Connect with us

පුවත්

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගන්නා කාලය දීර්ඝ කරයි (Update)

Published

on

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග තැපැල් ඡන්දය සඳහා අයදුම්පත් කැඳවීමේ කාල සීමාව දීර්ඝ කර තිබේ.

තැපෑලේ දී සිදුවිය හැකි ප්‍රමාදවීම සහ කොමිෂන් සභාව වෙත කරනු ලැබූ ඉල්ලීමක් සැලකිල්ලට ගෙන එම තීරණය ගෙන ඇත.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල්, සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කර ඇත්තේ, අද (05) මධ්‍යම රාත්‍රී 12න් අවසන් වීමට තිබූ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලය අගෝස්තු මස 9 වන සිකුරාදා මධ්‍යම රාත්‍රී 12 තෙක් දීර්ඝ කර ඇති බවය.

ඒ අනුව අයදුම්පත් අගෝස්තු 9 වනදා මධ්‍යම රාත්‍රී 12ට පෙර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත ලැබීය යුතු වේ.

අයදුම්පත් ලැබීමේ දී සිදුවිය හැකි ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා අගෝස්තු 8 සහ 9 යන දෙදින තුළ සම්පූර්ණ කරන තැපැල් ඡන්ද අයදුම්පත් තැපෑලට භාරදීමෙන් වැළකී ඒවා එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන්කර වෙන වෙනම කවරවල බහා සහතික කිරීමේ නිලධාරී කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට අතින් ගෙනැවිත් භාරදීමට කටයුතු කිරීම වඩාත් යෝග්‍ය බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කරයි.


(පෙර පුවත 2024 අගෝස්තු 05, පෙ.ව.8:59)

තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අදින් අවසන්!

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග තැපැල් ඡන්දය සඳහා අයදුම්පත් කැදවීමේ චක්‍රලේඛය මැතිවරණ කොමිසන් සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇත.

මැතිවරණ කොමිසන් සභාවේ නිල වෙබ් අඩවියේ තමන්ගේ ලියාපදිංචියට අදාළ තොරතුරුවලට අනුව තැපැල් ඡන්ද අයදුම්පත් සම්පූර්ණ කර ස්වකීය ආයතනයේ සහතික කිරීමේ නිලධාරියා මගින් අද දිනට ප්‍රථම ඡන්ද හිමි නාමලේකනයේ නම සදහන් දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත යොමු කරන ලෙස මැතිවරණ කොමිසන් සභාව සදහන් කර තිබුණි.

කෙසේවෙතත් තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ තොරතුරු සංසරණය වූ අතර ඒවා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ද කොමිසම වැඩිදුරටත් දන්වා සිටියි.

ඒ අනුව තැපැල් ඡන්ද භාර ගැනීම අදින් අවසන් වන අතර, කිසිදු හේතුවක් මත එය කල් නොදැමෙන බව ද මැතිවරණ කොමිසම පවසයි.

තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට හා අනෙකුත් ඡන්ද දායකයින්ට www..elections.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් තොරතුරු ලබා ගත හැකිය.

මේ අතර එළඹෙන ජනාධිපතිවරණයට අදාළ ව මාධ්‍ය ආයතන ප්‍රධානීන් අද මැතිවරණ කොමිසම වෙත කැඳවා තිබේ.

අද පෙරවරුවේ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිසන් සභා කාර්යාලයේ දී මෙම රැස්වීම පැවැත්වීමට නියමිතව ඇත.

පසුගිය සෙනසුරාදා සියලු දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් ද කැඳවා මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක්ද පැවැත්විණි.

පුවත්

බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් රටින් ගේන්න තීන්දු කරලා

Published

on

By

බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් ආනයනය කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල් කාන්ත මහතා කියයි.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (03) පැවැති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

අනවශ්‍ය ලෙස මිල ඉහළ යෑම පාලනය කිරීම සඳහා මෙසේ බඩඉරිඟු ගෙන්වන බවද ඔහු පැවසීය.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ සත්ත්ව ආහාරවලින් ඇමැතිවරුන් පවා හම්බකරගෙන කෑ යුගයක් තිබුණු බවත් දැන් එය නිමාකර තිබෙන බැවින් ජාවාරම්කාරයන්ට අවශ්‍ය ලෙස වෙළෙඳපොළ හැසිරවීමට ඉඩ නොදෙන බවත්ය.

සත්ත්ව ආහාර නිෂ්පාදනය කරනු ලබන මහා පරිමාණ කර්මාන්තවලට වැඩි මිලට බඩඉරිඟු විකිණීමේ අරමුණින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සතු බඩඉරිඟු අලෙවි නොකර ගබඩා කර තබා ගැනීමෙන් මෙලෙස මිල ඉහළ යාමක් සිදුවන බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

‘‘ගොවීන්ට සාධාරණ මිලක් ගෙවලා ගත්ත බඩඉරිඟු මේ අය සත්ත්ව ආහාර නිෂ්පාදනය කරන කර්මාන්තකරුවන්ට ලබා නොදී මිල ඉහළ යනතෙක් ළඟ තියා ගත්තා. ඒ අය බලාපොරොත්තු වුණා 120ට, 130ට ගොවීන්ගෙන් ගත්ත බඩඉරිඟු 190ට, 200ට ආහාර නිෂ්පාදනය කරන අයට විකුණන්න. ඒ ගාණට බඩඉරිඟු ආහාර නිෂ්පාදකයන් විසින් ගත්තොත් බිත්තරයක් දෙන්න වෙන්නේ රුපියල් 200ක් වගේ මිලකට. මස් කිලෝවක මිලත් අති විශාල ලෙස මිල ඉහළ යනවා. මේ නිසා තමයි අපි තීරණය කරන්නේ බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් පිටරටින් ගේන්න.

සත්ත්ව ආහාර නිෂ්පාදනය කරන අයත් දැන් මේ ව්‍යාපාරිකයන්ගෙන් බඩඉරිඟු මිලට ගන්න කැමැති නැහැ. ඇත්තටම දැන් ප්‍රශ්නය වෙලා තියෙන්නේ තමන් මිලට ගත් බඩඉරිඟු වැඩි මිලට විකිණීමේ අපේක්ෂාවෙන් නොවිකුණා හිටපු පිරිසටයි. රටේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ කමිටුවේදී මේ ගැන සාකච්ඡා කළා. බඩඉරිඟු මිල විශාල ලෙස අඩු නොවන ආකාරයට ආනයනික බඩඉරිඟු සඳහා බද්දක් පනවන්න කියලා යෝජනාවක් ආවා. මේ සුළු, මධ්‍ය හා මහා පරිමාණ ව්‍යපාරිකයන් කියන තරම් ශුද්ධවන්තයන් නොවෙයි. උපරිම ලාභ කුට්ටියක් තමන්ට ලබා ගන්න ඒ අය නොයෙක් දේවල් කරනවා. අපි ඒකට දොස් කියන්නේ නැහැ. ව්‍යාපාර කරන්නේ ලාභ ලබන්න තමයි. නමුත්, බඩඉරිඟු මිල අනවශ්‍ය ලෙස ඉහළ යෑම පාලනය කිරීම සඳහා අපට වගකීමක් තිබෙනවා.’’

Continue Reading

පුවත්

නලීම් ගේ මන්ත්‍රී පුටුවට වසීත් නම් කරයි

Published

on

By

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන්, පුරප්පාඩුව පවතින මන්ත්‍රී ධුරය සඳහා අබ්දුල් වසීත් මහතා පත් කර ඇතැයි ජාතික මැතිවරණ කොමිසම පවසයි.

ඉකුත් පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා එස්.එම්. නලීම් මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ අතර, වසීත් මහතා පත් කර ඇත්තේ එලෙස පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයටයි.

Continue Reading

පුවත්

කහවත්ත උණුසුම් : පොලිසිය හා ගම්වාසීන් ගැටෙයි

Published

on

By

කහවත්ත පලන්සූරියගම දී ඝාතනය ලක් වූ පහළගම විතානලාගෙ ඉමන්ත  සුරන්ජන  තරුණයාගේ අවසන් කටයුත අද සවස අවසන් වී සුළු වේලාවකින් පොලිසිය සහ ගම්වාසීන් අතර ඇතිවූ ගැටුමකදී පොලිසියේ සහ ගම්වාසීන් කීප දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. පිරිස විසුරුවීමට පොලිසියට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට ද සිදුවිය.

තුවාල ලැබූවන් අතර පොලිස් කාන්තාවක ඇතුළු තිදෙනකු ද එම ගම්මානයේ කාන්තාවක ඇතුළු තවත් දෙදෙනකු ද වන බව පොලිසිය කියයි. ඔවුන් ප්‍රතිකාර සඳහා කහවත්ත රෝහල්ට ඇතුළත් කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගැමින් තිදෙනකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

ඝාතනයට ලක් වූ තරුණයාගේ අවසන් කටයුතු කහවත්ත පලන්සූරයගම පවුලේ සුසාන භූමියේදී අද සවස සිදු කිරීමෙන් පසු එම කටයුතු අවසන් කර ආපසු නිවෙස් බලා යමින් සිටි ගැමියන් හා ප්‍රදේශයේ ආරක්ෂාවට යොදවා තිබූ පොලිස් කණ්ඩායමක් අතර ගැටුමක් නිර්මාන්‍ය වී ඇත. ගැමියන් චෝදනා කර ඇත්තේ ඝාතනයට පෙර මෙම සිද්ධියට මැදියත්වන ලෙස ඉල්ලීම් කළත් ඊට ප්‍රතිචාරයක් නොදැක් වූ පොලිසිය ඝාතයෙන් පසු පොලිස් ආරක්ෂාව අවශ්‍ය නැති බව චෝදනා කර ඇත.

ඒ අවස්ථාවේ පොලිසිය හා ගැමියන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති අතර  ගැමියන් පිරිසක් පොලිසියට ගල්මුල්වලින් පහරදී ඇත.

ඒ අවස්ථාවේ එම පොලිස් කණ්ඩායම එම ප්‍රදේශයෙන් ඉවත්වීමත් සමග කලහකාරීව හැසිරුණු පිරිස මෙම ඝාතනය සම්බන්ධයෙන් ගැමියන් විසින් චෝදනා කරන පුද්ගලයාගේ නිවෙසට දෙසට පා ගමින්  ගමන් කර ඇත.

එම පිරිසගේ ගමන නැවැත්වීමට ඒ අවස්ථවේ එම ප්‍රදේශයේ ආරක්ෂාවට යොදවා සිටි කැරළිමර්ධන පොලිස් කණ්ඩායම් උත්සහා කර ඇති අතර ඒ අවස්ථාවේදී ද ගැමියන් හා පොලිසිය අතර යළි ගැටුමක් නිර්මාණය වී ඇත.

එම පිරිස ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල කරන පුද්ගලයාගේ නිවෙස ඉදිරිපිට නවතා තිබූ ත්‍රිරෝද රියකට ද ගිනි තබා ඇතැයි පොලිසිය කියයි.

එම සිද්ධියත් සමග කලබල ලෙස හැසිරිරුණු පිරිස විසුරුවා හැරිම සඳහා පොලිසිය කඳුළුගෑස් ප්‍රහාරයක් ද එල්ල කළේය. ඒ අවස්ථාවේ ගැමියන් පොලිසියට ගල් ප්‍රහාරයක් ද එල්ල කර ඇත.

(ලංකාදීප)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved