Connect with us

පුවත්

තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පත් කිරීම ගැන නිවේදනයක්

Published

on

විදෙස් රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල සඳහා තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පත් කිරීමේ ප්‍රමාදය සම්බන්ධව මාධ්‍ය වාර්තා කිහිපයක් පළ වී ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය කාර්යාලය පවසයි

තානාපති කාර්යාල කිහිපයක සිදු කර තිබූ දේශපාලන පත්වීම් නව රජය පත්වීමෙන් අනතුරුව අවසන් කිරීම නිසා කාර්යාල කිහිපයක ම පුරප්පාඩු පැවතුණි.

එම පුරප්පාඩු පිරවීමේ ක්‍රියාවලිය අවසන් වීමට සාධාරණ කාල අවකාශයක් ගත වන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.

තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් ක්‍රියාවලිය

 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාර විදෙස් රටවල සිටින ශ්‍රී ලංකා තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි.


• ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාව නියෝජනය කරන තානාපතිවරයකු හෝ මහකොමසාරිස්වරයකු කිසියම් විදේශ රටකට පත් කළ විට, එම පත්වීම සඳහා එකී විදේශ රාජ්‍යයෙන් එකඟතාව ලබා ගත යුතුය. රාජ්‍ය තාන්ත්‍රික පරිචයේදී එම එකඟතාව අග්‍රෙමොං යන ප්‍රංශ වදනෙන් හඳුන්වනු ලැබේ.


• එම එකඟතාව ලබා ගැනීම සඳහා වන ඉල්ලීම, විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් එකී විදේශ රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලය හරහා මෙන්ම එම විදේශ රාජ්‍යය සතුව ශ්‍රී ලංකාවේ දූත මණ්ඩලයක් වෙතොත් එය හරහා ද එම රාජ්‍යයේ රජයට ඉදිරිපත් කරනු ලැබේ.


• එම එකඟතාව ලබාදීම සඳහා විවිධ රටවල් ලබා ගන්නා කාලය එකිනෙකට වෙනස් ය. සමහර රටවල් ඔවුන්ගේ අභ්‍යන්තර ක්‍රියා පරිපාටි ප්‍රකාර එම එකඟතාව ලබා දීමට මාස තුන හතරක් වැනි දීර්ඝ කාලයක් ගන්නා අතර තවත් රටවල් එතරම් දීර්ඝ කාලයක් නොගෙන එම එකඟතාව ලබා දෙයි. කෙසේවුවද, සාමාන්‍යයෙන් එම කාලය මසක් හෝ දෙකක් විය හැකි ය.


• එකී එකඟතාව ලැබීමෙන් අනතුරුව පත්වීම ලද තානාපතිවරයා හෝ මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව ඉදිරියේ පෙනී සිටිය යුතු ය. එසේ ඔහු හෝ ඇය එම කාරක සභාව ඉදිරියේ පෙනී සිටීමට පෙර, එම පත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක් පළ කරන අතර, එම පත්වීමට විරෝධතා ඇතොත් ඒවා ගොනු කිරීමට සති දෙකක කාලයක් මහජනතාවට ලබා දෙයි. තානාපතිවරයා හෝ මහකොමසාරිස්වරයා උසස් නිලතල පිළිබඳ කාරක සභාව ඉදිරියේ පෙනී සිටිනුයේ එම සති දෙකක කාලය ඉක්ම යෑමෙන් අනතුරුව ය.


• උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය ලැබුණු පසු එම තානාපතිවරයාට හෝ මහකොමසාරිස්වරයාට සිය ධුරයෙහි වැඩ භාරගැනීමේ මූලික නෛතික පසුබිම සකස් වෙයි.


• ඉන් අනතුරුව අලුතින් පත් කරන ලද තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය සති දෙකක පමණ නම්නීකරණ වැඩසටහනක් සංවිධානය කරයි. එම නම්නීකරණ වැඩසටහනට සහභාගී වීමෙන් අනතුරුව, පත් කරන ලද තානාපතිවරයාට හෝ මහකොමසාරිස්වරයාට සිය ධුරයෙහි වැඩ භාරගැනීම පිණිස අදාල විදේශ රාජ්‍යය වෙත පිටත්ව යෑමට හැකි ය.

පුවත්

හිටපු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ට ඇප

Published

on

By

ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ලෙස ලියාපදිංචි වී ඇති මෝටර් රථයක් සඳහා අංක තහඩුවක් නිකුත් කිරීම සඳහා අනුමැතිය දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු මෝටර් රථ කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු සැකකරුවන් හතර දෙනෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රත් අධිකරණය නියම කර තිබේ.

අල්ලස් කොමිසමේ සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

ඒ අනුව සැකකරුවන් තුන් දෙනෙකු රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් හා එක් සැකකරුවෙකු රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කල මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය හමුවට භාර දෙන ලෙසත් නියෝග කළාය.

ඉන් අනතුරුව නඩුව යළි නොවැම්බර් 14 යළි කැඳවීමටද මහෙස්ත්‍රාත්වරිය නියම කළාය.

Continue Reading

පුවත්

ගොවි විශ්‍රාම වැටුප ගැන නිවේදනයක්

Published

on

By

විශ්‍රාම වැටුප් අහිමිවී සිටින ගොවීන් සඳහා මේ මස සිට එම විශ්‍රාම වැටුප් ලබාදීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බව ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

සිය ගැටලුව සම්බන්ධයෙන් ගොවීන් රජය වෙත කළ ඉල්ලීම් සලකා බලා එම විශ්‍රාම වැටුප් ගෙවීමට පියවර ගෙන ඇති බව එම මණ්ඩලය සඳහන් කළේය.

2012 /2013 කාලය තුළ ගොවි විශ්‍රාම වැටුප් අරමුදලට සිදුවු බලපෑම හේතුවෙන් විශ්‍රාම වැටුප් ගෙවීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීම මත විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායක වී සිටින ගොවීන්ගේ පසුවාරික අයකිරීමේ ක්‍රියාවලිය අඩාල වී ඇති බව සඳහන්ය.

මෙම තත්ත්වය හේතුවෙන් එම යෝජනා ක්‍රමය යටතේ දායකත්වය ලබා සිටි ගොවීන්ට වාරික නිසි පරිදි ගෙවීමට නොහැකි වී තිබේ.

මේ හේතුවෙන් වයස අවුරුදු 60 සම්පුර්ණ වන අවස්ථාවේ දී නොකඩවා කන්න දෙකක් තුළ වාරික 5ක් නියමිත දිනට නොගෙවීම මත ගෙවිය යුතු සම්පුර්ණ වාරික මුදලින් සියයට 75කට නොඅඩු වාරික ප්‍රමාණයක් ගෙවා ඇති ගොවීන්ට වැටුප් හිමිකම් අහිමි වී තිබුණි.

කෙසේවෙතත් මෙම වාරික ගෙවීමට නොහැකි වීම ගොවීන්ගේ අතපසුවීමක් නොවන බව ගොවි ජන රක්ෂණ මණ්ඩලය පෙන්වා දුනි.

ඒ අනුව අදාළ ඉල්ලීම් සලකා බලා සියයට 75ට වැඩි වාරික මුදලක් ගොවි විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා ගෙවා ඇති ගොවීන් වෙනුවෙන් අදාළ වාරික මුදලට ගැලපෙන ප්‍රතිශතාත්මක මුදලක් විශ්‍රාම වැටුප ලෙස ලබා දීම සම්බන්ධයෙන් කෘෂි කර්ම අමාත්‍යවරයා දැනුවත් කර තිබේ.

ඒ අනුව ගොවි විශ්‍රාම වැටුප් උපදේශක කාරක සභාව වෙත යොමුකර එහි නිර්දේශ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මාසිකව ගොවි විශ්‍රාම වැටුප් ලබා ගැනීමේ අවස්ථාව මේ මස සිට ගොවීන්ට ලබාදීමට කටයුතු සංවිධානය කර ඇති බව ගොවි ජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේය.

Continue Reading

පුවත්

කරදියාන කසළ අංගනයේ ගින්නක්

Published

on

By

පිළියන්දල කරදියාන කසළ අංගනයේ ගින්නක් හටගෙන ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි.

ගින්න නිවීම සඳහා මොරටුව නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ජල බව්සර් හතරක්, ගිනි නිවීමේ රථ දෙකක් සහ ගිනිබටයන් 15කුත් කණ්ඩායමක් ඒ සඳහා යොමු කර ඇති බව එහි ස්ථාන භාර නිලධාරී දුල්සිරි කුමාර මහතා පැවසුවේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved