Connect with us

පුවත්

ඩෙංගු පාලනයට කඩිනම් පියවර ගන්නැයි පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට උපදෙස්

Published

on

ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා සියලු  පූර්වාරක්ෂක පියවර කඩිනමින් ගන්නා ලෙස ජනාධිපති රනිල්  වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අද (09)  සියලු පළාත් ලේකම්වරුන්ට ලිඛිතව දැනුම් දුන්නේය.

ඩෙංගු මර්දන වැඩසටහන සඳහා අවශ්‍යතාව අනුව, ප්‍රධාන ලේකම්වරුන්ට උපරිම සහාය ලබා දෙන ලෙස ද ජනාධිපති ලේකම්වරයා ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට උපදෙස් දී ඇත.

ගෙවී ගිය  සතිය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 1896ක් වාර්තා වී අතර සමස්ත රෝගීන් අතරින්  වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි. එය ආසන්න ප්‍රතිශතයක් ලෙස 49% ඉක්මවා ඇත.

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 21%ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් 18%ක්  සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 7%ක් ලෙස ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත. ඒ අතරින් කොළඹ මහ නගර සභා ප්‍රදේශයෙන් පමණක් ඩෙංගු රෝගීන් 3.4%ක් වාර්තා වී තිබේ.

මීට අමතරව ත්‍රිකුණාමලය, මඩකලපුව, මහනුවර, ගාල්ල හා කෑගල්ල දිස්ත්‍රික්කවලින්ද සැළකිය යුතු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා ‍වී තිබේ. 

කොළඹ, ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කවල පසුගිය සතියට වඩා රෝගීන්ගේ යම් වැඩි වීමක් වාර්තා වෙයි.

ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය පිළිබඳ සියලු පළාත් ප්‍රධාන ලේකම්වරුන්ගෙන් කළ විමසීම අනුව ලබා දුන් තොරතුරු පහත පරිදි වේ.

•  මේ වසරේ කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 6678 ක්ද, ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 7166 ක්ද, කළුතර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන්1902ක්ද වශයෙන් වාර්තා වී ඇති අතර බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති සමස්ථ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 15,746කි.

•  අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 209 ද, පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 155ද  වශයෙන් උතුරු මැද පළාතෙන් මේ වසරේ ඩෙංගු රෝගීන් 364ක්  වාර්තා වී ඇත.

•  මහනුවර දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 1481 ක්, මාතලේ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගයෙන් 503 ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 57ක් වශයෙන් මධ්‍යම පළාත තුළින් මේ වසරේ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2401 කි. සිදුව ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 2කි.

•  බදුල්ල දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 445ක් සහ මොණරාගල දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 111ක් ද වශයෙන් ඌව පළාතෙන් ඩෙංගු රෝගීන් 556ක් වාර්තා වී තිබෙන අතර එක් මරණයක් වාර්තා වී තිබේ.

•  2023 වසරේ සබරගමුව පළාතෙන් ඩෙංගු රෝගීන් 1878ක් වාර්තා වී ඇති අතර, රත්නපුර දිස්ත්‍රික්කයේ  ඩෙංගු රෝගීන් 708 ක් සහ එක් මරණයක් වාර්තා වී තිබේ.කෑගල්ල දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 1170 වාර්තා වී ඇති අතර මරණ වාර්තා වී ‍නොමැත.

•  වයඹ පළාත තුළ මේ වසරේ ඩෙංගු රෝගීන් 3 ,458ක් වාර්තා වී ඇති අතර ඒ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 1069 ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 2389ක් වශයෙනි. වයඹ පලාත තුල  වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 3 කි.

• දකුණු පළාත තුළ මේ වසරේදී ඩෙංගු රෝගීන් 1966ක් වාර්තා වී තිබේ. ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 918ක්ද, මාතර ඩෙංගු රෝගීන් 536ක්ද, හම්බන්තොට ඩෙංගු රෝගීන් 512ක්ද වාර්තා වී ඇත. දකුණු පළාත තුළ ඩෙංගු මරණ 03ක් වාර්තා වී තිබේ.

•  ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 108ක්ද, මඩකලපුව දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 106ක් ද, අම්පාර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 55ක්ද වශයෙන් නැගෙනහිර පළාතෙන් ඩෙංගු රෝගීන් 269ක් වාර්තා තිබේ. නැගෙනහිර පළාත තුළ ඩෙංගු මරණ 03ක් මේ වන විට වාර්තා වී ඇත.

•  උතුරු පළාතේ ඩෙංගු රෝගීන් 1326ක් වාර්තා වී ඇති අතර, යාපනය දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 1121ක්ද, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 51ක්ද, මන්නාරම දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 27 ක්ද, මුලතිව් දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 33ක්ද, වවුනියාව දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 94ක්ද වාර්තා වී ඇත. උතුරු පළාත තුළ ඩෙංගු මරණ 02ක් මේ වන විට වාර්තා වී තිබේ.

මේ වන විට ඩෙංගු වෛරසයේ 2 සහ 3 ප්‍රබේද වැඩි වශයෙන් වාර්තා වන අතර ඩෙංගු වෛරසයේ 3 ප්‍රබේදය පැතිරෙන්නේ වසර 14 කට පසුවය. ඒ සඳහා  ප්‍රතිශක්තිය අවම බැවින් ඩෙංගු රෝගය පැතිරීමට ඇති අවස්ථා ද ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

රෝග නිවාරණය වෙනුවෙන් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සහ ඒ යටතේ ඇති ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල සහ පළාත් පාලන ආයතන ඒකාබද්ධව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ මේ වන විටත් පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බව පළාත් ප්‍රධාන ලේකම්වරු අද තහවුරු කළහ.

ඒ අනුව මදුරුවන් බෝවිය හැකි ස්ථාන පරීක්ෂා කර පිරිසිදු කිරීමේ කටයුතු සඳහා රාජ්‍ය ආයතන, පාසල් ඇතුළු අනෙකුත් ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම, නාගරිකව හා ග්‍රාමීයව සියලු නිවාස සහ වෙළෙඳ සැල් පරිශ්‍ර පරීක්ෂාවට ලක් කිරීම, ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් දැනුවත් කිරීම්, ඩෙංගු රෝගීන් හඳුනා ගන්නා ප්‍රදේශ වෙත ගොස් අවට ස්ථානවල ඩෙංගු රෝග වාහක මදුරුවන් විනාශ කිරීම, දුමාරණය,ස්ථානීය පරීක්ෂාවන් සිදු කර මදුරු කීටයන් හඳුනා ගැනීම, නිවාස හා ආයතන පරිශ්‍ර පිරිසිදුව පවත්වා ගෙන යාමට අපොහොසත් වන්නන් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ආදිය මඟින් ඩෙංගු ව්‍යාප්තිය පාලනයට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද පළාත් ප්‍රධාන ලේකම්වරු පෙන්වා දුන්හ.

මේ අතර සෞඛ්‍ය අංශ අවධාරණය කර සිටින්නේ ඩෙංගු මර්දන වැඩසටහන සාර්ථක කර ගැනීමට සෞඛ්‍ය අංශවල මැදිහත්වීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් ඒ සඳහා ජනතාවගේ ද සහාය උපරිමයෙන් අවශ්‍ය බවයි. 

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

මුහුදු පත්ල පිරිසිදු කිරීම ත්‍රිකුණාමලයෙන් ඇරඹේ

Published

on

By

ත්‍රිකුණාමලය පරෙවි දූපත ආශ්‍රිත ප්‍රදේශයේ මුහුදු පත්ල පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (02) පෙරවරුවේ ක්‍රියාත්මක කෙරිණි. සාගර ජීවීන් හට හිතකාමී පරිසරයක් සැකසීම මෙහි අපේක්ෂාවයි.

කොරල්පර පරිසර පද්ධති වලට දැඩි තර්ජනයක් එල්ල කරන ආක්‍රමණශීලී ක්‍රවුන්-ඔෆ්-තෝර්න්ස් නමින් හඳුන්වන ස්ටාර් ෆිෂ් ඉවත් කිරීම, සාගර ජීවීන්ට අනතුරක් කරන සහ ජෛව විවිධත්වය යථා තත්ත්වයට පත් කිරීමට බාධා කරන මාළු දැල් සහ අනෙකුත් හානිකර සාමුද්‍රික සුන්බුන් ඉවත් කිරීම මෙහි මූලික අරමුණු වී ඇත. 

ජගත් පරිසර දිනය නිමිත්තෙන් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය සම්බන්ධීකරණය කළේය. 

පරෙවි දූපත සමුද්‍ර ජාතික වනෝද්‍යානය, ශ්‍රී  ලංකාවේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලයට ඊසාන දෙසින් නිලාවේලි වෙරළේ සිට කිලෝමීටර 1ක් පමණ දුරින් පිහිටා ඇති “විශාල” සහ “කුඩා” පරෙවි දූපත” යන දූපත් දෙකකින් සමන්විත වේ.

සමුද්‍ර උද්‍යානය ආසන්න වශයෙන් හෙක්ටෙයාර 471ක් පුරා පැතිරී ඇති නමුත් ගොඩබිම හෙක්ටෙයාර 9ක් පමණ වේ. විශාල දූපතේ කොරල්පරයක් දළ වශයෙන් මීටර් 200ත් 100ත් අතර උසකින් සහ මුහුදු මට්ටමේ සිට මීටර් 44.8ක් දක්වා උසකින් යුක්ත වේ. මෙම දූපත ශ්‍රී  ලංකාවේ ජෛව විවිධත්වයෙන් යුත් සහ පාරිසරික වශයෙන් සංවේදී සමුද්‍ර  උද්‍යානවලින් එකක් වන බැවින්, එය පිරිසිදු කිරීම කාලෝචිත මෙන්ම සුවිශේෂී වැදගත්කමක් සහිත කාර්යයක්  වේ.

මෙම පරිසර පද්ධතියට ඇති ප්‍රධාන අභියෝග ලෙස නීතිවිරෝධී පිළිවෙත් මඟින් මසුන් ඇල්ලීම, හානිදායක ලෙස කොරල් අස්වැන්න නෙළීමේ ශිල්පීය ක්‍රම, සංචාරක ව්‍යාපාරය නිසා ඇති වන කොරල් පරිහානිය ආදිය හදුනා ගත හැකිය. එසේම, දේශගුණික විපර්යාස හා  මුහුදු උෂ්ණත්වය ඉහළ යාම මතද පරෙවි දූපත අවට කොරල්පරවලට හානි සිදු වේ.

ඒ අනුව, පරෙවි දූපත සංරක්ෂණය කිරීමේ මුලපිරීමක් ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA), ත්‍රිකුණාමලයේ  දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා සංචාරක කාර්යාංශය, ශ්‍රී ලංකා නාවික හමුදාව, ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (IUCN) සහ ශ්‍රී ලංකා කිමිදුම්කරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා පොලීසිය, වනජීවී දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, නිලාවේලි බෝට්ටු සංගමය සහ සර්වෝදය යන ආයතනවලද  ක්‍රියාකාරී සහයෝගය මේ සඳහා ලැබිණි.

මෙම පිරිසිදු කිරීමේ කාර්යය, පාරිසරික සහ ආරක්ෂක ප්‍රමිති අනුගමනය කරමින්, පුහුණුව ලත් කිමිදුම්කරුවන්, සමුද්‍ර ජීව විද්‍යාඥයින් සහ අනෙකුත් සංවිධානවල ස්වේච්ඡා සේවකයින්ගේ එකමුතුවෙන් සිදු කෙරිණි.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් ඩබ්. ජී. එම්. හේමන්ත කුමාර යන මහත්වරු සහ නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු, ප්‍රදේශවාසීහු සහ විදේශ සංචාරකයන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

Starlink සේවා මෙරට ඇරඹීමට සියලු වැඩ සම්පූර්ණයි – එරංග

Published

on

By

ශ්‍රී ලංකාවේ Starlink සේවාවන් ආරම්භ කිරීම සඳහා වන වැඩපිළිවෙළ සඳහා රජය අවශ්‍ය සියලු ක්‍රියාවලීන් මේ වන විට සම්පූර්ණ කර ඇතැයි ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ස්ටාර්ලින්ක් වෙතින් ලබා දීමට නියමිත තොරතුරු පුවරුව (Dashboard)ලැබුණු පසු මෙහෙයුම් ප්‍රමාදයකින් තොරව ආරම්භ කිරීමට හැකිවනු ඇති බවය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ සිංගප්පූරුවේ පැවැති 2025 ආසියානු තාක්ෂණ සමුළුවට සමගාමීව සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කර තිබූ ද්විපාර්ශ්වික හමුවකට එක් වෙමිනි.

මෙම හමුව සඳහා ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර සන්නිවේදන සහ තොරතුරු ප්‍රතිපත්ති සම්බන්ධීකාරක තානාපති ස්ටෙෆාන් ලැන්ග් යන මහත්වරු එක් වූහ.

මෙහිදී තවත් උපායමාර්ගික ක්ෂේත්‍ර කිහිපයක් සාකච්ඡා කර ඇති අතර ඒ අනුව ගූගල් සහ මෙටා වැනි ප්‍රමුඛ ගෝලීය තාක්ෂණික සමාගම් සමග ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්ථනය සඳහා අඛණ්ඩ සහාය ලබා ගැනීම, රට තුළ දත්ත මධ්‍යස්ථාන පිහිටුවීම, AI මත පදනම් වූ දත්ත මධ්‍යස්ථාන සංවර්ධනය ඇතුළුව විවිධ අංශ හරහා කෘතිම බුද්ධිය (AI) ඒකාබද්ධ කිරීම, සයිබර් ආරක්ෂණ පනතේ දියුණුව සහ සයිබර් ආරක්ෂණ ඒජන්සිය ශක්තිමත් කිරීම, පවතින මාර්ගගත ආරක්ෂණ පනතට සංශෝධන එක් කිරීම, දත්ත ආරක්ෂණ පනතට සංශෝධන එක් කිරීම සම්බන්ධවද අවධානය යොමුව ඇත.

එහිදී මෙම අවස්ථාවට එක් වෙමින් ස්ටෙෆාන් ලැන්ග් මහතා පවසා ඇත්තේ මෙම පරිවර්තනීය ඩිජිටල් ප්‍රතිපත්ති සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදි ශ්‍රී ලංකාවට එක්සත් ජනපදයේ අඛණ්ඩ සහාය ලබා දෙන බවය.

(අරුණ)

Continue Reading

පුවත්

හල්ලොලුවගේ වාහනයට වෙඩිතැබීමේ සිද්ධියට තවත් 2ක් අත්ඩංගුවට

Published

on

By

තුසිත හල්ලොලුව මහතාගේ ජීප් රථයට වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අද (02) අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 27 හැවිරිදි සහ 37 හැවිරිදි පුද්ගලයින් බව පොලිසිය පවසයි.

ඔවුන් කඩවත සහ ගණේමුල්ල යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සන්තකයේ තිබී T-56 වර්ගයේ ජීව පතොරොම් 13ක් පුරවන ලද පතොරොම් ගැබක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.

සැකකරුවන් හෙට (03) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved