Connect with us

පුවත්

ඩෑන් මරන්න වෙඩික්කරුවන් දුන්නේ කන්ජි

Published

on

සමාජ ක්‍රියාකාරිකයකු වන ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමට වෙඩික්කරුවන් ලබා දුන්නේ විදෙස්ගත සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කංජිපානි ඉම්රාන් බව එම ඝාතනයට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය හමුවේ පාපොච්චාරණය කර තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම ඝාතනයේ ප්‍රධානම සැකකරුවන් ලෙස හඳුනාගෙන දැනට ප්‍රදේශවලින් පලාගොස් සැඟව සිටින මීතොටමුල්ලේ බන්දු නමැත්තාගේ සහෝදරයාගේ පුතකු වන දුලාන් මධුසංක නොහොත් ‘දුලා’ නමැති 28 හැවිරිදි අයකි.

එම සැකකරු සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් 05ක් ද සොයාගෙන තිබිණි.

පසුගිය 20 වැනිදා වැල්ලම්පිටිය ප්‍රදේශයේදී තමාට සහ තම මිතුරකුට ඩෑන් ප්‍රියසාද් පහර දී තම ත්‍රිරෝද රථයටද තියුණු ආයුධයකින් ප්‍රහාර එල්ල කර අනර්ථයක් සිදුකළ බවත් ඊට පළිගැනීමක් ලෙස ඔහු ඝාතනය කිරීමට සැලසුම් කළ බවත් සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ තවදුරටත් පවසා ඇත. 

කොළොන්නාව සාලමුල්ල ලක්සඳ සෙවණ මහල් නිවාස සංකිර්ණයේ බී ගොඩනැගිල්ලේ හයවැනි මහලේ නිවසකට පසුගිය (22) රාත්‍රියේ ඇතුළු වූ තුවක්කුකරුවන් දෙදෙනකු විසින් කළ වෙඩි තැබීමකින් සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් මිය ගොස් තිබිණි.

මෙම ඝාතනයට අදාළව වැල්ලම්පිටිය පොලිසිය, බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය හා විශේෂ කාර්ය බළකාය පැතිකඩ කිහිපයක් ඔස්සේම පරීක්ෂණ ආරම්භ කළ අතර, එහිදී මෙම ඝාතනයට ඍජුවම සම්බන්ධ සැකකරුවකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මීට අදාළ සැකකරුවන් වන මීතොටමුල්ලේ බන්දු සහ ඔහුගේ පුත්‍රයා වන මාධව සුදර්ශන නමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා තවමත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

වැල්ලම්පිටිය ප්‍රදේශයේදී පසුගිය 20 වැනිදා ඩෑන් ප්‍රියසාද් තමන් හා ගැටුම ඇති කරගැනීමෙන් පසුව අපරාධකරුවකු වන ඩුබායිහී සැඟව සිටින කොළොන්නාවේ ධනුෂ්ක මාර්ගයෙන් කංජිපානි ඉම්රාන් සම්බන්ධ කරගත් බවත් ඉම්රාන්ගේ උපදෙස් මත මෙම ඝාතනය සැලසුම් කළ බවත් සැකකරු පොලිසිය හමුවේ පවසා ඇත.

කොළොන්නාවේ ධනුෂ්ක විසින් කංජිපානි ඉම්රාන් දුරකතන යෙදවුමක් මාර්ගයෙන් සම්බන්ධ කරගත් බවත් 20 වැනිදා වූ පහරදීම ගැන ඔහුගේ උපදෙස් මත (21) වැල්ලම්පිටිය පොලිසියට පැමිණිලි කළ බවත් එම සැකකරු පවා තිබේ.

ඒ අනුව 22 වැනිදා ඩෑන් ප්‍රියසාද් පොලිසියට ගෙන්වා ගෙන ආපසු පිටව යන අවස්ථාවේදී ඔහු ඝාතනය කිරීමට සැලසුම් කර ඇතත් 22 වැනිදා ඩෑන් පොලිසියට නොපැමිණීම හේතුවෙන් එම උත්සාහය ව්‍යාර්ථ වී ඇත.

කෙසේ වෙතත් ඩෑන් ප්‍රියසාද් වැල්ලම්පිටිය සාලමුල්ලේ නිවාස සංකිර්ණයේ සිටින බවට කංජිපානි ඉම්රාන්ට තොරතුරු ලැබී තිබුණු බවත් එම අවස්ථාවේදී ඉම්රාන් දුරකතන ඇමතුමක් මගින් තමා හා සම්බන්ධ වූ බවත් සැකකරු පවසා තිබේ.

කංජිපානි ඉම්රාන් දිවයිනට ගෙන්වන ලෙස හා ඔහුට එරෙහිව අදහස් පළකිරීම සම්බන්ධයෙන් ඩෑන් ප්‍රියසාද් සමග වෛරයෙන් පසුවීම හේතුවෙන් මෙම ඝාතනය සඳහා ඔහු විසින් වෙඩික්කරුවන් ලබාදී ඇති බව විමර්ශනවලදී හෙළිව තිබේ. මාධව සුදර්ශන යනු ඩෑන් ප්‍රියසාද්ගේ බිරියගේ සොයුරිය හා විවාහ වී සිටින පුද්ගලයා බවත් ඔහු හා ඩෑන් අතර කාලාන්තරයක් තිස්සේ වෛරයක් තිබී ඇති බවත් පොලිසිය සඳහන් කළේය.

මේ අතර ඩෑන් ප්‍රියසාද් ඝාතනයට අදාළව ඔහුගේ බිරිඳගේ සහෝදරියකගෙන් ද පොලිසිය ප්‍රකාශ ලබාගෙන ඇත. එහිදී ඇය පවසා ඇත්තේ තමන්ගේ යතුරුපැදිය ඩෑන් ප්‍රියසාද් මැදිහත්වී පසුගිය 22 වැනිදා විකුණාදීම හේතුවෙන් ඉන් ලද මුදලින් සිය නිවසේ මත්පැන් සාදයක් සංවිධානය කළ බවයි.මෙම ඝාතනයට පැය තුනකට පමණ පෙර ඩෑන් පැමිණ තමන් සිය පවුල සමග රාත්‍රියේ පැමිණෙන බව කියා පිටව ගිය බවද ඇය වැඩිදුරටත් පවසා ඇත.

ඝාතනයට ලක්වූ ඩෑන් ප්‍රියසාද්ගේ දේහය බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබේ.

පුවත්

හිටපු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ට ඇප

Published

on

By

ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ලෙස ලියාපදිංචි වී ඇති මෝටර් රථයක් සඳහා අංක තහඩුවක් නිකුත් කිරීම සඳහා අනුමැතිය දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු මෝටර් රථ කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු සැකකරුවන් හතර දෙනෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රත් අධිකරණය නියම කර තිබේ.

අල්ලස් කොමිසමේ සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

ඒ අනුව සැකකරුවන් තුන් දෙනෙකු රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් හා එක් සැකකරුවෙකු රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කල මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය හමුවට භාර දෙන ලෙසත් නියෝග කළාය.

ඉන් අනතුරුව නඩුව යළි නොවැම්බර් 14 යළි කැඳවීමටද මහෙස්ත්‍රාත්වරිය නියම කළාය.

Continue Reading

පුවත්

ගොවි විශ්‍රාම වැටුප ගැන නිවේදනයක්

Published

on

By

විශ්‍රාම වැටුප් අහිමිවී සිටින ගොවීන් සඳහා මේ මස සිට එම විශ්‍රාම වැටුප් ලබාදීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බව ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

සිය ගැටලුව සම්බන්ධයෙන් ගොවීන් රජය වෙත කළ ඉල්ලීම් සලකා බලා එම විශ්‍රාම වැටුප් ගෙවීමට පියවර ගෙන ඇති බව එම මණ්ඩලය සඳහන් කළේය.

2012 /2013 කාලය තුළ ගොවි විශ්‍රාම වැටුප් අරමුදලට සිදුවු බලපෑම හේතුවෙන් විශ්‍රාම වැටුප් ගෙවීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීම මත විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායක වී සිටින ගොවීන්ගේ පසුවාරික අයකිරීමේ ක්‍රියාවලිය අඩාල වී ඇති බව සඳහන්ය.

මෙම තත්ත්වය හේතුවෙන් එම යෝජනා ක්‍රමය යටතේ දායකත්වය ලබා සිටි ගොවීන්ට වාරික නිසි පරිදි ගෙවීමට නොහැකි වී තිබේ.

මේ හේතුවෙන් වයස අවුරුදු 60 සම්පුර්ණ වන අවස්ථාවේ දී නොකඩවා කන්න දෙකක් තුළ වාරික 5ක් නියමිත දිනට නොගෙවීම මත ගෙවිය යුතු සම්පුර්ණ වාරික මුදලින් සියයට 75කට නොඅඩු වාරික ප්‍රමාණයක් ගෙවා ඇති ගොවීන්ට වැටුප් හිමිකම් අහිමි වී තිබුණි.

කෙසේවෙතත් මෙම වාරික ගෙවීමට නොහැකි වීම ගොවීන්ගේ අතපසුවීමක් නොවන බව ගොවි ජන රක්ෂණ මණ්ඩලය පෙන්වා දුනි.

ඒ අනුව අදාළ ඉල්ලීම් සලකා බලා සියයට 75ට වැඩි වාරික මුදලක් ගොවි විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා ගෙවා ඇති ගොවීන් වෙනුවෙන් අදාළ වාරික මුදලට ගැලපෙන ප්‍රතිශතාත්මක මුදලක් විශ්‍රාම වැටුප ලෙස ලබා දීම සම්බන්ධයෙන් කෘෂි කර්ම අමාත්‍යවරයා දැනුවත් කර තිබේ.

ඒ අනුව ගොවි විශ්‍රාම වැටුප් උපදේශක කාරක සභාව වෙත යොමුකර එහි නිර්දේශ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මාසිකව ගොවි විශ්‍රාම වැටුප් ලබා ගැනීමේ අවස්ථාව මේ මස සිට ගොවීන්ට ලබාදීමට කටයුතු සංවිධානය කර ඇති බව ගොවි ජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේය.

Continue Reading

පුවත්

කරදියාන කසළ අංගනයේ ගින්නක්

Published

on

By

පිළියන්දල කරදියාන කසළ අංගනයේ ගින්නක් හටගෙන ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි.

ගින්න නිවීම සඳහා මොරටුව නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ජල බව්සර් හතරක්, ගිනි නිවීමේ රථ දෙකක් සහ ගිනිබටයන් 15කුත් කණ්ඩායමක් ඒ සඳහා යොමු කර ඇති බව එහි ස්ථාන භාර නිලධාරී දුල්සිරි කුමාර මහතා පැවසුවේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved