Connect with us

පුවත්

දයාසිරිගේ වාරණය 29දා තෙක් දික් කරයි

Published

on

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහ ලේකම් සාරථි දුෂ්මන්ත මිත්‍රපාල මහතාගේ කටයුතුවලට බාධා වන ආකාරයෙන් කටයුතු කිරීම වළක්වාලමින් එම පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතා වෙත නිකුත් කළ වාරණ නියෝගය මේ මස 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (22) නියෝග කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන සහ එහි වැඩ බලන මහලේකම් සාරථි දුෂ්මන්ත මිත්‍රපාල යන මත්වරුන් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අද යළි කැඳවනු ලැබීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින් මෙම නියෝග නිකුත් කෙරුණි.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම වාරණ නියෝගයට අදාළව වගඋත්තරකරුවන් විසින් විරෝධතා ඉදිරිපත් කරන්නේ නම් එය ලබන 29 වනදා කැඳවන ලෙස ඉල්ලා සිටියේය.

ඒ අනුව අදාල විරෝධතා ගොනු කිරීමට වගඋත්තරකරුවන්ට අවසර ලබා දුන් අධිකරණය අනතුරුව පෙත්සම ලබන 29 වනදා කැඳවීමටද නියම කළේය.

පෙත්සම්කරු කියා සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ගනු ලැබූ තීරණයකට අනුව එහි මහ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ දයාසිරි ජයසේකර එම තනතුරින් ඉවත් කල බවයි.

ඉන් පසුව එම ධුරයේ වැඩ බැලීම සඳහා සාරති දුෂ්මන්ත මිත්‍රපාල පත් කල බවත් පැමිණිල්ලේ සඳහන් වේ. අනතුරුව දයාසිරි ජයසේකර ට එරෙහිව චෝදනා පත්‍රයක් නිකුත් කොට කරුණු විමසීමට කටයුතු කර ඇති බවත් එහි සඳහන් වේ.

එසේ තිබියදී දයාසිරි ජයසේකර විසින් වැඩ බලන ලේකම් සාරථි දුෂ්මන්ත මිත්‍රපාලගේ කටයුතුවලට බාධාවන ආකාරයෙන් සාවද්‍ය නිර්දේශ මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කර ඇති බවත් පැමිණිල්ලේ සඳහන් කොට තිබේ.

ඒ අනුව මේ ආකාරයේ නීති විරෝධී කටයුතුවල නිරත වීම වළක්වාලමින් දයාසිරි ජයසේකර වෙත වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පැමිණිල්ල ගොනුකර තිබේ.

පුවත්

තරුණයකුගේ වෘෂණ කෝෂ තැලූ “ටීචර් අම්මා” අල්ලන්න පොලිස් කණ්ඩායම් තුනක් දාලා

Published

on

By

තරුණයකුගේ යටිබඩ හා වෘෂණ කෝෂ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හයේෂිකා ප්‍රනාන්දු නැමැත්තිය අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායමක් 3 ක් යොදවා ඇති බව පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

සැකකාරිය ඇයගේ දුරකතනය ද ක්‍රියා විරහිත කර දියණියද සමග ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලිසිය පවසයි.

පහර කෑමට ලක් වූ තරුණයාගේ සහෝදරියක ෆේස්බුක් පිටුවක හයේෂිකා සම්බන්ධයෙන් පළ කළ පෝස්ටුවක් සම්බන්ධයෙන් පලිගැනීමක් වශයෙන් එම තරුණයාට සැකකාරිය, ඇගේ සැමියා සහ ඇගේ ආයතනයේ කළමනාකරු පහරදී තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.

ඒ අනුව හයේෂිකා ප්‍රනාන්දු නැමැත්තියගේ සැමියා සහ කළමනාකරු කටාන පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (14) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර ඇති බව පොලිසිය පවසයි.

පහරකෑමට ලක්වූ තරුණයා මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.

හයේෂිකා ප්‍රනාන්දු නැමැත්තිය විසින් ඇගේ ආයතනයේ සේවය කරනු ලබන තරුණියකට පරිගණකය හසුරුවන ආකාරය උගන්වන ලෙස එම තරුණයාට පවසා ඇති අතර එහිදී එම තරුණයා විසින් එම තරුණියගේ අතින් ඇද අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීම සදහා  හයේෂිකා ප්‍රනාන්දු නැමැත්තියගේ සැමියා සහ කළමනාකරු එම තරුණිය ද කැටුව කටාන පොලිසියට පැමිණ තිබුණි.

එහිදී දෙපාර්ශවයෙන්ම ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව හයේෂිකා ප්‍රනාන්දු නැමැත්තිය, ඇගේ සැමියා සහ කළමනාකරු විසින් එම තරුණයාට පහරදී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඒ අනුව හයේෂිකා ප්‍රානාන්දු නැමැත්තිගේ සැමියා සහ කළමනාකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර හයේෂිකා ප්‍රනාන්දු නැමැත්තිය අත්අඩංගුවට ගැනීමට ඇයගේ නිවෙසට ගිය අවස්ථාවේදී ඇය ඇගේ දියණිය ද සමග ප්‍රදේශයෙන් පලාගොස් තිබූ බව පොලිසිය පවසයි.

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් පරිදි මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ධර්මසේන මහතාගේ අධීක්ෂණය යටතේ කටාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත සුදසිංහ මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.

Continue Reading

පුවත්

සංචාරක පැමිණීම ලක්ෂ 09 ඉක්මවයි

Published

on

By

2025 මැයි මුල් සතිය තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යා 33,910ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන මගින් අනාවරණය කර ඇත.

ඒ අනුව, වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 930,794ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සුපුරුදු පරිදි ශීත සෘතුවේ නිමාවත් සමඟින් බටහිර රටවල සිට ආසියානු කලාපය වෙත පැමිණෙන සංචාරකයින්ගේ පහළ යාමක් මේ වනවිට වාර්තා වන අතර ඒ අනුව ශ්‍රී ලංකාව වෙත දෛනිකව පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය ද මේ වන විට 5,000 මට්ටමින් පහළට පැමිණ ඇත.

කෙසේවෙතත් මැයි 01 සිට මැයි 07 දක්වා සතිය පිරික්සීමේ දී 2023 හා 2024 වසරවල අදාළ සතිය තුළ පැමිණි සංචාරකයින් ප්‍රමාණයට වඩා වැඩි සංචාරක පිරිසක් 2025 වසරේ දී පැමිණ තිබීම විශේෂත්වයකි.

2023 වසරේ දී මෙම ප්‍රමාණය 18,761 ක්වූ අතර 2024 දී 28,526ක් ලෙසින් එය වාර්තා වේ. 2025 මැයි මුල් සතියේ පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 33,910කි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2025 ජනවාරි – අප්‍රේල් කාලපරිච්ඡේදය තුළ දී වාර්තා වන සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,379ක් බවය.

මෙය 2024 මුල් මාස 04 තුළ වාර්තා වූ ඩොලර් මිලියන 1,251.6ක සංචාරක ඉපැයීම් ප්‍රමාණය හා සැසඳීමේ දී 10.2%ක වර්ධනයකි.

2025 අප්‍රේල් මාසය තුළ ඩොලර් මිලියන 646.1ක සංචාරක ඉපැයීමක් සටහන් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

(අද දෙරණ)

Continue Reading

පුවත්

දිවයින පුරා දන්සැල් 8,000කට වැඩි සංඛ්‍යාවක්

Published

on

By

මෙවර වෙසක් පොහොය වෙනුවෙන් දන්සැල් අටදහසකට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචිවී තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේ එම සියලු දන්සැල් පරීක්ෂා කිරීමට පියවර ගන්නා බවය.

එසේම දන්සැල් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය විසින් පොදු උපදෙස් මාලාවක්ද නිකුත් කර ඇත.

ආහාර සහ ජලය මගින් බෝවන රෝග සම්බන්ධයෙන් අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳ විශේෂ අවදානය යොමු කරන ලෙසයි දන්සැල් සංවිධායකයින්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved