Connect with us

පුවත්

ජපන් අරමුදල් වලින් ලැබුණු පොහොර කෘෂිකර්ම අමාත්‍යාංශයට භාරදෙයි

Published

on

ඉදිරි මහ කන්නයේ දී බෙදා හැරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින්, ජපන් ආධාර යටතේ ලබාගත් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 8,360 ක් මේ සතියේ කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත භාර දී ඇත.

මෙම අත්‍යාවශ්‍ය පොහොර ශ්‍රී ලංකාවේ වියලි සහ අතරමැදි කලාප වල දිස්ත්‍රික්ක කිහිපයක කුඩා පරිමාණ වී ගොවීන් 228,000 කට අධික පිරිසක් වෙත බෙදාහරිනු ලබන අතර, නිෂ්පාදනය ඉහළ නැංවීම සහ දිවයිනේ කුඩා පරිමාණ වී ගොවීන්ගේ ජීවනෝපාය නංවාලීම මෙහි අරමුණය.

කුරුණෑගල, යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, වවුනියාව, ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක වල හෙක්ටයාර් එකක් දක්වා වන කුඹුරු ඉඩම් වගාකරන වී ගොවීන් ඉලක්ක කරගෙන මෙම ආධාරය සිදු කරනු ලැබේ. 

මෙම හදිසි ආධාර වැඩසටහන යටතේ හෙක්ටයාර 0.5 දක්වා කුඹුරු ඉඩම් වගා කරන ගොවීන් සඳහා යූරියා පොහොර කිලෝ ග්‍රෑම් 25ක්ද, කුඹුරු ඉඩම් හෙක්ටයාරය දක්වා වගා කරන ගොවීන් සඳහා යූරියා පොහොර කිලෝ ග්‍රෑම් 50ක්ද බැගින් කිසිදු අය කිරීමකින් තොරව ලබා දෙනු ඇත. 

දිවයිනේ කෘෂිකාර්මික ඉලක්කයන් ඉදිරියට ගෙනයාමේ දී ලැබෙන මෙම සහයෝගයේ වැදගත්කම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙසේ පවසා ඇත : “මෙම යූරියා පොහොර ආධාරය ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය කරායන ගමන සඳහා රුකුලක් වනු ඇත. අපගේ ගොවීන්ගේ අවශ්‍යතා සපුරාලීමෙන් අපි වඩාත් සවිමත් සහ සමෘද්ධිමත් කෘෂිකාර්මික අංශය වර්ධනය සඳහා අනුබල දෙමින්, ශ්‍රී ලංකාවේ කුඩා පරිමාණ වී ගොවීන්ට ලබාදුන් මෙම වටිනා ආධාරය වෙනුවෙන් මම ජපාන රජයට සහ ජපාන ජනතාවට ස්තූතිවන්ත වෙමි.”

මෙරට සිටින ජපාන තානාපති – මිසුකෝෂි හිඩෙකි මහතා මෙසේ පවසයි : “ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්‍ෂේත්‍රය සඳහා සහාය ලබාදීමට ජපාන රජයේ කැපවීම ප්‍රකාශ කරමින්, ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ශ්‍රී ලංකා රජය සමඟ මෙම සහයෝගීතා ප්‍රයත්නයේ කොටස්කරුවෙකු වීමට ලැබීම ගැන අපි සතුටු වන්නෙමු. තිරසර කටයුතු තුලින් කුඩා වී ගොවීන් සවිබල ගැන්වීමේ අපගේ ඒකාබද්ධ දැක්ම මෙම වැඩසටහන සමඟ හොඳින් ගැලපේ. ශ්‍රී ලංකාවේ ගොවි ප්‍රජාවගේ අභිවෘද්ධිය සඳහා මෙම ආධාර සැලකියයුතු දායකත්වයක් ලබාදෙනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.”

තිරසර කෘෂිකර්මාන්තය සඳහා තම සංවිධානයේ කැපවීම සහ ශ්‍රී ලංකාවේ ගොවි ප්‍රජාවන්ට උපකාර කිරීම සඳහා FAO සංවිධානයේ දායකත්වය අවධාරණය කරමින් එහි ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් මහතා පවසා සිටියේ FAO තිරසර කෘෂිකාර්මික කටයුතු ප්‍රවර්ධනය කිරීමේ සහ ගොවීන්ගේ ජීවනෝපාය නංවාලීමේ සිය මෙහෙවරෙහි නොසැලී කටයුතු කරන බවයි. ජපාන රජය සහ ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම අමාත්‍යාංශය අතර ඇති මෙම සහයෝගීතාවය කුඩා පරිමාණ වී ගොවීන් මුහුණ දෙන අභියෝග වලදී ජාතීන් එක්ව කටයුතු කිරීමෙන් ලබාගත හැකි සාධනීය ප්‍රතිඵල මනාව පිළිබිඹු කරන බවත්, ඔහු වැඩිදුරටත් පවසා ඇත.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved