Connect with us

පුවත්

දහම් පාසලේදී 11 වසරේ දැරියට පිහියෙන් ඇනලා! 

Published

on

ගල්ඔය ප්‍රදේශයේ දහම් පාසලක් තුළදී 11 වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවියකට පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇන ඇතැයි වාර්තා වේ.

උදෑසන 7.45 පමණ විහාර භූමියට ඇතුළු වුණු සැකකරු, දැරියට පිහියෙන් ඇන පලා ගොස් ඇති නමුත්, ඔහුව ප්‍රහාරය එල්ල කළ ආයුධයත් සමග අත්අඩංගුවට ගැනීමට ගල්ඔය පොලිසිය සමත් වී තිබේ.

තුවාල ලැබූ සිසුවිය කන්තලේ මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

සැකකරුගෙන් පොලිසිය කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ තමන් සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යන ලෙසට ඇයට පැවසුවත් එය ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම අනතුර සිදුකළ බවය.

පුවත්

ජාතික ජන බලවේගයේ විගණකවරුන් සහ ගණකාධිකාරීවරුන්ගෙන් සුවිශේෂී අනාවරණයක්

Published

on

By

ජාතික ජන බලවේගයේ විගණකවරුන්ගේ සහ ගණකාධිකාරීවරුන්ගේ මාධ්‍ය හමුවක් ඊයේ (17) දිනයේ පැවැත්විණි.

මෙම මාධ්‍ය හමුව සඳහා හිටපු ප්‍රධාන ගණකාධිකාරී එන්.ඩී.එස්. ඇන්ටන් පෙරේරා, හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති රම්‍යා ලාලනී යන මහත්ම මහත්මීන් එක්විය.

එහිදී අදහස් දැක්වූ ඔවුන්,

“දේශපාලනඥයන්ගේ වුවමනාවට අනුව කටයුතු නොකරන නිලධාරීන්ට නතර වෙන්න වෙන්නේ සංචිතයේයි”
– හිටපු ප්‍රධාන ගණකාධිකාරී එන්.ඩී.එස්. ඇන්ටන් පෙරේරා –

මේ දිනවල පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව ඉදිරියේ පරීක්ෂණයක් යමින් තිබෙනවා. ඒ සිද්ධිය පසුබිම් කරගත් තවත් සිද්ධි දාමයක් තිබෙනවා. මේ වටා බැඳුණු රාජ්‍ය සේවයට සම්බන්ධ සහ විවිධ ආයතනවලට සම්බන්ධ කරුණු ප්‍රමාණයක් ගැන මහජනතාව දැනුවත් කිරීමයි, අපේ අරමුණ වී තිබෙන්නේ. “1998 අංක 44 දරන ජාතික උරුමය සංවිධානය සංස්ථාගත කිරීම” යන පනත යටතේ ලියාපදිංචි කොට තිබෙන ජාතික උරුමය සංවිධානය මේ ක්‍රියාවලියට සම්බන්ධවී තිබෙනවා. ඒ වගේම මෙයට 2009 අංක 44 දරන අම්බුළුවාව දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ භාර අරමුදලත් මෙයට සම්බන්ධයක් තිබෙන බව අපට  පෙනී යනවා.

2009 අංක 44 දරන පනත යටතේ පිහිටුවනු ලැබූ මෙම පනතේ ස්වභාවය අනුව එහි පාලක මණ්ඩලයක් තිබෙනවා. එහි පාලක මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළේ එහි නිර්මාතෘ දි.මු. ජයරත්න මහතායි. ඉන් පසුව එහි සභාපතිවරුන් ලෙස එම පවුලේ වැඩිමහල් පිරිමි කෙනෙක් සම්බන්ධ වෙලා තිබෙනවා. සාමාජිකයන් දෙදෙනෙක් ලෙස බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ පාරිසරික අමාත්‍යාංශයේ ලේකම්වරයා සම්බන්ධ වෙනවා. ඊට අමතරව තවත් සාමාජිකයන් හත්දෙනෙක් සිටිනවා. ඒ අය පත්කරන්නේ සභාපතිවරයා විසිනුයි. අම්බුළුවාවේ අරමුදල සම්බන්ධයෙන් සාමාජිකයන් දහදෙනෙකුගෙන් සමන්විත මණ්ඩලයක් වෙනවා. ඝනපූර්ණය හතර දෙනක් වුවත් බහුතර තීරණ ගැනීමේදී සභාපති පත්කරන කාර්යමණ්ඩලය හත්දෙනෙක් නිසා ඔවුන්ට ඕනෑම තීරණයක් සම්මත කර ගැනීමේ බලය තිබෙනවා.

පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නය මතු කළේ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතායි. එතුමාට “අම්බුළුවාව දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය” සහ “ජෛව විවිධත්ව සංකීර්ණය භාර අරමුදල” කියන කරුණ සමග සම්බන්ධතාවයක් තිබෙනවා. ඒ පිළිබඳ අවබෝධයක් සහිතව මේ කරුණ පැහැදිලි කිරීමටයි අපි සූදානම් වෙන්නේ. අද දවසේ රාජ්‍ය නිලධාරීන්ට ඉතා බරපතළ ලෙස චෝදනා එල්ල කරමින්, සිටින කණ්ඩායම් තමන් ඍජුවම වගකිවයුතු ආයතනවලට කරමින් තිබෙන්නේ කුමක්ද කියන කරුණ පැහැදිලි කළ යුතුව තිබෙනවා. 2020, 2021 සහ 2022 කියන කාලවලදී විගණකාධිපතිවරයා විසින් කරන ලද පරීක්ෂණවලට පිළිතුරු ඉල්ලා යැවූ පසු, විගණන නිරීක්ෂණවලට බොහෝ ඒවාට පිළිතුරු දී නැහැ. එයාලා කියන්නේ ඊළඟ වාරේ දෙන්නම් කියා. මේ මුදල්වලට වෙන්නේ මොකක්ද කියන කාරණය හෝ මහජනතාවට දැනගැනීමට ක්‍රමයක් නැහැ. විගණකාධිපතිවරයා විමසන ප්‍රශ්නවලට පිළිතුරු ලෙස කියන්නේ ඉදිරියේදී නිවැරදි කරන බවයි. මෙවැනි ආකාරයට අම්බුලුවාව පවත්වාගෙන යන අය තමයි රජයේ නිලධාරීන් සම්බන්යෙන් විරුද්ධවාදීව කටයුතු කර තිබෙන්නේ.

උඩ පළාත් ප්‍රාදේශීය ලේකම්වරිය, ආත්මා ජයරත්න මහත්මියව මේ වන විට වරප්‍රසාද කමිටුවට කැඳවා තිබෙනවා. 1998 පනතක් යටතේ ලියාපදිංචි කරන ලද ‘ජාතික උරුමය කියන සංවිධානයක්’ තිබෙනවා. මේ සංවිධානයට 1999 ජනාධිපතිවරයා විසින් දීමනා පත්‍ර යටතේ ඉඩමක් පවරනවා. එම ඉඩම භාවිතයට නොගත් නිසා 2001 දී ආපසු පවරා ගන්න පියවර අරගෙන තියෙනවා. මෙහි සංස්කෘතික මධ්‍යස්ථානයක් ඉදිකරනවා. එයට රජයේ මුදල් විශාල ප්‍රමාණයක් වියදම් කරනවා. එසේ තිබියෙදී මෙම දේපොළ අනවසරයෙන් භුක්ති විඳිනවා. මෙහි තිබෙන එක ගොඩනැගිල්ලක් පොහොර කඩයකට කුලියට දී ‘ජාතික උරුමය සංවිධානය’ ආදායම් උපදවනවා. එම ආදායම රජයට දෙන්නේ නැහැ. තවත් ගොඩනැගිල්ලක් විවිධ උත්සවවලට ලබාදී ආදායම් උපදවනවා. මෙය අනවසර අත්පත් කර ගැනීමක් නිසා, උඩ පළාත් ප්‍රාදේශීය ලේකම්වරිය ඉඩම් ආඥා පනත අනුව මේ භූමියෙන් ඉවත්වීම සඳහා නියෝගයක් නිකුත් කරනවා. මෙම නියෝගය නිකුත් කිරීමේදී ග්‍රාම නිලධාරීවරයාගේ සහතිකයක් අවශ්‍යයි. ග්‍රාම නිලධාරීවරයා අදාළ පුද්ගලයාගේ නම විදිහට අනුරාධ ජයරත්න මහතාගේ නම යෙදුවායින් පසුවයි ප්‍රාදේශීය ලේකම්වරිය 2023 දෙසැම්බර් 29 ඉවත්වීමේ නියෝග නිකුත් කරන්නේ. වරප්‍රසාද කමිටුවට ගේන්න හේතුව තමයි තමුන් එම අවස්ථාවේ මෙම සංවිධානයේ සභාපති නොවෙයිය, ඒක නිසා මෙම නම සඳහන් කිරීම මත තමන්ගේ වරප්‍රසාද කඩවුණාය කියන කාරණය. වරප්‍රසාද කමිටුව විසින් මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ කරන පරීක්ෂණ ගැන කිසිවක් කතා කරන්නේ නැහැ. නමුත් මෙතනදී ප්‍රාදේශීය ලේකම්වරියව සංචිතයට මාරු කරනවා. එසේ මාරු කළායින් පසුව ඇයට සිදු වෙනවා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සංචිතයට එන්න. හැබැයි ටික දවසකින් පසුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඇයව හිටපු තැනටම මාරු කරනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍ය ලේකම්වරයා විසින් ඇයව මාරු කරන්නේ කාර්යපටිපාටි සංග්‍රහයේ 263:3 වගන්තිය යටතේයි. 263:3 වගන්තියෙන් කියන්නේ කිසියම් හෝ විෂමාචාර ක්‍රියාවක් සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් ආරම්භ කර තිබෙන අවස්ථාවක ගන්නා පියවරක් බවයි. දැන් ප්‍රශ්නය වී තිබෙන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව මෙම ස්ථාන මාරුවීම් අවලංගු කිරීම සම්බන්ධවයි. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුදැනුමක් ඇතිව නොවෙයි, මෙම මාරුවීම කර තිබෙන්නේ. මේ නිසා රාජ්‍ය සේවා කොමිෂන් සභාව ආපසු මෙම නිලධාරිනියව ගන්නවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සේවා සංචිතය කියන්නේ දඬුවම් දෙන එක ක්‍රියාමාර්ගයක්. දේශපාලනඥයන්ගේ වුවමනාවට අනුව කටයුතු නොකරන බොහෝ දෙනෙකුට නතර වෙන්න වෙන්නේ සංචිතයේ. සංචිතය කියා ස්ථානයක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නැහැ. දේශපාලන වුවමනාකම් මත කටයුතු නොකරන නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි සංචිතයට මාරු කරනවා. සංචිතයට ඇවිත් අත්සන් කිරීමට තිබෙන පොතේ නිලධාරියා අත්සන් කළාට, එයාට වාඩි වෙන්න පුටුවක් නැහැ. කරන්න රාජකාරියක් නැහැ. මෙතනට පැමිණ උදේ අත්සන් කර, සවස අත්සන් කරන තුරුම නිලධාරියා සිටිය යුත්තේ කොතනක හෝ හිටගෙනයි. දේශපාලන අවශ්‍යතාවය මත මාස ගණන් මෙසේ නිලධාරීන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ තබා ගන්නවා.

ආත්මා ජයරත්න මහත්මිය, අවසානයට සංචියට මාරු කළ තැනැත්තියයි. මෙය පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට බඳුන් වෙනකොටම ලක්ෂමන් කිරිඇල්ල ප්‍රකාශ කරන්නේ ඇයව සංචිතයට දැමූ එක වරදක් බවයි. එහෙත් ලක්ෂමන් කිරිඇල්ල 2015 සිට 2019 දක්වා ඇමතිවරයෙක් ලෙස හිටපු කාලයේ රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරීන් ගණනාවක් සංචිතයට ඇද දමා තිබෙනවා.  විපක්ෂ නායකවරයාත් සංචිතයේ සිටින නිලධාරීන් ගැන කතා කරනවා. 2016 පමණ හින්දු කටයුතු අමාත්‍යාංශයේ අමාත්‍යාංශ කාර්යාලය පවත්වාගෙන යාම සඳහා බිල්ඩින් එකක් කුලියට ගන්නවා.  එය තක්සේරු වටිනාකම මසකට ලක්ෂ 20යි. නමුත් අමාත්‍යවරයාට අවශ්‍ය වෙනවා ඊට වඩා වැඩි ගණනකට යන්න. ඒ නිසා හදිසියේ මාසික කුලිය ලක්ෂ 12 කින් වැඩිකරනවා. අවුරුදු දෙකකට තක්සේරු කර, මෙම  ගොඩනැගිල්ලේ මාසික කුලිය ලක්ෂ 32කට දෙන්න ටෙන්ඩරයකට අත්සන් කරන්න කියනවා. එම ටෙන්ඩර් බෝඩ් එකේ සිටි ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලංකාධීර සේනාරත්න සහ සහකාර ලේකම් නිකරීෂ්කා දෙදෙනාම බැහැයි කියනවා. එවිට අමාත්‍යාංශ ලේකම් සිවඥානශෝති රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්ට කියනවා, “මේ දෙදෙනා අමාත්‍යාංශය සුමටව පවත්වාගෙන යාමට බාධාවක්. එමනිසා ස්ථාන මාරු කරන්න” කියා. ඒ දෙදෙනාත් මේ වගේම සංචිතයකට දමනවා. එතන සිටි ප්‍රධාන ගණකාධිකාරීවරයෙක් මුදල් ගෙව්වේ නැතැයි කියා ස්ථාන මාරු කරනවා. ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් වාරණ නියෝගයක් ගැනීම නිසා මාරු කරන එක නවත්වනවා. ලක්ෂමන් කිරිඇල්ල මහතාත් ඔය සගයන් එක්ක තමයි හිටියේ. ඔය වකවානුවේ අරුන්දික ප්‍රනාන්දු අමාත්‍යවරයා එක් අවස්ථාවක ‘ඩිස්කවරි ෆෝ’ වර්ගයේ වාහන දෙකක් අරගෙන භාවිතා කරනවා. එම වාහන මිලදී ගැනීමේ ක්‍රමය සම්පූර්ණයෙන්ම වැරදියි. මේ සඳහා පන්කෝටි අසූහය ලක්ෂයක් මුදල් ගෙවන්න සිදුවෙලා තිබුණා. මෙම මුදල නොගවීම නිසා ප්‍රධාන ගණකාධිකාරීවරිය මාරු කළා. මේ සෑම තැනකම සිදුවුණේ දේශපාලකයාගේ ඕනකමට වැඩ නොකරන නිලධාරීන්ට සංචිතයට යන්න සිදුවීමයි. මෙම මුදල් නොගෙවීම නිසා හිරවී තිබියදී ලක්ෂමන් කිරිඇල්ල, සජිත් ප්‍රේමදාස හිටපු කැබිනට් එක විසින් අනුමත කරනවා එම මුදල් ගෙවන්න කියලා.

එපමණක් නොවෙයි සමගි ජන බලවේගයේ මහ ලේකම්වරයා ලෙස සිටි රංජිත් මද්දුම බණ්ඩාර රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ලෙස කටයුතු කළා. 2018 වසරේදී පී. හැරිසන් මහතා ජාතික පශු සම්පත් මණ්ඩලයේ ඉන්ධන අවභාවිතා කරනවා. මෙය අසුවුණාට පස්සේ ඔහු මද්දුම බණ්ඩාර ඇමතිවරයාට කියනවා ප්‍රධාන ගණකාධිකාරීවරයා මාරු කරන්න කියලා. ඒ අවස්ථාවේ ප්‍රධාන ගණකාධිකාරීවරයා ලෙස කටයුතු කළේ ඇන්ටන් පෙරේරා වන මමයි. රාජ්‍ය පරිපාලන ඇමති, මට එක් දිනෙක දහවල් 12.00ට පමණ එන්න කියා කියනවා, “හැරිසන් ඇමතිතුමා ඔබව ස්ථාන මරු කරන්න කියා මට කියනවා. කැමති තැනක් තිබෙනවා නම්, කියන්න” කියලා. මම ඇසුවා ඇයි හේතුව කියලා. ඔහු එය නොකියන නිසා මම ඔහුට හේතුව කිවුවා. ඒ අවස්ථාවේ තමන්ගේ සගයා කර මුලටම අසුවී ඇති නිසා, මද්දුම බණ්ඩාර කියනවා, “ප්‍රධාන ගණකාධිකාරීතුමා කැමති ඕනෑම තැනක් කියන්න, මම එතනට මාරුවීම දෙන්නම්” කියා. රාජ්‍ය සේවයේ වරප්‍රසාද ලැබෙන තැන් කිහිපයක් තිබෙනවා. රාජ්‍ය සේවයේ බොහෝ දෙනෙක් යන්න උත්සාහ කරන තැනක් තමයි රේගු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ විදේශ කටයුතු අමාත්‍යාංශය. මේ හතරට යන්න විශාල පොරයක් තිබෙනවා. මේ මද්දුම බණ්ඩාර ඇමති දෙන්න හදන්නේ අල්ලසක්. ඔහුට මම උත්තර දුන්නේ “කැමති තැන්වලට යන්නේත් නැහැ. ඉන්න තැනින් යන්නේත් නැහැ” කියා. මගේ ස්ථාන මාරුව නවතින්නේ ඒ ආකාරයට. නමුත් පසු කාලයකදී අපිවත් සංචිතයට අදිනවා. මේ ආත්මා ජයරත්න මහත්මිය සංචිතයට ඇදීමත්, රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් එය ආපසු හැරවීමත් අතරේ තිබෙන්නෙත් මෙවැනිම දේශපාලන ගේමක්.

1994 විතර රංජිත් මද්දුම බණ්ඩාර මොණරාගල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක්. ඒ අවදියේ මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රශ්නයක් තිබුණා දැව බලපත් නිකුත් කිරීම සම්බන්ධයෙන්. ඔවුන්ට අවශ්‍ය ලෙස දැව බලපත් නිකුත් නොකිරීම නිසා, තණමල්විල ප්‍රාදේශීය ලේකම් මානවඩු මහතාවයි, බුත්තල ප්‍රාදේශීය ලේකම් සිල්ව මහතාවයි සංචිතයට දැමුවා. නීත්‍යානුකූල දඬුවම් දීම සඳහා තිබෙන තැනක් තමයි සංචිතය. අපි මේ මාධ්‍ය හමුව පවත්වන්නේම ස්ථානයක් නැති දඬුවම් දීමේ සංකල්පීය තැනක් බවට පත්ව තිබෙන සංචිතය අහෝසි කර ගන්නත්, රජයේ නිලධාරීන්ට මේ ආකාරයේ දඬුවම් දීම වළක්වා ගැනීම සඳහාත් ප්‍රවේශයක් ගැනීම සඳහායි. උඩපළාත ප්‍රාදේශීය ලේකම්වරිය රජයේ නිලධාරියෙකු ලෙස උසස් ලෙස කටයුතු කර තිබෙනවා. රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙන කාර්ය පටිපාටි සංග්‍රහයේ පැහැදිලිව තිබෙනවා “රජයේ නිලධාරියෙකුගේ කාර්යභාරය වෙන්නේ රජයේ වත්කම් ඇතුළු අනෙකුත් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම” ලෙසයි. ඒ නිසා ජාතික උරුමය සංවිධානය විසින් අනවසර ලෙස ගොඩනැගිලි අත්පත් කර ගනිමින් ඒවා කුලියට දෙමින් ආදායම තනියම භුක්ති විඳිමින් රජයට කිසිම දෙයක් නොදී තිබියදී ප්‍රාදේශීය ලේකම්තුමිය කටයුතු කළ ආකාරය සියයට සියයක් නිවැරදියි. හරි විදිහට නම් ඇයට රාජකාරිය හරියට ඉටුකිරීම සම්බන්ධයෙන් ප්‍රශංසාත්මක ලිපියක් යවන්න ඕනෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව කියා තිබෙනවා පොදු දේපළ සුරැකීම කියන එක සෑම පුරවැසියෙකුගේම වගකීමක්. ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ රාජ්‍ය පරිපාලන නිලධාරීන්ට අපි කියා සිටින්නේ සංචිතයට නිලධාරීන් මාරුකිරීමේ කාර්යයට ඉඩදෙන්න එපා කියලා. ඔබගේ සහෝදර නිලධාරීන්ව මර්දනය කරන්න ඉඩ දෙන්න එපා.

මීට මාසෙකට පමණ පෙර ඇමතිවරුන්ගේ බිල්පත් ගෙවීම සම්බන්ධයෙන් අපි මාධ්‍ය සාකච්ඡාවක් කළා. එතනදී මහින්ද අමරවීර, ප්‍රසන්න රණතුංග ඇමතිවරුන්ගේ බිල්පත් ගැන කතා කළා. එක කැබිනට් ඇමතිවරයෙක් ඒ අමාත්‍යාංශයේ තොරතුරු නිලධාරියා තොරතුරු දුන්නේ කෙසේදැයි කියා විමසා ඒ ගැන පරීක්ෂණයක් පවත්වන්න කියා තිබෙනවා. තමන් කරන වැරදි හෙළිදරව් වෙන මාර්ග පවා වසමිනුයි මේ ඇමතිවරු ඉන්නේ. මහින්ද අමරවීර ඇමතිවරයාගේ බිල් එක ගෙව්වේ වැරදීමකින් අමාත්‍යාංශයට පැමිණීම නිසයි කියමින් අර්ථකථනය කර ගෙව්වා. රාජ්‍ය සේවයේ මාණ්ඩලික නිලධාරීන්, අතිරේක ලේකම්වරු, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරු, ප්‍රධාන ගණකාධිකාරීවරු සියලු දෙනාටම සිදුවෙලා තිබෙනවා ඇමතිවරුනේගේ අභිලාෂයට අනුව වැඩ කරන්න. ඇමතිවරුන්ගේ අභිලාෂයට එකඟ නැති නම්, ස්ථාන මාරුවී යා හැකියි, නැතිනම් සංචිතය තිබෙනවා.

අපි ජාතික ජන බලවේගයේ වෘත්තිකයන් හැටියට මේ වැනි අවස්ථාවලට ඉඩ නොදිය යුතුයි කියන ස්ථාවරයේ අපි සිටිනවා. අපි විසින් පිහිටුවන රජයක් යටතේ සංචිතයක් කියා තැනක් නැහැ. රජයේ නිලධාරියෙක් වරදක් කළා නම්, ආයතන සංග්‍රහයේ තිබෙනවා “අදාළ නිලධාරියාට විරුද්ධව මූලික විමර්ශනයක් කරන්න ප්‍රතිපාදන. වරදක් කර තිබේ නම් චෝදනා පත්‍රයක් නිකුත් කර, චෝදනා පත්‍රය විමර්ශනය කර, දඬුවමක් දීම හෝ නිදහස් කිරීම කළ හැකියි. එසේ විධිමත් ක්‍රමයක් තිබියදී නිලධාරීන්ට බොරු චෝදනා දමා සංචිතයට දැමීම වැනි ක්‍රියාමාර්ගවලට යනවා. සංචිතයේ ටික කලක් ඉන්න මුදල් නිලධාරීන් උසාවි ක්‍රියාමාර්ගවලට එළඹෙන විට නඩුව විභාගයට ගැනීම වැළැක්වීම සඳහා සමථ යෝජනාවක් ඉදිරිපත් කර, හෙමින්ම කොතැනකට හෝ මාරුකර දමනවා. අපි රාජ්‍ය සේවයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ උඩ පළාතේ ප්‍රාදේශීය ලේකම්වරියට සිදුවී තිබෙන අසාධාරණයට හා අපහාසය සම්බන්ධයෙන් නිසි පියවර ගැනීම සඳහා සියලු දෙනාම එකතු වෙන ලෙසයි.

“අම්බුළුවාව භාර අරමුදල විගණනය කළ නොහැකි අවුල් ජාලාවක්”
– හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති රම්‍යා ලාලනී –

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ව්‍යවස්ථාව යටතේ සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනත යටතේ මෙම අම්බුළුවාව දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ භාර අරමුදල අරමුදල පිළිබඳ පනතේ 10:4 වගන්තියේ ගිණුම් විගණනය විගණකාධිපතිවරයා විසින් සිදුකළ යුතුයි යනුවෙන්  සඳහන් වෙනවා. ඔහුගේ ක්‍රියාදාමය ලෙස ඔහුගේ කාර්ය මණ්ඩලය විසින් විගණන විමසුම් නිකුත් කරනවා. එම විමසුමට වගකිව යුතු නිලධාරීන් පිළිතුරු දිය යුතු වෙනවා. ඊට පසුව කළමනාකාර වාර්තාවක් ලබාදෙනවා. කෙටුම්පත් වාර්තාවලින් නැවතත් පිළිතුරු අපේක්ෂා කරනවා. ඊට පසුව විගණකාධිපතිතුමා අවසාන වාර්තාව දක්වා ක්‍රියාදාමය යනවා. විගණකාධිපති විසින් මූලිකවම කරන නිරීක්ෂණවලට අදාළ පිළිතුරු සහ ඔවුන්ගේ විසඳුම් ලබාදීම සඳහා සියලුම ආයතනවලට සෑහෙන කාලයක් ලබාදෙනවා.

විගණකාධිපතිවරයා විසින් කරන නිරීක්ෂණ වාර්තා පාර්ලිමේන්තුවේදී සභාගත කරනවා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන මෙම සියලුම වාර්තා සාකච්ඡා කිරීමේ වගකීම තිබෙන්නේ ගිණුම් කාරක සභාව වෙතයි. එහිදී එම සභාව විසින් මෙම වාර්තාවල තිබෙන බරපතළ හෝ විසඳාගත යුතු ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කොට විසඳුම් හා නියෝග ලබාදෙනවා. මෙහිදී මට නිරීක්ෂණය වී තිබෙන කරුණු අනුව 2010 සිට 2022 දක්වා වාර්තා ලුහුඬින් පරීක්ෂා  කිරීමේදී ගිණුම් කාරක සභාව විසින් සාකච්ඡා කළ කරුණක් නිරීක්ෂණය වුණේ නැහැ. නමුත් ආයතනයේ අභ්‍යන්තර පාලනය විධිමත් අයුරෙන් පවත්වාගෙන නොයාම මගින් 2010 සිට සිදුවුණු දුර්වලතා රාශියක් පෙන්නුම්කර දී තිබෙනවා. 1998 මැනුම්කර අක්කර 400ක් පමණ භූමි ප්‍රමාණයක් මෙම අම්බුළුවාව අරමුදලට බාරදී  තිබෙනවා. 2022 විගණන වාර්තා නිකුත් වන තුරුත් මෙම මිණුම් වාර්තා අරමුදල වෙත ලබාදී තිබුණේ නැති බව විගණකාධිපති වාර්තාවල ඉදිරිපත් කොට තිබෙනවා.

ඒ වගේම මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම සෑම ගිණුම් වර්ෂයක් අවසානයේදීම ඊළඟ මාස දෙක ඇතුළත (පෙබරවාරි 28න් පසුව) විගණකාධිපතිවරයා වෙත ඒ ඒ ආයතනවල මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කළ යුතුයි. නමුත් 2010 සිට 2022 දක්වාම මෙම ආයතනය ගිණුම් වාර්තා බාරදී තිබෙන්නේ ප්‍රමාද වෙලා. විගණකාධිපතිවරයා වෙත දෙන ලද ගිණුම් පරීක්ෂා කිරීමේදී ඒ වාර්තාවලට අදාළ කරුණු ගැන විගණකාධිපතිවරයා විසින් මතයක් ප්‍රකාශ කරනවා. 2010 සිට 2011, 2012 යන වසර තුන පිළිබඳව විගණකාධිපතිවරයා ඉදිරිපත් කර තිබෙන්නේ අහිතකර මතයක්. මේ ආයතන තුළ මූල්‍ය ප්‍රකාශන හරි විදිහට, සත්‍ය සහ සාධාරණ ලෙස පවත්වා නැති බව මතයක් ඉදිරිපත් කර තිබෙනවා.  2013, 2015, 2016, 2017 වර්ෂවල විගණධිපතිවරයා මෙම වාර්තා බලා මතයක් ඉදිරිපත් කළ නොහැකි බවයි ප්‍රකාශ කරන්නේ. ආයතනය තුළ දීර්ඝ කාලීනව ඇති වී තිබෙන මත ගැටුම් නිසා විගණකාධිපතිවරයාට මතයක් ඉදිරිපත් කළ නොහැකි ලෙසට හානිකර විදිහට ආයතනය පවත්වාගෙන ගිය ආකාරයක් තමයි මේ විගණන පරීක්ෂණවලින් පෙන්නුම් කර තිබෙන්නේ.

අප ප්‍රසිද්ධ කළ වාර්තාවල කරුණුවලින් කිහිපයක් ඉදිරිපත් කරන්නම්. මහාභාරකාරවරයා විසින් ආයතනයේ අරමුදලට ප්‍රාග්ධන සහ අයභාර වියදම් දෙනවා. 2010 මෙම දෙන ලද ප්‍රාග්ධන හා අයබාර ලැබුණු බවට සටහන් කර තිබුණේ නැහැ.  එසේ සටහන් නොකරන ලද වටිනාකම 2017 ගිණුම් වාර්තාවේ පෙන්වනවා ප්‍රාග්ධන මිලියන රුපියල් 2.6ක් සහ අයභාර රුපියල් මිලියන 12.7ක් ලෙස. ඒ වගේම මහාභාරකාරයා විසින් වියදම් සඳහා ලබාදී තිබෙනවා රුපියල් මිලියන 13.6ක්. 2012 සිට 2019 වන තෙක් ලබාදෙන ලද මුදල් ගිණුම් ගත කොට හෝ ඒවා වියදම් කළ ආකාරය පැහැදිලි කරලත් නැහැ. ප්‍රාග්ධන වියදම් 2010 සිට 2017 වෙන තුරු ගිණුම් ගත කොට තිබෙන්නේ දීර්ඝකාලීන භාවිතා කළ හැකි අයභාර වියදම් විදිහටයි. එදිනෙදා කරන වියදම් මෙසේ ගිණුම් ගත කිරීමෙන් එම වසරේ ආදායම් වියදම්වලට ගැලපීම් කළාට පසුව ඊළඟ අවුරුද්දේ වාර්තාවල එවැනි ප්‍රාග්ධන වත්කමක් තිබෙන බව පෙන්වන්නේ  නැහැ . 2010 රුපියල් මිලියන 1.8ක් 2012 මිලියන 13ක් 2013 මිලියන 7ක්, 2015 මිලියන 2.4ක්, 2016 මිලියන 5.4ක්, 2017 මිලියන 3.9ක් මේ සියලුම ප්‍රාග්ධන වියදම් අයභාර ලෙස ගිණුම්ගත කොට තිබෙනවා. එවිට ඒ වසරේදීම ආදායම් හා වියදම් තුළට ඇතුල් කර ගැනෙනවා.

මෙම අරමුදලින් පිහිටවපු සම්මන්ත්‍රණ ශාලා ඉදිකිරීම්, ආපනශාලා ඉදිකිරීම් තිබෙනවා. 2010 සිට වාර්තාවල මිලියන 1.8ක් වියදම් කර හදපු ආපනශාලා ඉදිකිරීමක් පෙන්වනවා. එය වෙනත් බාහිර පාර්ශ්වයකට කුලියට දෙනවා. නමුත් 2010 වසරේ සිට එම කැපටේරියා එකෙන් කුලිය අරමුදල වෙත ලබාගෙන නැහැ. 2011 වසරේ ගිණුම් වාර්තාවල පෙන්වනවා රු: මිලියන 6.7ක් වටිනා ගොඩනැගිලි ඉදිකිරීම් තුනක් තිබෙන බව. මේවා එකක්වත් ගිණුම්ගත කර නැහැ. අරමුදලේ මුදල්වලින් ඉදිකළා නම්, ඒවා අරමුදලේ ප්‍රාග්ධන වත්කමක් ලෙස ගිණුම් ගත විය යුතුයි. ඒ වගේම මහාභාරකාරවරයා 2012 දී රු. මිලියන 4ක් දී මෝටර් රථයක් අරගෙන දී තිබෙනවා. එම මෝටර් රථය ආයතනය භෞතික ලෙස හෝ ගිණුම්වල පෙන්වන්නේත් නැහැ. මෙම ආයතනය තුළ නිවැරදි ගිණුම් ක්‍රමයක් පවත්වාගෙන යාමක් හෝ තිබෙන දේවල් හෙළිදරව් කරගෙනත් නැහැ.

සභාපතිවරයාගේ පෞද්ගලික වියදම් මෙයින් දැරිය හැකි බවට අරමුදලේ කොතනක හෝ සඳහනක් නැහැ. නමුත් එතුමා වෛද්‍ය පහසුකම් ලබාගැනීමට සිංගප්පූරුව වැනි රටකට ගොස් තිබෙනවා. ඒ සඳහා වියදම රුපියල් මිලයන 4.3ක් සමග සිංගප්පූරු ඩොලර් 13,112ක් වී තිබෙනවා. නමුත් මේවා ගිණුම්ගත කොට නැති බව විගණකාධිපතිවරයා විසින් පෙන්නුම් කොට තිබෙනවා. 2017 වාර්තාව ගන්නකොට ලොකු අඩුවක් පේනවා. රුපියල් මිලියන 330.3ක ගොඩනැගිලි, යන්ත්‍රෝපකරණ, මෝටර් රථ වැනි දේපළ පිරියත හා උපකරණ හා බාහිර පාර්ශ්වයකට දීමට තිබෙන ජංගම නොවන වගකීම් රුපියල් මිලියන 332.5ක් පෙන්වනවා. නමුත් මේවා තහවුරු කිරීමට කිසිදු ලේඛනයක් නැහැ. ඒගොල්ලන්ට ආදායම් ලබාගන්න හදපු තවත් කඩ කාමර තුනක් (මිලියන 1.3ක් වියදම් කරන ලද) තවත් මිලියන 10ක් වැය කොට සම්මන්ත්‍රණ ශාලාවක් මේවා භාවිතා කොට එයින් ලැබෙන මුදල් අරමුදලට යොදවා ගත් බවට හෝ ගිණුම්වල හෝ කිසිදු තැනක සාක්ෂියක් නැහැ.

අම්බුළුවාව නැරඹීමට පැමිණි අයට ටිකට් පත් විකිණීමෙන් 2020 රු: මිලියන 9.5ක ආදායමක් ලැබී තිබෙන බව සටහන් වී තිබෙනවා. මෙහි සත්‍ය අසත්‍යතාව තහවුරු කර ගැනීමට විගණකාධිපතිවරයාට හැකියාවක් ලැබෙන්නේ නැහැ. හේතුව ඒ සඳහා අවශ්‍ය වන වැදගත් සාක්ෂි ප්‍රවේශ පත්වල පිටපත් ගිනිතබා විනාශ කොට තිබෙන නිසා. යම්කිසි ගෙවීමක් අරමුදල විසින් ගෙවනවා නම්, මුදල් රෙගුලාසිවල 137 ගෙවිම් අනුමත නොකර ගෙවන්න නොහැකි බව සඳහන් වෙනවා. නිලධාරියා විසින් අනුමත නොකරපු ගෙවීම් වවුචර් 52කට අදාළව රු: මිලියන 5.5ක් තිබෙනවා. ගිණුම් වාර්තා විගණනය කිරීම වගේම, අරමුදල පිහිටුවීමේ අරමුණු, කාර්ය සාධනය කර ගත්තාද කියා සොයා බැලීමට විගණකාධිපතිවරයාට බලය තිබෙනවා. අරමුදල පිහිටවූ අරමුණු 20ක් තිබෙනවා. 2009 සිට 2024 දක්වා වසර 15ක් ගතවී තිබෙන මේ අවස්ථාව වෙන කොට ඉෂ්ට කොටගෙන තිබෙන්නේ අරමුණු හතරක් පමණයි.

අම්බුළුවාව ජෛව විවිධත්වයෙන් පොහොසත් තැනක්. සංස්කෘතිකයෙන්, ජාතික උරුමයෙන්, අම්බුළුවාව ආරක්ෂා කරනවා. නමුත් 2020 සහ 2021 වසරවල පරිසරයට හානිවන පරිදි පස් කපා තිබෙනවා. එයින්  එක අවුරුද්දක රුපියල් මිලියන 1.1ක් සහ තවත් වසරක රු: මිලියන 3.7කුත් වැය කොට තිබෙනවා. මෙසේ පස් කැපීමෙන් පරිසරයට හානි පමුණුවා තිබෙනවා. 2022 වාර්තාවේ පෙන්වන රු: මිලියන 9.1ක ප්‍රාග්ධනික වත්කම් ගිණුම් වාර්තාවලත් නැහැ. යොදා ගත් බවට භෞතික සාක්ෂිත් නැහැ. මෙහි ගිණුම්කරණවල අඩුපාඩු අරමුණුවල අඩු පාඩු සාකච්ඡා කිරීමට තිබෙන තැන වූ පාර්ලිමේන්තුවට විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කර වාර්තාව ඉදිරිපත් කොට තිබෙනවා. නමුත් පර්ලිමේන්තුව විසින් මෙය සාකච්ඡා කිරීමට ගිණුම් කාරක සභාව කැඳවීමක් හෝ වටිනාකමක් දී නැති බවක් පෙනී යනවා. ඒ හරහා වෙනත් වෙනත් කරුණු යෙදිලා එවැනි අරමුදල් ඇතුලේ වැඩ කරන්න බැරි පරිසරයක් බිහිවෙලා තිබෙන බව විගණන වාර්තාවලින් පෙනී යනවා

Continue Reading

පුවත්

ග්‍රාම නිලධාරීන් දේශපාලන රැස්වීම් වර්ජනයක

Published

on

By

දේශපාලනඥයන් සහභාගී වන කිසිදු උත්සවයකට සහභාගී නොවීමට ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

සිය වැටුප් ගැටලුවට විසඳුම් ලබා දෙන තෙක් මෙම තීරණයෙහි සිටින බව පවසන සංගමය ඊට අමතරව ඉඩම් ඔප්පු සැකසීම සහ ජාතික හැඳුනුම්පත් සඳහා කටයුතු කිරීම ආදී සියලුම රාජකාරිවලින් ඉවත්ව සිටින බවද පවසයි.

එම සංගමයේ උප සභාපති දයාන් අබේරත්න මහතා මේ බව පැවසිය  

Continue Reading

පුවත්

ධීවර යාත්‍රාවක් නැවක ගැටී අනතුරක්

Published

on

By

බහුදින ධීවර යාත්‍රාවක් අනතුරට පත්වීමෙන් එහි සිටි එක් ධීවරයෙකු මියගොස් තවත් ධීවරයෙකු අතුරුදන්ව තිබේ.

පසුගිය 12 වනදා වාලච්චේන ධීවර වරායෙන් ධීවරයින් පස්දෙනෙකු ධීවර කටයුතු සඳහා බහුදින ධීවර යාත්‍රාවකින් මුහුදු ගොස් සිටිය දී වරායේ සිට කිලෝ මීටර් 47ක් පමණ දුරින් මෙම අනතුර සිදුව ඇත.

මෙම බහුදින ධීවර යාත්‍රාව ධීවර කටයුතු සිදුකරමින් සිටි ප්‍රදේශයේ පැවති අධික වර්ෂාව හේතුවෙන් ඒ ආසන්යෙන් ගමන් කරමින් තිබූ නැවක ගැටී මෙම අනතුර සිදුව ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

අනතුරින් 47 හැවිරිදි නින්දවූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු දියේ ගිලී මියගොස් ඇති අතර 60 හැවිරිදි මුහුදු වෙරළ පාර, ඔලුවිල් හි පදිංචි ව සිටි තවත් පුද්ගලයෙකු අතුරුදන්ව ඇත.

එක් පුද්ගලයෙකු තුවාල ලබා ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

අනෙක් පුද්ගලයින් දෙදෙනා අනතුරින් තුවාල ලබා නොමැති බව සඳහන් වේ.

නාවික හමුදාව විසින් වෙනත් ධීවර බෝට්ටුවක සහාය ඇති ව මෙම පුද්ගලයින් බේරා ගැනීමට කටයුතු කර ඇත.

වාලච්චේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved