Connect with us

පුවත්

තිරිඟු පිටි සමාගම්වලට පගාව දීම ගැන සාගලගෙන් ප්‍රශ්න කළ යුතුයි – අනුර

Published

on

සමහර දේශපාලන ව්‍යාපාරවල මැතිවරණ වෙනුවෙන් අරමුදල් වියදම් කරණ ප්‍රීමා ආයතනයට සහ සේරන්ඩිබ් ආයතනයට මෙරට තිරිඟු පිටි ඒකාධිකාරියක් සකස් කර දී ඇති බවත් ඔවුන්ගේ මැතිවරණය වෙනුවෙන් මුදල් රැස් කර ගැනීමට ජනතාවට ඉතා අධික මිලකට පිටි මිලදී ගැනීමට සිදුව ඇති බවත් මේ සම්බන්ධයෙන් මැදිහත්කරුවා වන ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකගෙන් ප්‍රශ්න කළ යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුරද දිසානායක අද (19) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔහු මේ බව පැවසූවේ සමාගම් දෙකකට වෙළඳපොළේ තිරිඟු පිටි ඒකාධිකාරයක් හිමිකර දීමට පියවර ගැනීම හේතුවෙන් බේකරි කර්මාන්තයට හා පොදුවේ පාරිභෝගික ජනතාවට මුහුණපෑමට සිදු වී ඇති ගැටලුකාරී තත්වය පිළිබඳව ස්ථාවර නියෝග 27/2 යටතේ නගනු ලබන ප‍්‍රශ්නයක් ආණ්ඩුවට යොමු කරමිනි.

එහිදී මේ සම්බන්ධයෙන් ඔහු පල කළ සම්පූර්ණ අදහස් පහතින් පල වේ.

“අද වනවිට දිවයින පුරා බේකරි හයදහසක් පමණ ක‍්‍රියාත්මක වන අතර බේකරි කර්මාන්තය මගින් ලක්ෂ 05ක පමණ පිරිසක් තමන්ගේ ජීවනෝපාය සලසා ගන්නවා. එසේම ප‍්‍රධාන ආහාරය වන බත් හැරෙන්නට වතුකරයේ ජනතාව ඇතුළු වැඩිම පිරිසක් පාරිභෝජනය කරනු ලබන ආහාර වර්ග ගණනාවක ප‍්‍රධාන අමුද්‍රව්‍යය වනුයේ තිරිඟු පිටියි. මේ අනුව තිරිඟු පිටි මිල පාරිභෝගිකයින් විශාල පිරිසකගේ ජීවන වියදමේ විශාලතම පංගුව වන ආහාර වියදම්වලට ඍජුව බලපාන කරුණක් වනවා. ඔබතුමා දන්නවා ඒක. තිරිඟුපිටි දැනුත්, අපේ ප්‍රධාන පාරිභෝගික භාණ්ඩයක්.

මෙවැනි තත්වයක් තිබියෙදී ආණ්ඩුව 2023.06.14 දාතමින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත‍්‍රය මගින් සහ ආනයන පාලකවරයාගේ 2023.06.16 ලිපිය මගින් ආනයන බලපත‍්‍ර නොමැතිව තිරිඟු පිටි ආනයනය කිරීම තහනම් කර තිබෙනවා. මා ගාව තිබෙනවා, මුදල් ඇමති ලෙස රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය. මෙම ගැසට් නිවේදනයෙන් තිරිඟු පිටි ආනයනය මුළුමනින්ම තහනම් කර තිබෙනවා. ඒ වගේම ආනයන පාලකවරයා විසින් නිකුත් කළ නිවේදනය මා ගාව තිබෙනවා. ඒ අනුව එය තහනමකට භාජනය කරලා තිබෙනවා. එසේම නව ආනයන බලපත‍්‍ර නිකුත් කිරීමක්ද සිදු කර නැහැ. ඒ වෙලාවේදි කිව්වා මේක තහනම් කලාට ආනයන බලපත්‍ර නිකුත් කරනවා කියලා. නමුත් මේ වනතෙක් එවැනි බලපත්‍ර නිකුත් කරලා නැහැ. ඒ අනුව දේශීය තිරිඟු පිටි අවශ්‍යතාව සපුරාලීමේ කටයුත්ත තිරිඟු ඇට ආනයනය කර මෙරටදී පිටි නිෂ්පාදනය කරන බහුජාතික සමාගම් දෙකක ඒකාධිකාරයට පත් කර තිබෙනවා. තිරිඟු පිටි අනානයනය කරන්න දෙන්නේ නැත්නම් මුලුමනින්ම ප්‍රීමා ආයතනයත් සෙරන්ඩිබ් ආයතනයත් තමයි අපේ රටට අවශ්‍ය තිරිඟු පිටි නිෂ්පාදනය ඇති කරනු ලබන්නේ. දැන් මේ මුළු තිරිඟුපිටි වෙළඳපොලම ප්‍රීමා ආයතනයේත් සේරන්ඩිබ් ආයතනයේදී ඒකාධිකාරියක්. ගැටලුව වන්නේ ආනයනය කරනු ලබන තිරිඟු ඇටවලින් දේශීයව නිෂ්පාදනය කරනු ලබන තිරිඟු පිටි අයුතු ලාභයක් ලබමින් වැඩි මිලකට අලෙවි කිරීමට මෙම සමාගම් විසින් පියවර ගෙන තිබීමයි. ඔවුන් වෙළඳපොළේ තිරිඟු පිටි කිලෝග‍්‍රෑම් 01ක් අලෙවි කරන්නේ රුපියල් 210ක් තරම් ඉහළ මිලකටයි. එසේම ඔවුන් ආනයනය කරනු ලබන තිරිඟු ඇට කිලෝග‍්‍රෑම් 01ක් වෙනුවෙන් රජයට ගෙවනු ලබන්නේ රුපියල් 03ක බදු මුදලක් පමණයි. ඇට කිලෝ එකකට රුපියල් 03ක වගේ බද්දක් ගෙනවා කිලෝග්‍රෑම් එකක් රුපියල් 210කට මිල කරලා තිබෙනවා.

කෙසේ වුවද රජයේ තිරිඟු පිටි ආනයන තහනම තුළ දේශීය පිටි අලෙවියේදී මෙම සමාගම් අධික ලාභ ලබන බව හෙළි වන්නේ ලෝක වෙළඳපොළේ තිරිඟු පිටි මිල සංසන්දනය කර බැලීමේදීයි. නිදසුනක් ලෙස තුර්කියෙන් ශ‍්‍රී ලංකාවට තිරිඟු පිටි ආනයනය කිරීමේදී පිටි කිලෝග‍්‍රෑම් 01ක් වරායට ගොඩබෑ හැකි මිල රුපියල් 110ක් පමණයි. රුපියල් 110ට තිරිඟු පිටි කිලෝ එක්ක වරායට ගේන්න පුළුවන් නමුත් මේ සමාගම් මිල තීරණය කරලා තියෙන්නෙ රුපියල් 210ට. ඊට කලින් පනවා තිබූ බදු මුදල වන රුපියල් 35ක මුදලද එකතු කර වෙළඳපොළේ රුපියල් 160ක පමණ මුදලකට ලාභයක්ද සහිතව පිටි අලෙවි කළ හැකි බව බේකරි කර්මාන්තකරුවන් විසින් පෙන්වා දී තිබෙනවා. මොකද පිටි කිලෝ එක්ක ආනයනය කිරිමේදී රුපියල් 35ක බද්දක් තිබ්බා. ඒ බද්දද ඇතුළත් කරලා පිටි කිලෝ එකක් රුපියල් 160කට ලබාදීමේ හැකියාව තිබ්බා. ඒ බද්ද 2023 ජනවාරි මාසයේ තුර්කි තිරිඟු පිටි මෙ.ටො. 01ක මිල ඇ.ඩො. 535ක් වූ නමුත් පෙබරවාරියේ 510ක්ද, මාර්තුවේ 490ක්ද, අප්‍රේල් මාසයේ 440ක්ද, මැයි මාසයේ 377ක්ද, ජුනි මාසයේ හා ජූලි මාසයේ ඇ.ඩො. 355ක්ද වශයෙන් ක‍්‍රමිකව පහත වැටී තිබෙනවා. ඒ කියන්නේ ජනවාරි මාසයේ මෙට්‍රික් ටොන් එකක මිල ඇමරිකන් ඩොලර් 535ක් වුනත් වර්තමානයේ ලෝක වෙළඳපොලේ මෙට්‍රික් ටොන් එකක මිල ඇමරිකන් ‍ඩොලර් 355යි. ඒ කියන්නේ 3න් 1කට වඩා වැඩි ප්‍රමාණයකින් ලෝක වෙළඳපොලේ පිටි මිල අඩුවෙලා තියෙනවා.

එසේම ජනවාරි මාසයේ ලෝක වෙළඳපොළේ, මාගාව තියෙනවා ලෝක වෙළඳපොලේ වාර්තාව, ඒ වාර්තාව දෙස ඉතා හොඳින් බලපුවාම පේනවා සීග්‍රයෙන් ලෝක වෙළඳපොලේ පිටිමිග සීග්‍රයෙන් පහළ යමින් තිබෙනවා. මේ වාර්තාව අනුව තමයි ලෝක වෙළඳපොළේ 510ක තිබ්බ පිටිමිප 377 දක්වා අඩුවී තිබෙන්නේ. ලෝක වෙළඳපොළේ පිටි මිල අඩුවෙලා තියෙන්නේ. එසේම ජනවාරි මාසයේ ඇ.ඩො. 310ක් වූ තිරිගු ඇට මෙ.ටො. 01ක මිල පෙබරවාරියේ 307ක්ද, මාර්තුවේ 302ක්ද, අප්‍රේල් මාසයේ 292ක්ද, මැයි මාසයේ 279ක්ද, ජුනි මාසයේ 245ක්ද, ජූලි මාසයේ ඇ.ඩො. 238ක්ද වශයෙන් ක‍්‍රමිකව පහත වැටී තිබෙනවා. ලෝක වෙළඳපොළේ තිරිඟු ඇට මිල අඩුවෙලා තියෙනවා. තිරිඟු පිටි මිල අඩුවෙලා තියෙනවා. ජනවාරි මාසයේ ඇමරිකන් ඩොලර් 310ක් වුනු තිරිඟු ඇට මෙට්‍රික්ටොන් එකක් ජුනි මාසේ වෙනකොට 238 දක්වා විශාල ප්‍රමාණයකින් අඩුවෙලා තිබෙනවා. අනෙක් අතට ජනවාරි මාසයේ රු. 362.42ක් වූ ඩොලරයේ අගය ජූනි මාසය වන විට සටහන් වූයේ රු. 301.26ක් ලෙසයි. ඒ අනුව මෙම පිටි නිෂ්පාදන සමාගම් අතිශය අසාධාරණ ලාභයක් ලැබූ බව සහ ලබමින් සිටින බව ඉතා පැහැදිලියි. ලෝක වෙළඳපොළේ ඉතා වේගයෙන් පිටි මිල අඩුවෙනවා. ලෝක වෙළඳපොළේ ඉතා වේගයෙන් තිරිඟු ඇට මිල අඩුවෙනවා. ඒ වගේම ඩොලරයේ අගයත් 362 සිට 301 දක්වා අඩුවෙලා තිබෙනවා. දැන් මොකක්ද වෙන්න ඕන. මේ වාසිය පාරිභෝගික ජනතාවට දෙන්න ඕනා. හැබැයි ආණ්ඩුව මොක්ද කළේ. ආණ්ඩුව කරපු දේ තමයි ජුනි මාසේ 14 වෙනිදා ගැසට් නිවේදනයක් නිකුත් කරලා තිරිඟු පිටි ආනයන බලපත්‍ර ලබාදීම නතර කරනවා. එතකොට සේරෙන්ඩ්බ් ආයතනය සහ ප්‍රීමා ආයතනයට ඒකාධිකාරියක් ඇති වෙනවා. මේවා ඉතාම ජනප්‍රිය ප්‍රසිද්ධ කතා, මේ ආයතනයන් දේශපාලන ව්‍යාපාරවල මැතිවරණ කටයුතුවලට සල්ලි දෙන බව. දැන් මොකක්ද සිදු කළේ. පාරිභෝගික ජනතාවට ලෝක වෙළඳපොළේ පිටි මිලත් අඩුවෙමින් තිබියදී ඩොලරයේ අගයත් පහළ යමින් තිබියදී පිටි කිලෝ එකකට රුපියල් 35ක බද්ධක් ගහලත් රුපියල් 160ක වැනි මිලකට පිටි කිලෝ එකක් ලබාදෙන්න තිබියදී ප්‍රීමා ආයතනයට සහ සේරෙන්ඩිබ් ආයතනයට මේ පගාව දුන්නේ කවුද? සගල රත්නයකගෙන් ප්‍රශ්න කරන්න ඕනා. මේකය මේගොල්ලො කළේ. එයා එයාගෙ වැඩේ කරන්න. මුදල් අමාත්‍යාංශයේ බදු තීරණය කිරිමේ බලය කොහොමද එයාට ලැබිල තියෙන්නේ?. එයා කොහොමද තීරණ ගන්නේ? එයා කොහොමද බලපෑම් කරන්නේ?

ඒ නිසා අද පාරිභෝගික ජනතාවට ලෝක වෙළඳපොලේ පිටිමිල අඩුවෙමින් තිබියදී, ඩොලරයේ අගය අඩු වෙමින් තිබියදී වෙළඳපොළේ පිටි ආනයනය මුළුමනින්ම නතර කරලා සමාගම් දෙකක් මත ඒකාධිකාරිත්වයක් හදලා අදත් පිටි කිලෝ එකක් රුපියල් 210යි. ඊයේ (18) රෑ අඩු කරලා තිබෙනවා බේකිරි හිමියන්ට විතරක්. ඒත් මේක දැනගෙන.

මෙවැනි තත්වයක් තුළ දේශීය වශයෙන් සාපේක්ෂ මිල අඩු කිරීමකට බල නොකර සහ ආනයනික පිටි කිලෝග‍්‍රෑම් 01කින් රජයට හිමි විය යුතු රුපියල් 35ක බදු මුදලද අහිමි කර ගනිමින් ආණ්ඩුව තිරිඟු පිටි ආනයන තහනමක් පනවා පාරිභෝගිකයින් සූරාකෑමට පිටි නිෂ්පාදන සමාගම් දෙකකට ඉඩ දී තිබෙන්නේ කුමන හේතුවක් නිසාද යන්න ගැටලුවක්. මොකද පිටි ආනයනයට රුපියල් 35ක බද්දකුත් ගැහුවා. දැන් ඒ බද්දත් නැහැ. පාරිභෝගිකයන්ට සාධාරණ මිලට පිටිත් නැහැ. ඒ නිසා මම දැනගන්න කැමතියි මේ තීන්දු තීරණ ගැනෙන්නේ කොහොමද? ඒ විතරක් නෙවෙයි මේක තහනම් කරනකොට කිව්වා බලපත්‍ර දෙනවා කියලා. හැබැයි කාටවත් බලපත්‍ර දුන්නෙත් නැහැ.

එසේම පිටි ආනයන තහනම පැනවීමේදී ආනයනය සඳහා බලපත‍්‍ර ක‍්‍රමයක් හඳුන්වා දෙනු ලබන බව ප‍්‍රකාශ වුවද මේ වන තෙක් ඒ පිළිබඳ තීරණයක් ප‍්‍රකාශයට පත් වී නැහැ. අවම වශයෙන් ලෝක වෙළපොළේ තිරිඟු පිටි මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයන්ට ලබා දෙන ලෙස මෙම සමාගම්වලින් ඉල්ලීමට පවා ආණ්ඩුව බිය වී සිටිනවාදැයි සැක උපදිනවා. අනික් හැමඑකකටම ඕගොල්ලො පාලන මිලක් දානවා. හැබැයි මේකෙද මොකක්ද 210ට වඩා වැඩියෙන් විකුණන්න බැහැ කියනවා.

මෙම තත්වය තුළ මතුවන පහත ගැටලූවලට පිළිතුරු අදාළ අමාත්‍යවරයා විසින් සභාව හමුවේ තබනු ඇතැයි අපේක්ෂා කරනවා.

ලෝක වෙළඳපොළේ තිරිඟු පිටි මිල අඩු වෙමින් තිබියෙදී පිටි ආනයනය නතර කිරීමට පියවර ගනු ලැබුවේ කවර හේතුවක් නිසාද?
ප‍්‍රකාශ කර ඇති පරිදි තිරිඟු පිටි ආනයනය කිරීම සඳහා ආනයන බලපත‍්‍ර නිකුත් කිරීමක් සිදු කරන්නේද? එම බලපත‍්‍ර ලබාදීම සඳහා වන ක‍්‍රමවේදය කුමක්ද?
ලෝක වෙළඳපොළේ තිරිඟු පිටි මිල සහ තිරි`ගු ඇට මිල ක‍්‍රමිකව අඩු වෙමින් තිබියෙදී ආනයනය නතර කිරීමෙන් වෙළඳපොළ තුළ තිරිඟු පිටි ඒකාධිකාරයක් ගොඩනැගුණු බවත් පාරිභෝගිකයාට අසාධාරණයක් වූ බවත් පිළිගන්නේද?

ජනතාවගේ අත්‍යවශ්‍ය ආහාර පරිභෝජනය හා බැඳුණු මෙම කරුණු සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය මැදිහත්වීම් කිරීමට කටයුතු කරන්නේද? ඒකාධිකාරයෙන් පාරිභෝගිකයා බේරා ගැනීමට ආණ්ඩුව විසින් ගන්නා පියවර කවරේද?

මේක වැදගත්, ඇයි ආනයනික බලපත්‍ර නතර කළේ? ලෝක වෙළඳපොළේ පිටිමිල අඩුවෙමින් තිබියදී ඇයි අනික් අයට ආනයනය සඳහා තිබුණු අවස්තා අහිමි කළේ? ඒ සමාගම් දෙක ඇට ගෙනල්ලා පිටි කරලා විකුණනවා. ඕනනම් තව ඕන කෙනෙකුට පිටි ගෙනල්ලා විකිනීමේ හැකියාව තිබෙනවා. ඕනන්ම තත්ව පරීක්ෂාවකටත් භාජනය කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි පිටි කිලෝ එකකට රුපියල් 35ක බද්දක් ගැහුවා. ඒ අර සමාගම් දෙක ආරක්ෂා කරලා දෙන්න. ඒ සමාගම්වලට ගැහුවේ ඇට කිලෝ එකකට රුපියල් 03ක බද්දක්. පිටිවලට ගැහුවා රුපියල් 35ක බද්ධක්. මේ සමාගම් ලේස සමාගම් නෙවෙයි, බහුජාතික සමාගම්. එතක කිසිසේත්ම දේශීය කර්මාන්තකරුවා ආරක්ෂා කිරීමේ න්‍යායක් නැහැ. අපි සමහර බදු ප්‍රතිපත්තිවලට එකඟයි. අපේ රටේ ජාතික නිෂ්පාදිතය ආරක්ෂා කරගැනීම සඳහා. මේ ජාතික නිෂ්පාදිතය ආරක්ෂා කරගැනීම නෙවෙයි. එයින් ලැබෙන අතිරේක ලාබය, ඩොලර් ලෙස අරගෙන යනවා රටෙන් එළියට. ඒ නිසා අනික් අයට ආනයන නතර කිරීමේ නිවේදන නිකුත් කළේ ඇයි? ඒ වගේම ලෝක වෙළඳපොළේ පිටි මිල අඩුවෙමින් තිබියදී තිරඟු ඇට මිල අඩුවෙමින් තිබියදී ඩොලරයේ අගය අඩුවෙමින් තිබියදී ඒ වාසිය පාරිභෝගික ජනතාවට යන්නේ නැතුව වෙන ආකාරයකින් ඒ සමාගම් මුදල් උපයාගැනීම සඳහාත් විවිධ දේශපාලන අධිකාරීන් වෙත මැතිවරණ ව්‍යාපාර, ජනාධිපති ඡන්දෙ සඳහා ෆන්ඩ්එක හදනවා මේ සල්ලිවලින්. මේකයි තියෙන එකඟතාවය. මේගොල්ලො හැම ජනාධිපතිවරණ ඡන්දෙකම සල්ලි පොම්ප කරපු අය. ප්‍රීමා ආයතනය, නොදන්න කෙනෙක් නැහැ ඒක. මේ මොකක්ද කරන්නේ. එළඹෙන ජනාධිපතිවරණයේ අරමුදල් සඳහා තමයි මේ පිටි අධික මිලකට පාරිභෝගක ජනතාවට ලබාදෙන්න සිදු වී තිබෙන්නේ.”

පුවත්

ඇමෙරිකානු ඉන්දු-පැසිෆික් විධානයේ අණදෙන නිලධාරියා මෙරටට

Published

on

By

එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් විධානයේ (INDOPACOM) අණදෙන නිලධාරි අද්මිරාල් සැමුවෙල් ජේ. පපාරෝ මහතා මාර්තු 19-21 දිනවල කොළඹට පැමිණෙන බව මෙරට එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කරයි.   

ඔහුගේ සංචාරය අතරතුර, අද්මිරාල් පපාරෝ, ශ්‍රී ලංකා රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ හමුදා නායකයින් සමඟ සම්බන්ධ වී ඉන්දු-පැසිෆික් කලාපයේ දිගුකාලීනව පවතින එක්සත් ජනපද-ශ්‍රී ලංකා ආරක්ෂක හවුල්කාරිත්වය නැවත තහවුරු කිරීමටත්, ඉන්දු-පැසිෆික් කලාපීය ස්ථාවරත්වය සහ ආරක්ෂාව සඳහා වන එක්සත් ජනපද දැක්ම බෙදා ගැනීමටත් කටයුතු කරනු ඇතැයි ද එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.

පපාරෝ අණදෙන නිලධාරි තුමාගේ සංචාරය, ශ්‍රී ලංකාව සමඟ ඇති ආරක්ෂක සහයෝගීතාව වැඩි දියුණු කිරීමට සහ ඉන්දු-පැසිෆික් කලාපයේ පොදු අභියෝගවලට මුහුණ දීම සඳහා වන එක්සත් ජනපදයේ අඛණ්ඩ කැපවීම අවධාරණය කරන බවද තානාපති කාර්යාලය පෙන්වා දෙයි.

පෙන්සිල්වේනියාවේ මෝර්ටන් හි උපත උපත ලැබූ අද්මිරාල් සෑම් පපාරෝ, විලනෝවා විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා 1987 දී අධිකාරලත් නිළයකට පත් විය. ඔහු හිටපු මැරීන් නාවික හමුදා සෙබලෙකුගේ පුත්‍රයා වන අතර දෙවන ලෝක යුද්ධයට බඳවා ගත් නාවිකයෙකුගේ මුනුපුරා ද වේ.  

ඔහු ඕල්ඩ් ඩොමීනියන් විශ්ව විද්‍යාලයෙන් (Old Dominion University) ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ නාවික පශ්චාත් උපාධි පාසලෙන් පද්ධති විශ්ලේෂණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත.  එක්සත් ජනපද නාවික ගුවන් නියමුවෙකු වන ඔහු TOPGUN පාඨමාලාවේ උපාධිධාරියෙකු වන අතර, F-14, F-15 සහ F/A-18 යානාවන්හි පැය 6,000 කට අධික පියාසර කාලයක් සමග වාහක මත ගොඩබෑම් 1,100 ද සිදු කර තිබේ.

මුහුදු මෙහෙයුම් අණදෙන චාරිකා අතරට ජපානයේ යොකොසුකා හි ඉදිරි පෙළ නාවික බළකායේ ස්ට්‍රයික් ෆයිටර් බලඝණයේ  (VFA )195 ට අනුයුක්තව කටයුතු කිරීම, Kitty Hawk Strike Group වෙත අනුයුක්තව: අණ  දෙන නිලධාරි, Carrier Air Wing 7, Dwight D. Eisenhower Strike Group හි කටයුතු කිරීම  සහ Carrier Strike Group Ten හි අණදෙන නිලධාරියා ලෙස කටයුතු කිරීම  ඇතුළත්  වේ.   ගොඩ බිමේදී ඔහු 3 වන බලසේනාව, 10 වන කඳුකර සේනාංකය සහ 173 වන ගුවන් විහිදුම් බළකාය සමඟ ඇෆ්ගනිස්ථානයේ නුරිස්තාන් පළාතේ පළාත් ප්‍රතිසංස්කරණ කණ්ඩායමට අණ දුන්නේය.  මුහුදේ අනෙකුත් මෙහෙයුම් කටයුතු වලට අදාළව,  සංග්‍රාමික බළකා  (VF) 14 යටතේ ,USS John F. Kennedy සහ USS Dwight D. Eisenhower Strike Groups සහ VFA-15 සමඟ F-14 Tomcat යානා පියාසර කරවීම,USS Theodore Roosevelt සහ USS Enterprise Strike Group සමග F/A-18 Hornet යානා  පියාසර කරවීම ඔහු විසින් සිදු කොට ඇත.  තවද ඔහු සෞදි අරාබිය සහ අයිස්ලන්තයේ කෙෆ්ලාවික් වෙත අනුයුක්තව 71 වැනි ප්‍රහාරක බලඝණය සමඟ F-15C ඊගල් යානා පියාසර කරවමින් එක්සත් ජනපද ගුවන් හමුදාව සමඟ හුවමාරු සේවා පදනම යටතේ රාජකාරිද සිදු  කළේය.  ඒකාබද්ධ මෙහෙයුම් සේවයේ දී, ඔහු කටාර් Al Udeid හි ඒකාබද්ධ ගුවන් හා අභ්‍යවකාශ මෙහෙයුම් මධ්‍යස්ථානයේ සංග්‍රාමික අධ්‍යක්ෂවරයා විය.

වෙරළාරක්ෂක කටයුතුවලදී ඔහු නාවික ගුවන් හමුදා අණදෙන නිලධාරී කාර්යාලයේ F/A-18 යානා පුහුණු කිරීමේ, සුදානම් කිරීමේ සහ අදාළ අවශ්‍යතා සදහා වූ කාර්ය මණ්ඩල නිලධාරියෙකු ලෙස කටයුතු කළේය.  ඔහු VFA-106 හි අණදෙන නිලධාරියා ලෙස සේවය කළ අතර නාවික මෙහෙයුම් ප්‍රධානියාගේ කාර්ය මණ්ඩලයේ OPNAV N80 ශාඛා ප්‍රධානියා ලෙසද සේවය කළේය.  ඔහු විධායක සහකාර ලෙස එක්සත් ජනපද නාවික බළ ඇණියේ අණදෙන නිලධාරිවරයාටද, ඉන් අනතුරුව 31 වන නාවික මෙහෙයුම් ප්‍රධානියාටද සේවය කළේය. 

ඔහු එක්සත් ජනපද මධ්‍යම විධානයේ J3 හි මෙහෙයුම් අධ්‍යක්ෂවරයාද විය. ඔහු එක්සත් ජනපද නාවික හමුදා මධ්‍යම විධානයේ /එක්සත් ජනපද 5 වැනි බළ ඇණියේ /ඒකාබද්ධ සමුද්‍රීය බළකායේ අණදෙන නිලධාරිවරයා වශයෙන්ද කටයුතු කළේය.   ඔහු මෑත කාලීනව ලැබූ නවතම පත්වීම වනුයේ 2021 මැයි සිට 2024 අප්‍රේල් දක්වා එක්සත් ජනපද පැසිෆික් බළකායේ අණදෙන නිලධාරිවරයා ලෙස කටයුතු කිරීමයි.

පපාරෝ මහතා 2024 මැයි මාසයේදී එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් බළකායේ අණදෙන නිලධාරියා ලෙස රාජකාරි භාර ගත්තේය.  ඔහු ජාතියේ පැරණිතම සහ විශාලතම සටන් විධානයේ 27 වන අණදෙන නිලධාරියා වේ.  USINDOPACOM බළකායට සොල්දාදුවන්, නාවිකයින්, නාවික භටයන් (Marines), ගුවන් භටයින්, ආරක්ෂකයින්, වෙරළාරක්ෂකයින් සහ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සිවිල් වැසියන්ද ඇතුළු 380,000 ක්  ඇතුළත් වන අතර  ජාතීන් 36 ක් සහ වේලා කලාප 14 ක් සහිත ලෝක ජනගහනයෙන් සියයට 60 ක් ආවරණය වන පරිදි ඉන්දු-පැසිෆික් කලාපයේ සියලුම එක්සත් ජනපද හමුදා ක්‍රියාකාරකම් සඳහා  වගකීම දරනු ලබයි.

Continue Reading

පුවත්

දේශබන්දුට කිසිම දේපළක් නැහැ, ඔහු ගොස්ට් කෙනෙක් වගේ –  අතිරේක සොලිස්ටර් ජනරාල්

Published

on

By

වැඩතහනමට ලක්වූ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ නමට කිසිදු දේපළක් හෝ ඉඩමක් ලියාපදිංචි කර නැතැයි, නීතිපති අතිරේක සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දුන්නේය.

ඒ මාතර, වැලිගම ප්‍රදේශයේ පිහිටි ”W 15” හෝටලය ආසන්නයේ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තෙන්නකෝන් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් 8 දෙනෙකු අත්අඩංගුවට ගන්නැයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය පෙබරවාරි 28 වැනිදා නිකුත් කළ නියෝගයට අදාළ නඩුවට ජනාධිපති නීතීඥ ශානක රණසිංහ මහතා හරහා දිරිපත් කර තිබූ මොසමක් සලකා බැලූ අවස්ථාවේදී මාතර මහේත්‍රාත් අරුණ බුද්ධදාස මහතා ඉදිරියේදීය.
එහිදී, “ස්වාමීනි, මෙයොගේ නමට ලියාපදිංචි කිසිම වාහනයක්, ඉඩමක් නැහැ, 2021 සිට කිසිදු ඡන්ද නාමලේඛනයක සැකකරුගේ නමක් නැහැ, සංවිධානාත්මක අපරාධකරුවන් වන හරක් කටා, මධුෂ් වගේ අයගේත් දේපළ සොයාගන්න පුළුවන් වුණා, නමුත් මේ පුද්ගලයාගේ කිසිවක් නැහැ” යැයිද පීරිස් මහතා අධිකරණයට දැන්වීය.

“ස්වාමීනි, මොහු අභිරහස් පුද්ගලයෙක්, මොහු අදෘශ්‍යමාන ගෝස්ට් කෙනෙක් වගේ පුද්ගලයෙක් යැයිද, රටේ ධනය විනාශ කරමින් ප්‍රභාකරන් සෙව්වන්දි අල්ලනවා වගේ මොහුවත් සොයන්න වුණා” යැයිද පීරිස් මහතා අධිකරණයට කීය.

අධිකරණය මඟහැර දින 20ක් සැඟව සිටීමට සහය වූ පිරිස්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද 

නීතිපති අතිරේක සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැන්වීය.
අදාළ නීතී කෘත්‍ය ආරම්භකරමින් නීතිපති අතිරේක සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා කියා සිටියේ විවිධ උපක්‍රම, උප්පරවැට්ටි මහ යටික්ට්ටු ක්‍රියා කරමින් දේශබන්දු තෙන්නකෝන් මහතා සිදු කළ රංගනයේ අවසානය අදබවයි.

පීරිස් මහතා වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේ තමා අධිකරණයට ආවේ විවෘත වරෙන්තුකරුවකු ටයි කෝට් ඇඳගෙන බෙන්ස් රථයක් ඇතුළු වාහන පිරිවරාගෙන අධිකරණ පරිශ්‍රයට පැමිණ වාඩි වෙලා ඉන්නව කියන දැනුවත් කිරීම මත බවයි.

අදාළ මෝසම, ගැන නීතිපතිපාර්ශවයට දැනුම්දීමක් නොකළ බවත්, හොර පූසාවගේ උසාවියට ඇවිත් පාළු ගෙයි වළං බිඳලා ඇපත්අරගෙන යන්න හිතාගෙන ඉන්න ඇතැයිද පීරිස් මහතා අධිකරණයේදී ප්‍රකාශ කළේය.

විවෘත වරෙන්තුකරුවකු සිටිය යුත්තේ කූඩුවට වෙලා බවත්, ඔහුට අධිකරණ ශාලාවේ වාඩිවී සිටීමට අවස්ථාව ලබාදීමට තරම් අධිකරණය කාරුණික වී ඇතැයි ද පීරිස් මහතා එහිදී සඳහන් කළළේය.

ස්වාමිනි, මොහු මේ ඇවිල්ල ඉන්නේ අදාළ හෝටලයේ සිද්ධියට නෙවෙයි..තමන්ගේ කර්මය සම්බන්ධ නඩුවකට, මේක ස්වාමිනි දිට්ඨ ධම්ම වේදනීය කර්මය සම්බන්ධ නඩුවක් යැයිද පීරිස් මහතා අධිකරණයට දැන්වීය.

අද දේශබන්දු තෙන්නකෝන් නීතීඥවරු විශාල පිරිසක් සමඟ ඇවිත් සිටියද, ඔහු මීට පෙර පාතාලය මැඬපවත්වන්න බැරි නීතීඥවරු හා පාතාලය සමඟ පවතින සම්බන්ධ නිසා යැයිද කි බවත්, අද ඔහුට නීතීඥවරුන්ගේ සහය ගන්නට වී ඇතැයි ද කීය.
මේ සම්බන්ධයෙන් නීතීඥවරු 30ක පමණ පිරිසක් මගින් අධිකරණයට බාර වූ දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් කියා සිටියේ දේශබන්දු සැඟවී නොසිටි බවත්, ඔහු අධිකරණයේ පිහිට පැතූ බවයි.
ඔහුට, පාතාල අපරාධකරුවන්ගේ තර්ජන ඇති බවත්, ඕනෑම ඇප කොන්දේසියක් මත ඔහුට අප ලබාදෙන්නැයිද 

තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥයි අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

Continue Reading

පුවත්

පඩි වැඩි කරලත් සෞඛ්‍ය ‍වෘත්තිකයන් කරන වැඩවර්ජන අනුමත කරන්න බෑ – ජනපති

Published

on

By

වෘත්තීය සමිතිවල ඉල්ලීමක් හෝ බලකිරීමක් නොමැතිව ඉතිහාසයේ රජයක් විසින් ලබාදුන් වැඩිම වැටුප් වැඩිකිරීම සිදු කර තිබියෙදී සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වැඩවර්ජන අනුමත කළ නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කියා සිටියේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සමඟ අද (19) ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවේදීය.

රජයේ වියදම් සීමා තුළ සිටින ආර්ථිකයක වුවද රාජ්‍ය සේවය කාර්යක්ෂමව යොදා ගැනීම, කුසලතා සහිත පිරිස් ආකර්ෂණය කර ගැනීම හා රාජ්‍ය සේවය දිරිගැන්වීම පිණිස මෙවර අයවැයෙන් රාජ්‍ය සේවක මූලික වැටුප් වැඩිකිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වූ බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මෙවර අයවැයෙන් ආකාර 06ක් යටතේ වැටුප් ඉහළ නංවා ඇති බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා,   මූලික වැටුප අවම වශයෙන් රු.15,000කින් වැඩිකිරීම, අතිකාල දීමනා වැඩිකිරීම, නිවාඩු දින දීමනා වැඩිකිරීම, වැටුප් වර්ධක 80%කින් වැඩිකිරීම, වැඩිකළ සමස්ත වැටුපට අනුරූපීව මේ වසරේ සිටම විශ්‍රාම වැටුප් තලය ඉහළ දැමීම සහ උපයන විට බදු ගෙවීම් සීමාව ඉහළ දැමීම සිදු කර ඇති බවද කියා සිටියේය.

මෙම වැටුප් වැඩිවීම රාජ්‍ය සේවයේ විශාල පිරිසකයේ පැසසුමට ලක්වන බවත් ඒ පිළිබඳ නව රජයේ උනන්දුව අගය කරන බවත් ජනාධිපතිවරයාට පැවසූ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නිලධාරීහු, වර්තමානයේ හෙද සේවයේ පවතින ගැටලුද ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරමින් ඒ සඳහා කඩිනම් විසඳුම් ලබාදෙන ලෙසද ඉල්ලා සිටියහ.

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරු සහ  රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved