Connect with us

පුවත්

ජනපති මන්දිරයේ කෝටි 3ක බඩු ඉස්සුවේ පැන්න හොරුද උන්නු අයද?

Published

on

ජනාධිපති මන්දිරයේ සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය අංශය සතුව තිබූ රුපියල් කෝටි තුනහමාරකට ආසන්න වටිනාකමකින් යුත් භාණ්ඩ රැසක් අස්ථානගතවී ඇති බව විගණකාධිපතිවරයා සිදුකළ විගණනයකින් හෙළිවී තිබේ.

අස්ථානගත වී ඇති කිසිදු භාණ්ඩයක් සම්බන්ධයෙන් විගණිත දිනය වනතෙක් කිසිදු විමර්ශනයක් සිදුකර නොතිබූ බවද වාර්තාවේ සඳහන්ය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු 2019 නොවැම්බර් 18 වනදා කරන ලද දැනුම්දීමකට අනුව ජනාධිපති මන්දිරයේ ගබඩා භාරකරු කළ සොයාබැලීමකදී එහි තිබූ ඉන්වෙන්ට්‍රිගත අයිතම 35කට අයත් භාණ්ඩ 61ක් අස්ථානගතවී ඇති බව හෙළිවී ඇතත් ඒ පිළිබඳව 2022 මාර්තු මාසය දක්වා කිසිදු විමර්ශනයක් සිදුකර නොමැති බව විගණන වාර්තාවේ සඳහන්ය.

2015 වර්ෂයේ සිට 2020 ජනවාරි මාසය දක්වා ලබාදී තිබූ රුපියල් එක්කෝටි තුන්ලක්ෂ අසූදහස් විසිතුනක් වටිනා පරිගණක 52න් පරිගණක 4ක් නැවත භාරදී තිබූ අතර ඉන් පරිගණක දෙකක් නැවත භාවිතයට ගත නොහැකි තත්ත්වයේ තිබූ බව විගණන වාර්තාවේ දැක්වෙයි.

2015 සිට 2020 ජනවාරි දක්වා මාධ්‍ය අංශයට අනියුක්ත නිලධාරීන් වෙත ලබාදී තිබූ රුපියල් තිස්හතර ලක්ෂ හැත්තෑදහස් හත්සිය හතලිස් දෙකක් වටිනා ජංගම දුරකථන හා අයිපෑඩ් 45ක් අතරින් ජංගම දුරකථන 14ක් සහ අයිපෑඩ් 03ක් ආපසු කාර්යාලයට භාරදී තිබුණද ඉන් ජංගම දුරකථන 09ක් සහ අයිපෑඩ් 02ක් ක්‍රියාකාරී තත්ත්වයේ නොතිබී ඇති බවද විගණන වාර්තාව අනාවරණ කරයි.

මාධ්‍ය අංශයේ භාණ්ඩ සම්බන්ධයෙන් එහි ඉන්ජිනේරුවන් විසින් ජනාධිපති ලේකම් වෙත යොමු කරන ලද වාර්තාවකට අනුව එම ඒකකය සතුව තිබූ රුපියල් කෝටි තුනහමාරකට ආසන්න වටිනාකමකින් යුත් භාණ්ඩ රැසක් අස්ථානගතවී ඇති බවද විගණන වාර්තාවේ සඳහන්ය.

අදාළ වාර්තාවට අනුව 2015 සිට 2020 ජනවාරි දක්වා කාලය තුළ රුපියල් එක්කෝටි හැත්තෑහත් ලක්ෂ අසූහයදහස් තුන්සිය විසිපහක් වටිනා ලැප්ටොප් පරිගණක 104ක් ලබාදී තිබුණු අතර විගණිත දිනය වනවිට යළි කාර්යාලයට භාරදී ඇත්තේ ඉන් ලැප්ටොප් පරිගණක 26ක් සහ මැක් බුක් එයාර් වර්ගයේ පරිගණක දෙකක් පමණක් බව වාර්තාව පවසයි.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ කතරගම ජනාධිපති මන්දිරයේ අයිතම 12කට අයත් භාණ්ඩද අනුරාධපුර ජනාධිපති මන්දිරයේ රූපවාහිනී යන්ත්‍ර දෙකක්ද අස්ථානගතවී ඇති බවය.

මේ කිසිදු භාණ්ඩයක් සම්බන්ධයෙන් විගණිත දිනය වනතෙක් කිසිදු විමර්ශනයක් සිදුකර නොතිබූ බවද වාර්තාවේ සඳහන්ය.

පැන්න හොරු 56ක් අල්ලලා!

මේ අතර, කොටුව ජනාධිපති මන්දිරයට ඇතුළුවීම, එහි දේපළ සොරකම් කිරීම හා අනර්ථ සිදුකිරීමට අදාළව සැකකරුවන් 56 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

එම පිරිස අතර කලාකරුවන්, වෘත්තිය සමිති ක්‍රියාකාරීන් සහ දේශපාලන ක්‍රියාකාරීන්ද සිටින බව එම ඒකකය සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව තවත් පුද්ගලයන් 58 දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදුවන බව එම ඒකකයේ උසස් නිලධාරියෙක් මාධ්‍යට හෙළිකර තිබේ.

පුවත්

හිටපු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ට ඇප

Published

on

By

ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ලෙස ලියාපදිංචි වී ඇති මෝටර් රථයක් සඳහා අංක තහඩුවක් නිකුත් කිරීම සඳහා අනුමැතිය දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු මෝටර් රථ කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු සැකකරුවන් හතර දෙනෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රත් අධිකරණය නියම කර තිබේ.

අල්ලස් කොමිසමේ සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

ඒ අනුව සැකකරුවන් තුන් දෙනෙකු රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් හා එක් සැකකරුවෙකු රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කල මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය හමුවට භාර දෙන ලෙසත් නියෝග කළාය.

ඉන් අනතුරුව නඩුව යළි නොවැම්බර් 14 යළි කැඳවීමටද මහෙස්ත්‍රාත්වරිය නියම කළාය.

Continue Reading

පුවත්

ගොවි විශ්‍රාම වැටුප ගැන නිවේදනයක්

Published

on

By

විශ්‍රාම වැටුප් අහිමිවී සිටින ගොවීන් සඳහා මේ මස සිට එම විශ්‍රාම වැටුප් ලබාදීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බව ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

සිය ගැටලුව සම්බන්ධයෙන් ගොවීන් රජය වෙත කළ ඉල්ලීම් සලකා බලා එම විශ්‍රාම වැටුප් ගෙවීමට පියවර ගෙන ඇති බව එම මණ්ඩලය සඳහන් කළේය.

2012 /2013 කාලය තුළ ගොවි විශ්‍රාම වැටුප් අරමුදලට සිදුවු බලපෑම හේතුවෙන් විශ්‍රාම වැටුප් ගෙවීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීම මත විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායක වී සිටින ගොවීන්ගේ පසුවාරික අයකිරීමේ ක්‍රියාවලිය අඩාල වී ඇති බව සඳහන්ය.

මෙම තත්ත්වය හේතුවෙන් එම යෝජනා ක්‍රමය යටතේ දායකත්වය ලබා සිටි ගොවීන්ට වාරික නිසි පරිදි ගෙවීමට නොහැකි වී තිබේ.

මේ හේතුවෙන් වයස අවුරුදු 60 සම්පුර්ණ වන අවස්ථාවේ දී නොකඩවා කන්න දෙකක් තුළ වාරික 5ක් නියමිත දිනට නොගෙවීම මත ගෙවිය යුතු සම්පුර්ණ වාරික මුදලින් සියයට 75කට නොඅඩු වාරික ප්‍රමාණයක් ගෙවා ඇති ගොවීන්ට වැටුප් හිමිකම් අහිමි වී තිබුණි.

කෙසේවෙතත් මෙම වාරික ගෙවීමට නොහැකි වීම ගොවීන්ගේ අතපසුවීමක් නොවන බව ගොවි ජන රක්ෂණ මණ්ඩලය පෙන්වා දුනි.

ඒ අනුව අදාළ ඉල්ලීම් සලකා බලා සියයට 75ට වැඩි වාරික මුදලක් ගොවි විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා ගෙවා ඇති ගොවීන් වෙනුවෙන් අදාළ වාරික මුදලට ගැලපෙන ප්‍රතිශතාත්මක මුදලක් විශ්‍රාම වැටුප ලෙස ලබා දීම සම්බන්ධයෙන් කෘෂි කර්ම අමාත්‍යවරයා දැනුවත් කර තිබේ.

ඒ අනුව ගොවි විශ්‍රාම වැටුප් උපදේශක කාරක සභාව වෙත යොමුකර එහි නිර්දේශ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මාසිකව ගොවි විශ්‍රාම වැටුප් ලබා ගැනීමේ අවස්ථාව මේ මස සිට ගොවීන්ට ලබාදීමට කටයුතු සංවිධානය කර ඇති බව ගොවි ජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේය.

Continue Reading

පුවත්

කරදියාන කසළ අංගනයේ ගින්නක්

Published

on

By

පිළියන්දල කරදියාන කසළ අංගනයේ ගින්නක් හටගෙන ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි.

ගින්න නිවීම සඳහා මොරටුව නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ජල බව්සර් හතරක්, ගිනි නිවීමේ රථ දෙකක් සහ ගිනිබටයන් 15කුත් කණ්ඩායමක් ඒ සඳහා යොමු කර ඇති බව එහි ස්ථාන භාර නිලධාරී දුල්සිරි කුමාර මහතා පැවසුවේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved