gov.lk දිගුව ඔස්සේ ඍජු­වම අභි­යා­චනා යොමු කිරීමේ හැකි­යාව ඇත

Continue Reading

පුවත්

වැසි වාර කිහිපයක්

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම්දී තිබේ.

Continue Reading

පුවත්

මෙරට සූකර වෛරසය රුසියානු එකට සමානයි; උණ නිසා ඌරන් හැටහත්දාහක් මිය ගිහින්

Published

on

By

සූකර වයිරසයෙන් මියගිය මෙරට ඌරන්ගේ සාම්පල කීපයක් ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානය පාලනය යටතේ ඇති කැනඩාවේ විද්‍යාගාරයකට යවා කරන ලද පරීක්ෂණයකදී අනාවරණය වූයේ සාම්පලවලින් සියයට 60 කට වැඩි ප්‍රමාණයක් රුසියානු කලාපයේ පැතිරුණු වයිරසයට සමාන බව යැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය කියයි.

සූකර උණ රෝගයෙන් පසුබෑමට ලක්වූ සූකර කර්මාන්තයේ ඉදිරි සැලසුම් පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (02) පැවැති මාධ්‍ය හමුවේදී අධ්‍යක්ෂ ජනරාල්වරිය මේ බව කියා සිටියාය.

මෙරට සූකර ගොවිපොළ 2,500 ක පමණ මෙම අප්‍රිකානු සූකර වයිරසය ව්‍යාප්තවීම නිසා මෙරට ගොවිපොළවල සිටි ඌරන් 67,000 කට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇතැයි අනාවරණයවී ඇත.

මෙරටට සත්වයකු හෝ මාංශයක් ගෙන එන්නේ නම් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පූර්ණ නිෂ්කාශන බලපත්‍රයක් ලබාගත යුතු බවත්, එලෙස බලපත්‍රයක් රහිතව ගෙන්වූ අවස්ථාද රේගුවේදී වාර්තා වන බවද ඇය පැවසුවාය.

එමෙන්ම, මෙරටට එන ගුවන් යානා සහ වරායට එන නැව්වල ඉඳුල් කොටස් බැහැර කරනු ලබන්නේ අදාළ රටට බවත්,මෙම ඉඳුල් සූකර ගොවිපොළවලට රැගෙන යන බවත්, එම ඉඳුල් නිරෝධායනයට ලක් නොවන බවද ඇය කීවාය. මේ නිසා සූකර උණ සහිත රටක ඉඳුල් ඔස්සේද මෙම රෝගය ව්‍යාප්ත වියහැකි බවද ඇය පැවසුවාය.

මෙම ඉඳුල් අධික උෂ්ණත්වයකින් රත් කිරීමේදී අදාළ වයිරසය මියයන බවද ඇය කීවාය.

මෙම අවස්ථාවට සහභාගි වූ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පශු සම්පත් සංවර්ධන) ආචාර්ය පාලිකා ප්‍රනාන්දු කියා සිටියේ සූකර ගොවිපොළවලින් 251 ක් මේ වනවිට ආරම්භ කර තිබෙන නමුත්, තවමත් අවිධිමත් ලෙස පවත්වාගෙන යන ගොවිපොළවලින් සතුන් මියයෑම් වාර්තා වන බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved