Connect with us

පුවත්

ජනපති සිංගප්පූරුවේ හා ජපානයේ නිල සංචාරයක

Published

on

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ සහ ජපානයේ නිල සංචාරයක් සඳහා හෙට (23) අළුයම දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

සිය එක් දින සිංගප්පූරු සංචාරයේ දී ජනාධිපතිවරයා සිංගප්පූරුවේ නීතිය හා ස්වදේශ කටයුතු අමාත්‍ය කේ. ෂන්මුගම් මහතා ඇතුළු එරට ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් කිහිප දෙනෙකු සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

මැයි 24 සිට 27 දක්වා සිදු කෙරෙන ජනාධිපතිවරයාගේ ජපාන නිල සංචාරයේ දී එරට අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා ( Fumio Kishida) මහතා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා නව ප්‍රවේශයන් ඔස්සේ ශක්තිමත් කර ගැනීම පිළිබඳවත්, කලාපීය සහ ජාත්‍යන්තර කටයුතු පිළිබඳවත් එහිදී අදහස් හුවමාරු කර ගනු ඇත.

එමෙන්ම ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි  (Yoshimasa Hayashi), මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි (Shunichi Suzuki) මෙන්ම  ඩිජිටල්කරණය  පිළිබඳ අමාත්‍ය ටාරෝ කොනෝ (Taro Kono) යන මහත්වරුන් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැයි 25 සහ 26 දෙදින ටෝකියෝ නුවර පැවැත්වෙන “ආසියාවේ අනාගතය පිළිබඳ 28 වන ජාත්‍යන්තර සමුළුව (Nikkei) ඇමතීමට නියමිතය.

ආසියාවේ අනාගතය පිළිබඳ ජාත්‍යන්තර සමුළුව යනු ආසියා පැසිෆික් කලාපයේ දේශපාලන, ආර්ථික සහ කලාපීය ගැටළු හා ලෝකයේ ආසියාවේ භූමිකාව පිළිබඳව කලාපයේ නායකයන් එක්ව අදහස් හුවමාරු කර ගන්නා  ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර සමුළුවකි.  ජපානයේ “නික්කෙයි” (Nikkei)  පුවත්පත 1995 වසරේ සිට වාර්ෂිකව මෙම සමුළුව සංවිධානය කරනු ලබයි. 

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන – ශ්‍රී ලංකා ව්‍යාපාරික සහයෝගිතා කවුන්සිලය,  ජපානයේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සහ ජපාන – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය සමඟ ද සාකච්ඡා පවත්වනු ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ අවමංගල්‍ය  උත්සවයට සහභාගීවීමට 2022 සැප්තැම්බර් මාසයේ ජපානයේ සංචාරයක නිරත වූ අතර වත්මන් ධූර කාලය තුළ ජනාධිපතිවරයා ජපානයේ සිදුකරන දෙවන සංචාරය මෙයයි.

ජනාධිපතිවරයාගේ ජපාන සංචාරය දෙරට අතර සහයෝගීතාව සහ මිත්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති  ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ, ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරයට එක් වෙති.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

කහවත්ත ඝාතන සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙකු ජූලි 28 දක්වා රිමාන්ඩ්

Published

on

By

පසුගියදා කහවත්ත ප්‍රදේශයේදී තරුණයෙකු දණගස්වා වෙඩි තබා ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගැනුනු සැකකරුවන් සිව් දෙනාගෙන් දෙදෙනෙකු ජූලි 28දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, ඔවුන් දෙදෙනා අද (17) පැල්මඩුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඊයේ අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර පැල්මඩුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස හෝමාගම වැඩබලන මහෙස්ත්‍රාත්වරිය ඊයේ (16) නියෝග කළාය.

අත්අඩංගුවට ගැණුනු අනෙක් සැකකරුවන් දෙදෙනා දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ද හෝමාගම වැඩබලන මහෙස්ත්‍රාත් ප්‍රියංකා මද්දුම පටබැඳි මෙනවිය ඊයේ පොලීසියට අවසර ලබා දී තිබුණි.

සබැඳි පුවත් :

Continue Reading

පුවත්

අලුත උපන් බිළිදෙකු වෙල්‍‍යායකින් හමුවෙයි

Published

on

By

කුරුණෑගල මාවතගම පරගහදෙණිය සිංහපුරපාර ප්‍රදේශයේ වෙල්යායක දමා ගොස් සිටියදී අලුත උපන් බිළිදෙකු සොයා ගෙන තිබේ.

අද උදෑසන වෙල්යාය මැදින් ගමන් කළ ගැමියෙකු මෙම දරුවා දැකීමෙන් අනතුරුව මාවතගම පොලිසිය දැනුවත් කර ඇත.

ඒ අනුව, පොලිසිය එම ස්ථානයට පැමිණ ඇති අතර, බිළිඳා මාවතගම රෝහලට ඇතුළත් කර තිබේ.

බිළිදා පරීක්ෂා කළ වෛද්‍යවරයෙකු පවසා ඇත්තේ මෙම දරුවා ඉපදී දිනක් හෝ දින දෙකක් පමණ ගතවන්නට ඇති බවය. 

මූලික පරීක්ෂාවලින් අනතුරුව බිලිඳා කුරුණෑගල ශික්ෂණ රෝහලේ නොමේරු ළදරු ඒකකය වෙත මාරුකර යැවීමට මාවතගම රෝහල් බලධාරීන් පියවර ගෙන තිබේ.

Continue Reading

පුවත්

හෙද සේවයට ලබාදී තිබූ නියෝගයක් බල රහිත කරමින් නියෝගයක්

Published

on

By

රජයේ සේවයේ නියුතු හෙද ශ්‍රේණි හතරක හෙද නිලධාරීන් හා නිලධාරිනියන් වයස අවුරුදු හැටේදී (60) දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට ඉකුත් රජය සමයේ අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් අභියාචනාධිකරණය විසින් මීට පෙර නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝගයක් නිකුත් කර තිබේ.

ඊට අමතරව මෙම කරුණට අදාළව අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෙත්සම යළි විභාගයට ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අභියාචනාධිකරණය වෙත තවත් නියෝගයක් නිකුත් කර ඇත.

අභියාචනාදීකරණය විසින් නිකුත් කළ අදාළ අතුරු තහනම් නියෝගය නීතියට පටහැනි බවත් එය බල රහිත කරන ලෙසත් ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ අභියාචනයක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කළේය.

යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ ඒ. එච්.එම්.ඩී. නවාස් යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

රජයේ සේවකයින් වයස අවුරුදු හැටේදී අනිවාර්යය විශ්‍රාම ගැන්වීමට ඉකුත් රජය සමයේ අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගෙන තිබුණි.

එම තීරණයට එරෙහිව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සහ එහි සභාපති පූජ්‍ය මූරුත්තේට්ටුවේ ආනන්ද හිමි ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම් විභාග කළ අභියාචනාධිකරණය අදාල තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වලමින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇත.

මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එවැනි නියෝගයක් නිකුත් කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවත් සඳහන් කරමින් නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කළේය.

එම පෙත්සම විභාග කිරීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

 (අරුණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved