Connect with us

පුවත්

ටිරාන්ට ආණ්ඩුව ඇතුලෙන් ගේමක්; OICලා මාරුකරන මැටි ඇමතිගේ ලියුම

Published

on

පොලිස් ස්ථාන 260ක් සඳහා පසුගිය 23 වැනිදා නව ස්ථානාධිපතිවරුන් පත්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ට දැඩිලෙස විරෝධය පළකර ඇතිබව වාර්තා වේ.

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මහජන ආරක්ෂක අමාත්‍යවරයාට එරෙහිව සමාජ මාධ්‍ය හරහා අවලාද මෙහෙයුමකද ආරම්භකර ඇතැයි රාජ්‍ය බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන ඇත.

බුද්ධි සේවා ආරංචිමාර්ග සඳහන් කරන පරිදි, ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් හතර පස් දෙනෙකු එසේ අවලාද මෙහෙයුමක් ආරම්භකර ඇත්තේ, තමන්ගේ ඡන්ද බල ප්‍රදේශ පොලිස් ස්ථානවලට තමන්ට හිතවත් පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කරන ලෙස පොලිස් අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් නොලැබීම නිසාය.

ටිරාන් අලස්, මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස දිව්රුම් දුන්නේ පසුගිය මැයි මස 20 වෙනිදා ය. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් එම පත්වීම සිදුකරනු ලැබූ අතර රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ඔහුව එම අමාත්‍යධුරයට යළි පත්කරනු ලැබිය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පොලිස් දෙපාර්තමේන්තුව මුළුමනින්ම ප්‍රතිසංවිධානය කිරීමේ වගකීම ටිරාන් අලස් වෙත පවරනු ලැබූ අතර ඒ අනුව දේශපාලන බලපෑම්වලින් තොරව පොලිස් ස්ථානවලට සුදුසු පොලිස් ස්ථානාධිපතිවරුන් විධිමත් පරිදි අලුතින් පත්කිරීමට අවශ්‍ය කටයුතු කරන්නැයි අමාත්‍යවරයා වහාම පොලිස්පතිවරයාට නියෝග කර තිබිණ.

විෂයබාර අමාත්‍ය ටිරාන් අලස් මෙසේ දිවයිනේ සෑම පොලිස් ස්ථානයක් සඳහාම අලුතින් ම පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට තීරණය කර තිබුනේ, අදාල බල ප්‍රදේශවල දේශපාලන නායකත්වයේ නිදේශය මත කිසිඳු සුදුසුකමක් නොමැති පොලිස් ස්ථානාධිපතිවරු රැසක් ම පත්කර ඇතැයි නැඟුණ චෝදනා සලකා බලමිනි. 

2021 වර්ෂයේදී ද පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කරනු ලැබුවේ අදාල පොලිස් බලප්‍රදේශයේ ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන්ගේ රෙකමදාරුව පමණක් සලකා බලමිනි. 

2021 වසරේ ජනවාරි මස 01 වනදා සිට නොවැම්බර් 03 වනදා දක්වා වූ කාලයට අදාළව පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස තේරීපත්වූ 126 දෙනෙකු සම්මුඛ පරීක්ෂණයක් සඳහා හෝ සහභාගී නොවූ නිලධාරීන් බව ඒ වනවිට අනාවරණ වී තිබිණ.

එම කාරණය අනාවරණය වුයේ, පොලිස්පති සී ඩී වික්‍රමරත්න විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කේ ජගත් අල්විස් වෙත යොමුකළ ලිපියකිනි.

2021 වසරේ ජනවාරි මස 01 වනදා සිට නොවැම්බර් 03 වනදා දක්වා වූ කාලය තුළ පත්කර ඇති පොලිස් ස්ථානාධිපති තනතුරු සංඛ්‍යාව 184 කි.

මීට අමතරව සම්මුඛ පරීක්ෂණයට සහභාගී වී පොලිස් ස්ථානාධිපති ධූරයක් සඳහා නිර්දේශ නොවූ නිලධාරීන් අතරින් 03 දෙනෙකු ද ස්ථානාධිපතිවරුන් ලෙස පත්ව ඇතැයි එම ලිපියේ සඳහන් විය.

පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස තමන්ගේ හිතවතුන් පත්කරන්නැයි ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පොලිස්පතිවරයාට යොමුකර තිබු ලිපි කිහිපයක පිටපත් පහත පළවේ.

මූලාශ්‍රය – ද ලීඩර්

පුවත්

ශ්‍රී ලංකාව BRICS වලට උනන්දුවක් තියෙනවද? මට නම් දැනෙන්නෙ නැහැ – රුසියානු තානාපති

Published

on

By

BRICS සම්මුතිය සමග එක්වීමට උනන්දුවක් දක්වන්නේ නම් රටක් ලෙස ශ්‍රී ලංකාව ඊට ප්‍රායෝගිකව පියවර ගත යුතු බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් මහතා පවසයි.

කොළඹදී ඊයේ පැවති විශේෂ සමුළුවක ප්‍රශ්නෝත්තර වටයේදී ඔහු මේ බව කියා සිටියේය.

“ජාත්‍යන්තර නීතීය තුළ බලය යෙදවීම රුසියානු කෝණයෙන්” යන විශේෂ සම්මන්ත්‍රණයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේදී ඊයේ පැවැත්වුණි.

එහිදී  මාධ්‍යවේදීයෙකු විසින් ශ්‍රී ලංකාව BRICS සමග සම්බන්ධ වෙන්නේ කවදාදැයි විමසා සිටියේය.

ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති ලෙවාන් ජගර්යාන් මහතා – “මේ ප්‍රශ්නය මගෙන් කිහිප සැරයක්ම අහලා තියෙනවා.මම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 01 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවෙන්න ගියා රුසියානු ජනාධිපතිතුමාගේ ආරාධනා පත්‍රයකුත් අරගෙන BRICS සමුළුවට සහභාගී වෙන්න කියලා. මම භාෂා පරිවර්තක සමඟ තමයි කතා කළේ. මම දන්නේ නෑ එයා හරියට පරිවර්තනය කළාද කියලා.ජනාධිපතිවරයා මට කිව්වා මහ මැතිවරණය පැවැත්වෙන නිසා ඔහුට රුසියාවට එන්න වෙන්නේ නැහැ කියලා. BRICS සමඟ සම්බන්ධ වෙනවා නම් රුසියාවෙන් විතරක් නෙවෙයි සාමාජික රටවල් සියලුදෙනාගේ සම්මුතියක් තියෙන්න ඕනේ සහ ඒකට පියවර ගණනාවක් තියෙනවා.”

“රුසියාව,චීනය ශ්‍රී ලංකාවට සහයෝගය දෙනවා නමුත් ඒක කරන්න ඉතින් ඔබගේ පැත්තෙනුත් උනන්දුවක් තියෙන්නේ ඕනේ.එහෙම උනන්දුවක් තියෙනවාද? මට නම් දැනෙන්නේ නැහැ.කරුණාකරලා ප්‍රායෝගික පියවර ටිකක් ගන්න. තව දෙයක් ෂැංහයි සහයෝගිතා සංවිධානය ගැනත් ටිකක් අවධානය දෙන්න කියලා ඔබේ රටට කියනවා.”

මාධ්‍යවේදියා – වසර 3ක පමණ සිට යුක්‍රේනයේ කලාප කිහිපයක රුසියාව සිය අණසක පැතිරවූවා. ඒ කලාපවල අනාගතය කුමක්ද?

“ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති – රුසියානු ව්‍යවස්ථාවට අනුව ඩොනෙස්ක්,ලොහාන්ස්ක්,කර්ෂෝන් සහ සපොරෂියා කලාපය අයිති වෙන්නේ රුසියාවට. යුක්‍රේන හමුදාව සමහර තැන්වල ඉන්නවා ඒ අය ඉවත්විය යුතුයි. ඒ කලාප පිළිබඳ අපි සාකච්ඡා කරන්නේ නැහැ, විශේෂයෙන් ඒවා යළි ලබාදීම පිළිබඳව සාකච්ඡා කරන්නේ නැහැ.”

මූලාශ්‍රය  – අද දෙරණ

Continue Reading

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved