Connect with us

පුවත්

තරුණ සේවා සභාවේ තවත් අවුල් රැසක් එළියට

Published

on

ජාතික තරුණ සේවා සභාවේ සමාගමක් වන  ශ්‍රී ලංකා යූත් සර්විසස් පුද්ගලික සමාගම සැපයුම් කරුවෙක් ලෙස ලියාපදිංචි වී සභාවටම මිල ගණන් ඉදිරිපත් කිරීමේදී වැඩි මිල ගණන් ඉදිරිපත් කර ඇති බව කෝප් අනුකාරක සභාවේදී අනාවරණය වී තිබේ.

මෙම කරුණු අනාවරණය වුයේ 2022 සහ  2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා, වර්තමාන කාර්ය සාධනය සහ 2025 පෙබරවාරි 18 සහ 20 යන  දිනවලදී පවත්වන ලද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම් වලදී ගනු ලැබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගති සමාලෝචනය පිණිස පත්කළ අනුකාරක සභාව, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී ස්මාර්ට් යුත් වැඩසටහන් මාලාවේ තුරග තරඟ පිටියේ පැවති සංගීත ප්‍රසංගය ද ඇතුළත්ව මෙම වැඩසටහන සම්බන්ධයෙන්ද පවතින සියලු වීඩියෝ පට කාරක සභාවට ලබා දෙන ලෙස හිටපු සභාපති පසිඳු ගුණරත්න මහතාට ලබාදුන් නිර්දේශය  පිළිබඳව අනු කාරක සභාව නිලධාරීන්ගෙන් විමසා සිටින ලදී. ඒ අනුව  එම වීඩියෝ පට තමන්ට ලබාදී ඇති බව නිලධාරීහු කාරක සභාවට දැන්වූහ. එහිදී ලක්ෂ 120ක මුදලක් මේ වෙනුවෙන් අදාළ නිෂ්පාදන ආයතන වෙත ලබාදීම පිළිබඳව කාරක සභාව දීර්ඝව කරුණු විමසීය. ඒ  අවස්ථාවේදී අනාවරණය වුයේ ජාතික තරුණ සේවා සභාවේ සමාගමක් වන  ශ්‍රී ලංකා යූත් සර්විසස් පුද්ගලික සමාගම සැපයුම්කරුවෙක් ලෙස අදාළ සැපයුම වැඩි මුදලකට ලබාගෙන එම සමාගම විසින් තවත් ආයතන ඔස්සේ එය  සිදුකර ඇති බවයි.

තවද ස්මාර්ට් යුත් ප්‍රදර්ශනය ඇතුළු වැඩසටහන්  මාලාව සමීක්ෂණ වාර්තාවකින්  අනතුරුව  සිදුකළ  බව හිටපු සභාපතිවරයා පැවසුවද එවැනි වර්තාවක් සභාව සතුව නොමැති බව ජාතික තරුණ සේවා සභා නිලධාරීහු කාරක සභාවට දැන්වුහ.

මෙහිදී අදහස් දැක්වූ කාරක සභා සභාපතිවරයා ස්මාර්ට් යුත්  වැඩසටහන් මාලාව  තුළ  විශාල  මූල්‍ය වංචාවක් සිදුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් ස්වාධීන පරීක්ෂණයක් සිදුකර පුර්ණ වාර්තාවක් මාස 3ක් තුළ  කාරක සභාවට යොමු කරන ලෙසත්, ජාතික තරුණ සේවා සභාව මගින් ද පරීක්ෂණයක් සිදුකර නිත්‍යානුකූල  පියවරයන්  ගැනීමට  කටයුතු කරන ලෙසත්  නිලධාරීන්ට උපදෙස්  ලබාදුන්නේය.

එමෙන්ම දේශපාලන  හේතුන් මත  ගැටලු  සඳහා මුහුණ දුන් නිලධාරීන් 40 දෙනෙකු  සඳහා වන්දි ලබාදීමට,  විශ්‍රාමික නිලධාරීන්ගෙන් යුත් කමිටුවක් පත් කරන ලෙස ලබා දී තිබු  කැබිනට් තීරණයක් නොසලකා හරිමින් සභාව මගින් වෙනම කමිටු 3ක් පත්කර වන්දි  ලබාදීම පිළිබඳව ද කාරක සභාවේදී  සාකච්ජා විය. ඒ අනුව මෙලෙස වන්දි ලබාගත් නිලධාරීන්,ලබා දුන් වන්දි මුදල්  ප්‍රමාණයන්, මෙම උසස්වීම් ලබා දුන් දිනයන් ,ගෙවීම් කළ දිනයන් ,අනුමතිය ලබා දුන් දිනයන්  හා තීන්දු ලබා දුන් නිලධාරීන් පිළිබඳව පුර්ණ වාර්තාවක්  සති  2ක්  තුළ ලබාදීමට කටයුතු කරන ලෙස කාරක සභාව විසින් නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.

මේ අතර සී/ස ශ්‍රී ලංකා ජාතික තරුණ සේවා සමූපකාර සමිති සංගමය (NYSCO) මගින් පිරිනමනු ලබන ඩිප්ලෝමාවක්  පිළිබඳව  ලැබුණු පැමිණිල්ලක්  කාරක සභාවේදී  දීර්ඝ ලෙස සාකච්ඡාවට ගැණිනි. එහිදී අනාවරණය වුයේ  NYSCO මගින් ක්‍රියාත්මක කරන එම ඩිප්ලෝමාව සඳහා ජාතික තරුණ සේවා සභාවේ සම්බන්ධයක් නොමැති බවය. මෙහිදී  අදහස් දක්වමින් ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා NYSCO ආයතනය  වර්තමානය වනවිට තරුණ සේවා සභාවේ පාලනයෙන් ගිලිහී ගොස් ඇති බව පසුවේය. තවද  NYSCO ආයතනයේ මහා සභාවේ සාමාන්‍යාධිකාරිවරයා තෝරාගැනීමේ වයස අවුරුදු 35ක් ලෙස පැවතියද  එම වයස් සීමාව මේ වනවිට  අවුරුදු 50 දක්වා ඉහළ දමා  ඇති බව  ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවැසුහ. ඒ අනුව ජාතික තරුණ සේවා සභාවේ නාමය මෙ‍ෙලස අවභාවිත කිරීමට ඉඩ ලබාදිය නොහැකි බව පෙන්වා දුන් කාරක සභා සභාපතිවරයා මේ  පිළිබඳව ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලය මගින් විමර්ශනයක් සිදුකර අවශ්‍ය තීරණ ගැනීමට  උපදෙස් දුන්නේය. එමෙන්ම  NYSCO හි  ප්‍රධාන නිලධාරීන් කැඳවා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට අමාත්‍යාංශ ලේකම්වරයාට ද සභාපතිවරයා විසින් උපදෙස් ලබා දුන්නේය. තවද මේ සම්බන්ධව කාරක සභාවේ නිර්දේශ සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයාට යොමු කිරීමට ද අවශ්‍ය පියවර ගන්නා බව සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.

තවද ජාතික තරුණ සේවා සභාවේ  සහ ශ්‍රී ලංකා යූත් සර්විසස් පුද්ගලික සමාගමේ  වාර්ෂික වාර්තා සහ  මුල්‍ය වාර්තා නියමිත කාල රාමු තුලදී  පාර්ලිමේන්තුවට සභාගත කිරීම පිළිබඳව මෙන්ම විගණන හා කළමනාකරණ කමිටු නිසි පරිදි පැවැත්වීම පිළිබඳවද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.

පුවත්

සිසුවියගේ සියදිවි නසා ගැනීමට සැක ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

Published

on

By

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

වෙසක් සතියට දින තුනක් වැසෙන තැන්

Published

on

By

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබීම ගැන රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත.

ඒ අනුව මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබෙනු ඇත.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස රජය දැනුම්දී තිබේ. 

Continue Reading

පුවත්

හෙටින් ඇරඹෙන ජාතික වෙසක් සතිය

Published

on

By

ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුල ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය මැයි 10 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වේ.

මෙම වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved