එප්පාවල උත්සවයකට පැමිණෙන ජනාධිපතිවරයා ඝාතනය කිරීම සඳහා ස්නයිෆරයක් අවශ්‍ය බව පවසා මුහුණු පොතේ සටහනක් තැබූ තරුණයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ගෙන ඇත.
මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්ව ඇත්තේ එප්පාවල, මැඩියාව ප්‍රදේශයේ පදිංචි බේකරි නිෂ්පාදන ජංගම අලෙවිකරුවකු ලෙස සේවය කරනු ලබන19 හැවිරිදි තරුණයෙකි.
ඊයේ (03) දින පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එප්පාවලදී එම තරුණයා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා කොළඹට රැගෙන ගොස් ඇත.
උතුරු මැද පළාතේ පැරණිතම පාසල වන එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේ 150 වැනි සංවත්සර සැමරුම වෙනුවෙන් එළැඹෙන 07 වන දින පස්වරු 03.00 ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී වීමට නියමිතව සිටින පසුබිමක අදාළ තරුණයා විසින් ඊයේ (03) දින පෙරවරුවේ තම ෆේස් බුක් පිටුවේ ජනතාවගේ ආවේගය ඇවිස්සෙන පරිදි සටහනක් තබා ඇත.
එම සටහන සම්බන්ධයෙන් බුද්ධි අංශ නිළධාරීන්ට තොරතුරු ලැබීමෙන් අනතුරුව පරීක්ෂණ සිදු කිරීම සඳහා ඔහු එප්පාවල පොලීසියට කැඳවා කරුණු විමසා ඇති අතර, වැඩිදුර පරීක්ෂණ සිදු කිරීම සඳහා අදාළ තරුණයා ඊයේ (03) රාත්‍රියේම කොළඹ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගොස් ඇත.
අනතුරුව ඔහුගෙන් සිදුකල ප්‍රශ්න කිරීම් වලදී පවසා ඇත්තේ ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ සැලසුමක් හෝ අවශ්‍යතාවක් තමන්ට නොපවතින බවත් තමන් මෙම ෆේස්බුක් සටහන දුරදිග නොසිතා දැමුවක් බවත්ය.
මේ වන විට අදාළ සටහනද එම තරුණයා විසින් සිය ෆේස් බුක් ගිණුමෙන් ඉවත් කර ගෙන ඇති බවත් ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත.
අදාළ තරුණයා ස්නයීෆර් ගැන දන්නේ කෙසේදැයි විමසා ඇති අතර, තමන් පබ්ජි වැනි පරිඝණක හා ජංගම දුරකථන ක්‍රීඩා සිදු කරන බවත්, ඒවායේ දුර සිටින පුද්ගලයින් ඝාතනය කිරීම සඳහා ස්නයිෆර් යොදා ගන්නා බවත් පවසා ඇත.
අදාළ තරුණයා පරිගණක හා ජංගම දුරකථන ක්‍රීඩා සඳහා තදින් ඇබ්බැහි වූවෙකු බවද පරීක්ෂණ නිළධාරීන් පවසයි.
එම තරුණයාගේ පියා කුලී රථ රියදුරකු ලෙස සේවය කරන බවත්, ඔවුන් අපරාධ සඳහා සම්බන්ධ පුද්ගලයින් නොවන බවත් අනාවරණය වී ඇත.
කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.