Connect with us

පුවත්

ට්‍රැක්ටර් බව කියා BMW සහ BENZ රථ 158 ක් ගෙනැවිත්

Published

on

ව්‍යාජ ලියකියවිලි සකස් කොට ට්‍රැක්ටර් බව කියා BMW සහ BENZ රථ රට තුළට ගෙනැවිත් තිබෙන බව විගණකාධිපති දෙපාර්තමේන්තුව සහ කෝපා කමිටුව විසින් කරන ලද විමර්ශනයකින් අනාවරණය වී තිබේ.

ආගමික ස්ථාන සඳහා නිකුත් කරන ලද බලපත්‍ර මත ආනයනය කරන ලද වාහන 158ක බලපත්‍රලාභීන්ගේ නම් වෙනස් කර ලියාපදිංචි කර තිබීම හා වාහන 120ක නිෂ්පාදිත වර්ෂයක ද වෙනස් කිරීම ඇතුළු අක්‍රමිකතා රැසක් මෙහිදී අනාවරණය විය.

මේ සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු සදහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පසුගිය දා කෝපා කමිටුව හමුවට කැදවා තිබුණි.

කෝපා කමිටුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණේ ට්‍රැක්ටර් ලෙස හගවමින් රට තුළට ගෙන්වා තිබෙන බීඑම්ඩබ් සහ බෙන්ස් රථ ලියාපදිංචි කිරීමට අදාල විස්තර තමන්ට ලබා දෙන ලෙසය.

නමුත් මේ දක්වා ඒ කිසිදු විස්තරයක් කෝපා කමිටුවට ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සමත්ව නැත. 

සිද්ධියට අදාළව පැවැති විමර්ශනයෙන් පසු චූදිත නිලධාරීන් දෙදෙනකු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර යළිත් සේවයේ පිහිටුවා ඇති බව මෙහිදී අනාවරණය වූ අතර, 

නිදොස් කොට නිදහස් කිරීමට මූලික වශයෙන් හේතු වී ඇත්තේ ඊට අදාළ ලිපි ගොනු අස්ථානගත වීමය.

මේ අතර විගණකාධිපති වාර්තාව හරහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වංචා දූෂණ රැසක් අනාවරණය වී තිබුණි.

අඩු ආදායමක් යටතේ වාහන ලියා පදිංචි කිරීම නිසා රජයට මිලියන 78.15ක අලාභයක් සිදුව ඇති අතර චැසි අංක සහ එන්ජින් අංක වෙනස්කර වංචනිකව ආනයනය කරන ලද වාහන එන්ජින් හා චැසි අංක ඇතුළත් කර වංචනිකව මෝටර් වාහන ලියාපදිංචිය නිකුත් කිරීම මඟින් රජයට බිලියන 1.2ක් අහිමි වී තිබෙන බවද අනාවරණය වී තිබේ.

භාවිතයට නොගත් හිස් අංක සඳහා වංචනිකව මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතික නිකුත් කිරීමෙන් මිලියන 6.2ක් රජයට අහිමි වී ඇත.

අවලංගු කරන ලද විදේශීය රාජ තාන්ත්‍රික වාහන සඳහා වෙනත් වාහන අංක ලියාපදිංචි කිරීමෙන් රජයට අහිමි වී තිබෙන බදු ආදායම මිලියන 112ක් ලෙසද විගණනයෙන් හෙළිවී ඇත. 

මෝටර් රථයක් සංචිත කරන මුවාවෙන් අනීතිකව ආනයනය කරන ලද වාහන ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් වාහන 538ක චැසි අංක වෙනස් කිරීමටද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පසුගිය කාලයේදී කටයුතු කර තිබෙන බව විගණකාධිපතිවරයා විසින් කෝපා කමිටුව හමුවේ පවසන ලදී.

2022 වසරේදී පෙට්‍රල් වාහනයක් ඩීසල් වාහනයක් බවට පරිවර්තනය කිරීමේදී අනීතිකව ආනයනය කරන ලද වාහන 27ක චැසි අංක වෙනස් කර තිබෙන බවද අනාවරණය වී ඇත. එමෙන්ම පෙට්‍රල් වහනයක් ඩිසල් වාහනයක බවට පරිවර්තනය කළ වාහන 130ක පැරණි වාහන අංක පද්ධතියෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ. වාහන තුනක් කූට ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන්ද ආයතන ලෙස විධිමත් පරීක්ෂණයක් සිදුකර නැත. මේ අතර 2019 සිට 2023 දක්වා වේරහැර ආපනශාලාව කුලියට දීම නිසා රජයට අයවිය යුතු බදු මුදල වන රු මිලියන 6.6ක් රජයට අහිමි වී ඇති බවද සඳහන්ya.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් පසුගිය කාලයේ සිදුකර තිබෙන වංචනික ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් සුදුසු නිර්දේශයක් ලබා දෙන ලෙසද විගණකාධිපතිවරයා කෝපා සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

“මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරද්දි පැහැදිලි වෙන්නේ නිලධාරීන් ආරක්ෂා කර ගැනීමේ වුවමනාවක් මේ නිලධාරීන්ට තියෙන බවයි. මේ කරුණු විසි පහට අදාළව දෙපාර්තමේන්තුව ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන සෑහීමකට පත් වෙන්නේ නැහැ. මීට අදාළ සියලුම නිලධාරීන්ට එරෙහිව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් විධිමත් විනය පරීක්ෂණයක් පවත්වන්න කියලා මම ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයාට නිර්දේශ කරනවා.”
– අරවින්ද සෙනරත් ( පාර්ලිමේන්තු මන්ත්‍රී, කෝපා සභාපති)

පුවත්

O/L ප්‍රතිඵල නිකුත් වෙයි

Published

on

By

විභාග දෙපාර්තමේන්තුව විසින් 2024 – 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (11) අලුයම නිකුත් කර තිබේ.

ඒ අනුව www.doenets.lk වෙබ් අඩවියට පිවිස අයදුම්කරුවන්ගේ නිවැරදි විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ලැබී ඇත.

එසේම www.results.exams.gov.lk යන වෙබ් අඩවියට පිවිස ද ප්‍රතිඵල ලබා ගැනීමට පහසුකම් සලසා තිබේ.

සියලුම විදුහල්පතිවරුන්ට විභාග ප්‍රතිඵල ලේඛන යොමු කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව කියා සිටී.

ඉකුත් සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්කරුවන් 474,147 ක් ඉදිරිපත්ව සිටියේය.

ඒ අතරින් 398,182ක් පාසල් අයදුම්කරුවෝ වෙති.

විභාගයට පෞද්ගලිකව පෙනී සිටි සංඛ්‍යාව 75,965කි.

දිවයින පුරා මධ්‍යස්ථාන 3,664කදී විභාගය පැවැත්විණි.

Continue Reading

පුවත්

ජනපති හා ගේට්ස් පදනමේ නියෝජිතයින් හමු වෙයි

Published

on

By

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ගේට්ස් පදනමේ ගෝලීය සංවර්ධන අංශයේ ප්‍රධානී ආචාර්ය ක්‍රිස් එලායස් (Dr. Chris Elias) මහතා ප්‍රමුඛ එම පදනමේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අතර හමුවක් අද (10) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අදාළ වැදගත් කරුණු රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, කෘෂිකාර්මික නවීකරණය, අහාර හා පෝෂණය, ඩිජිටල් යටිතල පහසුකම් සහ ග්‍රාමීය ප්‍රජාව නව තාක්ෂණය සමඟ ඒකාබද්ධ කිරීම ආදී කරුණු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරිණි.

ගේට්ස් පදනම, මෙරට ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන ප්‍රමුඛ වැඩසටහනක් වන අන්තඃකරණ ඩිජිටල් කෘෂිකාර්මික පරිවර්තන (Inclusive Digital Agriculture Transformation) වැඩසටහන පිළිබඳව මෙහිදී ආචාර්ය එලායස් මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව දැනුවත් කරන ලද අතර, කෘෂිකර්ම අංශයේ දත්ත මත පදනම් වූ තීරණ ගැනීමට සහාය වන අතරම, සුළු පරිමාණ ගොවීන්ට සේවා සැපයීම සඳහාද එය වැදගත් වන බව පෙන්වා දුන්නේය.

මෙම වැඩසටහනෙන් කෘෂිකාර්මික නවීකරණය සහ ග්‍රාමිය ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට මෙන්ම තිරසර සංවර්ධනය කෙරෙහි දෙපාර්ශ්වයේම කැපවීම පිළිබිඹු කරන බව එහිදී  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

අඩු සහ මධ්‍යම ආදායම් සහිත රටවල සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී අභියෝගවලට මුහුණ දීමෙන් ගේට්ස්  පදනම ලබා ඇති විශේෂඥතාව සහ අත්දැකීම් මෙහිදී  ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් විය.

නවීන ගෝලීය තාක්ෂණය සමඟ මෙරට ග්‍රාමීය ප්‍රජාව ඒකාබද්ධ කිරීම සඳහා වන ප්‍රයත්නයට සහාය වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ‍ ගේට්ස්  පදනමෙන් ඉල්ලා සිටි අතර, ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳව ස්තූතිය පළ කළේය.

ඩිජිටල් ආර්ථිකයක් සඳහා වන ශ්‍රී ලංකාවේ උපායමාර්ගික සැලැස්මට සහාය දක්වන බව මෙහිදී සඳහන් කළ ගේට්ස් පදනමේ නියෝජිත පිරිස, ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි යථා තත්වයට ගෙන ඒම සහ වර්ධනය  සඳහා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඩිජිටල් පරිවර්තනයක් කෙරෙහි  වැඩි අවධානයක් යොමු කළ යුතු බවද පැවසූහ.

එසේම, සත්ව පාලනය සහ කිරි නිෂ්පාදන වැනි ක්ෂේත්‍ර ඇතුළත් පුළුල් සමාජ- ආර්ථික සංවර්ධන න්‍යාය පත්‍රයකට සිය පූර්ණ සහාය ලබා දෙන බවටද ඔවුහු සහතික වූහ.

මෙරට පුරවැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම වෙනුවෙන් රජය සිදු කරන අඛණ්ඩ කැපවීම පිළිබඳව රජයට සහ ජනාධිපතිවරයාට ස්තූතිය පළ කළ ආචාර්ය ක්‍රිස් එලායස් මහතා, ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින නව පරිවර්තනය අගය කරමින්,  ශ්‍රී ලංකාව සමඟ පුළුල් සබඳතාවක් ඇති කර ගැනීමට ලැබුණු අවස්ථාව පිළිබඳව සතුට පළ කළේය.

සියලුදෙනා ඇතුළත් කර ගනිමින් රජය ගෙන යන සංවර්ධන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා දායක වීමට ලැබීම පිළිබඳවද සතුට පළ කළ ඒ මහතා, කෘෂිකර්මය, ආහාර හා පෝෂණය  සහ ඩිජිටල් යටිතල පහසුකම් ආදී ක්ෂේත්‍රවල උන්නතිය සහ තිරසාර විසදුම් වෙනුවෙන් පොදු කතිකාවක් ගොඩනැඟීම සඳහා  දෙපාර්ශ්වයේම කැපවීම මෙම සහයෝගිතාව තුළින් පිළිඹිඹු කෙරෙන බවද පැවසීය.

ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරුද, ගේට්ස් පදනමේ දකුණු හා අග්නිදිග ආසියානු කලාපීය නියෝජිත ආචාර්ය ජමාල් ඛාන්, වැඩසටහන් උපදේශන, සන්නිවේදන, වර්ධන, සහ අවස්ථා අධ්‍යක්ෂ අර්ච්නා ව්‍යාස්, ව්‍යවසාය දත්ත විසඳුම් අධ්‍යක්ෂ තුෂාන් විජේසිංහ සහ Connect To Care සංවිධානයේ සභාපති චන්දිත සමරනායක යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට සහභාගි වූහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

අමෙරිකානු තීරුබදු ගැන වාණිජ මණ්ඩලයෙනුත් නිවේදනයක්

Published

on

By

ඇමෙරිකාව විසින් අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 44% සිට 30% දක්වා අඩු කිරීම පිළිබඳව ප්‍රසාදය පළ කරන ලංකා වාණිජ මණ්ඩලය, අමෙරිකානු බලධාරීන් සමග සාකච්ඡා අඛණ්ඩව සිදුකරන ලෙසද රජයෙන් ඉල්ලා ඇත.

නිවේදනයක් නිකුත් කරමින් වාණිජ මණ්ඩලය පවසා ඇත්තේ, තීරුබදු අනුපාතය අඩු කිරීම, අමෙරිකාවට අපනයනය කිරීම සඳහා කලාපීය තරගකරුවන්ගේ තීරුබදු ව්‍යුහයට සමීප කිරීම සඳහා රජය විසින් ගනු ලබන ඵලදායී හා වැදගත් පළමු පියවරක් ලෙස සලකන බවයි.

විශේෂයෙන් කලාපයේ අනෙකුත් රටවල් ඊටත් වඩා අඩු අනුපාතවලින් ප්‍රතිලාභ ලබනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, අගෝස්තු 01දා වනවිට තවදුරටත් අඩු කිරීමක් ලබා ගැනීම සඳහා අමෙරිකානු පරිපාලනය සමග අඛණ්ඩව සාකච්ඡා පවත්වන ලෙසද රජයෙන් ඉල්ලා ඇත.

එමෙන්ම ඵලදායී සංවාදය, කර්මාන්ත ප්‍රතිපෝෂණය සහ සම්බන්ධීකරණ උපදේශනය තුළින් රජයේ උත්සාහයන්ට සහායදීමට සූදානම් බවද ලංකා වාණිජ මණ්ඩලය වැඩිදුරටත් පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved