Connect with us

පුවත්

ණය හිමියන් හා ණය ගැතියන් අතර වඩාත් උසස් ගණුදෙනුවක් ඇති කළ යුතුයි – ජනපති

Published

on

මධ්‍ය ආදායම් ලබන රටවල් මුහුණ දෙන ණය ප්‍රතිව්‍යුහගතකරණය ඇතුළු අභියෝග සම්බන්ධයෙන් විධිමත් සහ කාර්යක්ෂම ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. 

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (22) පැරිස් නුවරදී ආරම්භ වූ නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සමගාමීව පැවති  ඉහළ පෙළේ සාකච්ඡා වාරයට සහභාගී වෙමිනි. 

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ලබා ඇති අත්දැකීම් මෙහිදී ගෙනහැර දැක්වූ ජනාධිපතිවරයා ණය හිමියන් සහ ණය ගැතියන් අතර වඩාත් උසස් ගනුදෙනුවක් ඇති කළ යුතු බව පෙන්වා දුන්නේය.

ණය හිමියන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම සහ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකරණය පිළිබඳ ප්‍රසාදය පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම ක්‍රියාවලිය සඳහා ජපානය සහ ඉන්දියාව යන රටවල් සමඟ සිදු කෙරුණු සාකච්ඡා ද, සංවර්ධන වැඩසටහන් සහ වාණිජ ඒකමිතියක් සඳහා එම රටවල් සහ චීනය ලබාදුන් සහාය පිළිබඳව ද සිහිපත් කළේය. 

දැනට පවත්නා අස්ථාවර භාවය තුරන් කිරීම සඳහා ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු කඩිනම් කළයුතු බවත්, මධ්‍ය ආදායම් ලබන රටවල් මුහුණපාන සුවිශේෂ අභියෝග ජය ගැනීම සඳහා වෙනම ක්‍රියාවලියක් හඳුන්වාදීමේ අවශ්‍යතාවය පිළිබඳවත් ජනාධිපතිවරයා කරුණු පැහැදිලි කළේය.

ශ්‍රී ලංකාව මූල්‍ය සහ ආර්ථික ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ වැඩපිළිවෙළකට සම්බන්ධ වී සිටින බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිව්‍යුහගතකරණය අත්‍යාවශ්‍ය බවත්, එය කඩිනමින් සිදු නොකළ හොත් පහළ ආදායම් ලබන සහ මධ්‍ය අදායම් ලබන රටවලට දේශපාලන සහ ආර්ථික අස්ථාවරත්වයන්ට මුහුණදීමට සිදුවන බවත් අවධාරණය කර සිටියේය. 

මෙම සාකච්ඡා වටයේ දී එයට නායකත්වය දුන් ස්පාඤ්ඤයේ (පළමු) නියෝජ්‍ය අග්‍රාමාත්‍ය නාදියා කැල්විනෝ (Nadia Calvino) මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සිදු කළ විමසීමකට ජනාධිපතිවරයා දැක්වූ ප්‍රතිචාරය පහත දැක්වේ.

ප්‍රශ්නය :

ජනාධිපතිතුමනි, ඔබතුමා ඉන්නේ විශේෂ තත්ත්වයක් යටතේයි. අපි දැන් මධ්‍ය ආදායම් ලබන රටක් පිළිබඳ අවධානය යොමු කරමු. එහිදී විවිධ අභියෝග තිබෙනවා. එසේම ඒවා සාමාන්‍ය තත්ත්වයන් තුළ ඇති නොවූ බවත් අපට වැටහෙනවා. චැඩ් රාජ්‍යය වගේ රටක් ගත්විට එයත් ඔබේ රටේ පවතින තත්ත්වයට සමාන විය හැකියි. වගේම පැරිස් සමාජය සහ පැරිස් සමාජයේ සාමාජිකයන් නොවන ණය හිමියන්ගේ කමිටුව ඇති කිරීමත්, මෙවැනි ණය හිමියන්ගේ කමිටුවලදී සමසභාපතිත්වය දැරීමට ඉන්දියාව තීරණය කිරීමත් වැදගත් පියවර සේ දැක්විය හැකියි. ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ඔබේ අදහස මොකක්ද

චැඩ් රාජ්‍යයේ ජනාධිපතිවරයාගේ කථාවට අනුව අපට තේරුම්ගොස් තිබෙනවා රටේ නිලධාරීවාදය සීමා කළයුතු බව. එයට අපි සියලුදෙනා එකඟයි. ඇතැම් සංකීර්ණ දේවල් විසඳිමේ දී සරලභාවය ඉතා වැදගත් වෙනවා. මේ සම්බන්ධයෙන් ඔබේ අත්දැකීම අපට කියන්න ?

පිළිතුර :

මධ්‍ය ආදායම් ලබන රටක් ලෙස තිබූ ශ්‍රී ලංකාව බංකොළොත්භාවය ප්‍රකාශයට පත් කළ විට ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා තිබෙන සාමාන්‍ය රාමුව අපට වලංගු වන්නේ නැහැ. සහනදායී මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා අපට තිබූ අවකාශ ඉතා සීමිතයි. ඒ අතරම අභ්‍යන්තර මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ හැකියාව ද ඉතාම සීමාසහිත වුණා. මේ අනුව ණය සම්බන්ධ වැඩසටහන් සියතට ගැනීමත්, ණය ප්‍රතිව්‍යුහගතකරණයත් ආර්ථික වර්ධනය සඳහා බලපාන ආර්ථික ප්‍රතිසංස්කරණත් සියතට ගැනීමට අපට සිදු වුණා. ඉන් පසුව තමයි අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ණය හිමියන් සමඟ සාකච්ඡා කිරිමේ වැඩපිළිවෙළ ආරම්භ කරනු ලැබුවේ.

මෙය හරියටම සමාන වුණේ කිසියම් වට්ටෝරුවකට අනුව වැඩකිරීම සමඟයි. මෙහිදී අප විසින් පවත්වාගෙන යා යුතු දේ සහ ඉවත් කළ යුතු දේ මොනවාද යන තර්කය මතු වුණා. එසේ පවත්වාගෙන යා යුතු සහ ඉවත් කළ යුතු දේවලින් 90%ක පමණ ප්‍රමාණයක් පිළිබඳ අප එකඟත්වයකට පැමිණියා. එසේම වැදගත් තත්ත්වයන් දෙකකට මුහුණදීමට අපට සිදු වුණා.

ඉන් පළමුවැන්න ඉන්දියාව අපේ සහායට පැමිණීම. එය ඩොලර් බිලියන 4ක උපකාරයක්. එම අවස්ථාව වන විට අපට වෙනත් කිසිම සහයෝගයක් ලැබෙන බවක් පෙනෙන්නට තිබුණේ නැහැ. දෙවනුව ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ලබා ගැනීමට අපට හැකි වුණා. ඒ අනුව අපේ ඉලක්කය සහනදායී පියවරකට යොමු වුණා. 

එහෙත් අප විසින් රට බංකොළොත් බව ප්‍රකාශයට පත් කරන ලද අවස්ථාවේ සිට පාර්ශ්ව කිහිපයකම නිලධාරීන්ගේ වැඩපිළිවෙළවල තුළ  ප්‍රමාදයන් මතු වුණා. ඒ නිසා අපට ප්‍රමාද වීමට සිදු වුණා. එසේ නොවී මැයි මාසය වන විට අපට අරමුදල් ලැබුණා නම් ජුලි මාසයේ දී හට ගත් ප්‍රශ්නකාරී තත්ත්වයන් මගහැරීමට අපට පුළුවන්කම ලැබෙන්නට ඉඩ තිබුණා. 

කෙසේ වුවද ජූලි මාසයේ හටගත් ප්‍රශ්නවලට මුහුණදීමට අපට සිදු වුණා. සැප්තැම්බර් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යමණ්ඩල මට්ටමේ එකඟත්වයකට අප පැමිණියා. එහෙත් වලංගු  ගිවිසුම අත්සන් කර මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා එතැන් සිට තවත් මාස 06ක් ගත කිරීමට අපට සිදු වුණා. 

ඉන් පසුව අපි ප්‍රමුඛ ආර්ථික ප්‍රතිසංස්කරණවලට යොමුවීමට පටන් ගත්තා. එමඟින් ජනතාවට කිසියම් වේදනාවක් ඇති වුණා. එය කිසිම පුරෝකථනයකින් තොරව හටගත් තත්ත්වයක්. දෙවනුව සභාපති ආචාර්යා  මේ තත්ත්වය විග්‍රහ කළ ආකාරය ගැන මම එකඟ වෙනවා. අප එය කළයුතුව තිබුණේ ඉතා වේගයෙන්. 

මා කලින් පැවසූ පරිදි කාර්යමණ්ඩල මට්ටමේ ගිවිසුම පැමිණියේ පසුගිය සැප්තැම්බර් මාසයේදී. නොවැම්බර් වන විට අපට ධනාත්මක සැලැස්මක් තිබුණා. ඒ බව පසුව ප්‍රකාශයට පත් කෙරුණා. ඉන් පසුව ශ්‍රී ලංකාව තුළ ඉතාම තරගකාරී වර්ධනාත්මක න්‍යාය පත්‍රයක් ඇති වුණා. 

එබැවින් නිල මට්ටමේ සහ පුද්ගලික මට්ටමේ මූල්‍ය අවශ්‍යතාවයන් වැඩිදියුණු කෙරුණා. මෙහිදී වැදගත් යමක් කිව යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කරන ලද සාකච්ඡා අවසන්වීමෙන් පසු තවදුරටත් දීර්ඝ කරන ලද මූල්‍ය පහසුකම් සඳහා සාර්ථක අනුමැතියක් ලැබුණා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඊළග පියවර සම්බන්ධයෙන් නිසි සැලසුමක් අපට තිබුණේ නැහැ. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඊළග මූල්‍ය පහසුකම ලබා ගැනීමට පෙර නිසි සැලසුමක් සකස් කිරීමේ වැඩපිළිවෙළ අපි ඉදිරියේ තිබෙනවා. 

කෙසේ වුවද, තවත් අත්දැකීම් කිහිපයක් පිළිබඳ සඳහන් කිරීමට මම බලාපොරොත්තු වෙනවා .දත්ත සහිතව සහ දත්ත අනුව යමින් අප කටයුතු කිරීම අපේ සාර්ථකත්වයට හේතුවෙනවා. අප අනුගමනය කළේ අපේ වැඩසටහන මිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන නොවෙයි. 

පසුව අප නිල ණය හිමියන් වෙනුවෙන් වේදිකාවක් නිර්මාණය කිරීමට උත්සාහ කළා. මේ අය අතර පැරිස් සමාජයේ සාමාජිකයන් ද, ඉන්දියාව, හංගේරියාව සහ තවත් රටවල් කිහිපයක් සිටිනවා. මෙහිදී චීනය නිරීක්ෂක මට්ටමින් සහභාගී වුණා. අපි අප සතුව තිබෙන තොරතුරු සියල්ලම උපරිම විනිවිදභාවයක් යටතේ අනෙක් පාර්ශ්ව සමඟ හුවමාරු කර ගත්තා. මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම පිළිබඳ මම ස්තූතිවන්ත විය යුතුයි.

ඒ අතර ජපානය, ඉන්දියාව සහ චීනය සමඟ ශ්‍රී ලංකාව වෙන වෙනම සාකච්ඡා පවත්වනවා. ඒ වාණිජ ඒකමිතියක් සඳහායි. එසේම අනාගත සංවර්ධන වැඩසටහන් සඳහාත් සාකච්ඡා පැවැත්වෙනවා. 

ඇමරිකාව සහ චීනය අතර වර්ධනය වෙමින් පවත්නා තත්ත්වය පිළිබඳව අප සියලුදෙනා අවධානය යොමු විය යුතුයි. අප මෙම ප්‍රශ්න නිරාකරණයකර ගත නොගතහොත් ආසියාව සහ අප්‍රිකාව තවත් බරපතල අර්බුදයකට මුහුණදීමට නියමිතව තිබෙනවා. මේවා අප දැනට සමනය කරගත යුතු ප්‍රධාන ප්‍රශ්න බව කිව යුතුයි. 

ප්‍රතිව්‍යුහගතකරණය අත්‍යාවශ්‍යයි. මා එයට ඉතාමත් එකඟයි. එය ඉතා ඉක්මණින් කළ යුතුයි. එය ඉක්මන් නොකළහොත් පහළ ආදායම් සහ මධ්‍ය ආදායම් ලබන රටවල්වලට දේශපාලන සහ ආර්ථික අස්ථාවරත්වයන්ට මුහුණදීමට සිදු වෙනවා. කෙතරම් දැඩි පීඩනයක් තිබුණද බංකොළොත්භාවය ලබන්නට පෙර මේ ප්‍රශ්න සමනය කර ගැනීමෙන් විශාල පහසුකවක් ලැබිය හැකි බව කිව යුතුයි.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

දේශබන්දු පරීක්ෂණ කමිටුවේ දෙපාර්ශවයේම සාක්ෂි මෙහෙයවීම අවසන්

Published

on

By

පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව ඉදිරියේ වගඋත්තරකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පාර්ශ්වයේ සහ පැමිණිලි පාර්ශ්වයේ යන දෙපාර්ශ්වයේම සාක්ෂි මෙහෙයවීම ඊයේ (01) අවසන් විය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් පරීක්ෂණ කමිටුව අද රැස් වූ අතර මෙහිදී පැමිණිල්ලේ තවත් සාක්ෂිකරුවන් දෙදෙනෙකුගෙන් සාක්ෂි ලබා ගැනීම සිදු විය.

මෙම සාක්ෂිකරුවන් දෙදෙනා රාජකාරී කටයුත්තකට විදේශගතව සිටි අතර ඔවුන්ගේ සාක්ෂි ලබාදීම ජුනි 26න් පසුව සිදු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගී වූ අතිරේක සොලිස්ටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස්, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන මහත්වරුන් සහ වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයේ නීතීඥ ආර්.එස්. වීරවික්‍රම මහතා පෙර එකඟ වූ පරිදි, අද දින මෙම සාක්ෂිකරුවන් දෙදෙනාගේ ද සාක්ෂි ලබාගැනීමට තීරණය කෙරිණි.

ඒසේම දෙපාර්ශ්වයේම ලිඛිත දේශන 2025 ජූලි 8 වැනිදා ප.ව. 3.30ට පෙර පරීක්ෂණ කමිටුව වෙත භාරදීමට නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් සහ වගඋත්තරකාර පොලිස්පතිවරයා යන දෙපාර්ශ්වයම එකඟ වූහ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

මන්ත්‍රී අර්ච්චුනාට එරෙහි පෙත්සම විභාගයට අවසර

Published

on

By

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (02) අවසර දුන්නේය.

එහෙත් පෙත්සමෙන් ඉල්ලා තිබූ පරිදි අර්ච්චුනා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම හා ඡන්දය ප්‍රකාශ කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් මෙම අවස්ථාවේදී නිකුත් නොකරන බව විනිසුන් මඩුල්ල ප්‍රකාශ කර ඇත.

මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග නිකුත් කරන ලදී.

අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඕෂල හේරත් මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ආශෝක් බරන් මහතා අධිකරණය හමුවේ සඳහන් කර තිබුණේ, වගඋත්තරකාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට තේරී පත්වන අවස්ථාවේදී රජයේ වෛද්‍යවරයෙකු වශයෙන් සේවයකර වැඩ තහනමට ලක්ව සිටි බැවින් ඔහුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව පාර්ලිමේන්තුවට තේරි පත්වීමට සුදුසුකම් නොමැති බවය.

ඒ අනුව ඔහුට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම ඡන්දය ප්‍රකාශ කිරීමට නීතිමය හිමිකමක් නොමැති බවට නීතිඥවරයා තර්ක කර තිබුණි.

එහෙත් රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සේනානි දයාරත්න මහතා සඳහන් කර තිබුණේ, සිය සේවා දායකයාව පාර්ලිමේන්තුවට තේරී පත්වන අවස්ථාවේදී ඔහු වැටුප් රහිතව වැඩසටහනට ලක්ව සිටි එබැවින් එම අවස්ථාවේ ඔහු රජයේ සේවකයෙකු වශයෙන් සැලකිය නොහැකි බවය.

ඒ අනුව ඔහුට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නීතිමය බාධාවක් නොමැති බවට නීතිඥවරයා තර්ක කළේය.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල, මෙම විභාගයට ගැනීමට අවසර දුන්නේය.

ඉන් අනතුරුව පෙත්සම අගෝස්තු මස 1 වනදා කැඳවීමටද නියම විය.

Continue Reading

කැබිනට් තීරණ

ශ්‍රීලංකන් ගැන සොයන්න ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක්

Published

on

By

ශ්‍රීලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති වංචා, දූෂණ හා අක්‍රමිකතා සෙවීම සඳහා ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවත් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ එලෙස අනුමැතිය හිමි වී ඇත.

සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම මඟින් රටේ ආර්ථික අභිවෘද්ධිය සඳහා දායකත්වයක් සැපයුව ද එය පවත්වාගෙන යාම සඳහා රජයට අධික වැය බරක් දැරීමට සිදුව ඇති අතර, එම සමාගම වාර්ෂිකව ලබන අධික පාඩුව රටේ ආර්ථිකයට දරා ගැනීමට අපහසු වී ඇත.

මෙම සමාගම ආර්ථිකමය වශයෙන් වාසිදායක, කාර්යක්ෂම හා ඵලදායී රාජ්‍ය ආයතනයක් බවට පත් කර, නවීන තාක්ෂණය භාවිත කරමින් සාර්ථක ලෙස පවත්වාගෙන යාම මහජන අභිලාෂය වී තිබේ.

ඒ සඳහා, සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම වර්තමාන තත්ත්වයට පත් වීමට බලපෑ හේතු සම්බන්ධයෙන් පසුගිය කාලපරිච්ඡේදය තුළ සිදු වී ඇති ගනුදෙනු හා සිද්ධීන් පිළිබඳ විධිමත් අධ්‍යයනයක් හා ඇගයීමක් සිදුකළ යුතුය.

එසේම, ගුවන්තොටුපොළ මෙහෙයුම් සම්බන්ධයෙන් වගකීම් පැවරී ඇති සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමේ කටයුතු පිළිබඳව ද විමර්ශනය කිරීමේ අවශ්‍යතාව විවිධ පාර්ශ්වයන් ඔස්සේ රජයේ අවධානයට යොමු කර ඇත.

ඒ අනුව, 2010‑2025 කාලසීමාව තුළ ඉහත සඳහන් ආයතනවල සිදු වී ඇතැයි සැලකෙන වංචා, දූෂණ සහ අක්‍රමිකතා සොයා බලා නිර්දේශ සහිත සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා හිටපු විගණකාධිපති එච්.එම්.ගාමිණී විජේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved