Connect with us

පුවත්

දෙල්කඳ දී පොලිසියට පාර්ට් දැමූ කරණවෑමියා මිරිහාන පොලිසියට බාර වෙයි

Published

on

නුගේගොඩ දෙල්කඳ හන්දියට ආසන්න ප්‍රදේශයකදී මෝටර් රථයක් නතර කර නීතිය ක්‍රියාත්මක කිරීමට ගිය රථ වාහන පොලිස් නිලධාරීන් දෙදෙනකුට බැණ වැදී ඔවුන්ගේ රාජකාරියට බාධා කළ විදානගමගේ අමේෂ් රුවන්ත නමැත්තා මිරිහාන පොලිසියට පැමිණ ඊයේ (08) භාර වී තිබේ.

පොලිසියට බාරවීමෙන් පසුව මොහු නර්තන ශිල්පියකු ලෙස ද කටයුතු කරන කරණවැමියකු පොලිසිය හඳුනාගෙන ඇත.

මහරගම නල්ලවත්ත පාරේ තාවකාලිකව පදිංචිව සිටින ගාල්ල බටදූව ලුණුවිලවත්තේ පදිංචිකරුවෙක් වන මෙම සැකකරු සිය බිරිය සමඟ එක්ව මහරගම නාවින්න හන්දියේ රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යන බවද විමර්ශනවලින් අනාවරණය වී ඇත.

රථ වාහන අංශයේ නිලධාරීන්ට මෙම සැකකරු බැණ වදිමින් රාජකාරියට බාධාකර ඇත්තේ පසුගිය 05 වැනිදාය.

ඒ සම්බන්ධයෙන් එම නිලධාරීන් පොලිස් පොත්වල සටහන් තබා ඉහළ නිලධාරීන්ව දැනුම්වත්කර තිබේ.

ඒ අනුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් මෙහෙයුමක් දියත් කර තිබුණද ඔහු මිරිහාන පොලිසියට පැමිණ බාරවනතෙක් ඔහු අල්ලා ගැනීමට නොහැකිවී තිබිණි.

කෙසේවුවද, පොලිසිය විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට ඔහු තාවකාලිකව පදිංචිව සිටි නි‍ෙවසද රූපලාවණ්‍යාගාරයද ගාල්ලේ නි‍ෙවසද පරීක්ෂාවට ලක්කර තිබේ.

මේ පුද්ගලයාගේ ජංගම දුරකතන අංකය සොයා ගත් පොලිසිය එය ජාල පරීක්ෂාවකට ලක්කර කළ විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ ඔහු අනුරාධපුරයේ රැඳී සිටින බවකි.

ඒ අනුව ඔහුව අනුරාධපුරයේදී අත්අඩංගුවට ගැනීමටද එහිදී මෙහෙයුමක් දියත් කර තිබේ.

එහිදී අනාවරණය වී ඇත්තේ ඔහු නර්තනයක නිරත වීමට අනුරාධපුරයට ගොස් ඇති බවත් ඒ වන විට කොළඹ බලා පිටත්ව ගොස් ඇති බවය.

පෙරේදා (07) රාත්‍රී කාලයේදී කොළඹට පැමිණ සැඟවී සිටි ඔහු ඊයේ (08) පොලිසියට පැමිණ හඬා වැලපෙමින් පොලිස් නිලධාරීන්ගෙන් සමාව ඉල්ලා තිබේ.

සිය බිරිය සමඟ ගැටුමක් ඇති කරගෙන එදින නි‍ෙවසින් පිටව යමින් සිටියදී එසේ පොලිස් නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් වූ බැවින් බිරිය සමඟ ඇතිකරගත් ගැටුම හේතුවෙන් ආවේගයට එසේ පොලිස් නිලධාරීන් සමඟ හැසුරුණු බව ද ඔහු පොලිස් නිලධාරීන් හමුවේ හඬමින් පවසා ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළ බව දිනමිණ පුවත්පත වාර්තා කරයි.

මෙම පුද්ගලයා උත්සව අවස්ථාවන්වලදී නර්තන ඉදිරිපත් කිරීම සිය වෘත්තිය කර ගත් අයෙක් බවත් සමාජ ශාලාවල පවා නර්තන සඳහා ඉදිරිපත් වන්නෙක් බවත් පොලිස් පරීක්ෂණවලින් පෙනීගොස් ඇත.

මෙම සැකකරුව අද (09) නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Continue Reading

පුවත්

තීරුබදු අඩු කරගන්න බැරි වුණේ අහංකාරකම හින්දා

Published

on

By

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවේ ආනයන සඳහා වන තීරුබදු සියයට 30කින් ඉහල නැංවීම රජයේ නියෝජිතයින්ගේ දුර්වල හා ආත්මාර්ථකාමී සාකච්ඡාවල ප්‍රතිඵලයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පෙළපොත් විශේෂඥයින්, සැබෑ ලෝකයේ සංකීර්ණ සාකච්ඡා සඳහා යොමුකිරීමේ අයහපත් ප්‍රතිඵල මින් පෙන්නුම් කෙරෙන බව විපක්ෂ නායකවරයා සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.

Continue Reading

පුවත්

ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන ළමුන් වෙනුවෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන

Published

on

By

ඔටිසම් තත්ත්වය සහ ස්නායු සංවර්ධනය පිළිබඳ ගැටලුවලින් පෙළෙන ළමුන් වෙනුවෙන් ප්‍රතිකාර හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා ජාතික මට්ටමේ යාන්ත්‍රණයක් සකස් කිරීමේ ඒකාබද්ධ සැලැස්මක සංකල්පීය යෝජනාව සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන කරන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන පිළිබඳව ප්‍රජාශක්ති ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් ඊයේ (09) පස්වරුවේ පැවති සාකච්ඡාවකදී ජනාධිපති ලේකම්වරයා විසින් මෙලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී. මෙම වැඩසටහන, ඊට අදාළ රේඛීය අමාත්‍යාංශ සහ ආයතන මගින් ක්‍රියාත්මක කෙරෙන අතර ජනාධිපති ලේකම් කාර්යාලය මගින් සම්බන්ධීකරණ කටයුතු සිදු කෙරේ.

මෙහිදී, මෙවර අයවැයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයට වෙන් කර තිබෙන රුපියල් මිලියන 250ක ප්‍රතිපාදන සමාජසේවා දෙපාර්තමේන්තුව මගින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබා දීම, එම දිවා සුරැකුම් මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මානව සම්පත් සංවර්ධන සැලැස්මක් සකස් කිරීම, මෙම වැඩසටහන අදාළ රේඛීය ආයතන සම්බන්ධ කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට විද්‍යාත්මක පසුබිමක් සහිත නව මොඩලයක් සකස් කිරීම ඇතුළු කරුණු පිළිබඳව සාකච්ඡා විය. එම කරුණුවලින් සමන්විත යාන්ත්‍රණයක් සකස් කිරීමේ සංකල්පීය යෝජනාව සති දෙකක් ඇතුළත සකස් කරන ලෙසට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා එහිදී නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රීනායක, අතිරේක ලේකම්  එච්.ඒ.හේමා පෙරේරා,  සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ දර්ශනී කරුණාරත්න, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා සෞඛ්‍ය අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වරුණි රසාදරි, ප්‍රජා සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ආසිරි හේවාමාලගේ සහ රිජ්වේ ආර්යා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සංතුශිත සේනාධිපති යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

පුවත්

සිංගිමලේ ජලාශයෙන් ජලය ලබා ගැනීම තාවකාලිකව නතර කරයි

Published

on

By

හැටන් – සිංගිමලේ ජාලාශයෙන් ජලය ලබා ගැනීම ජල සම්පාදන මණ්ඩලය විසින් තාවකාලිකව නතර කර තිබේ.

ඒ සිංගිමලේ ජලාශයට පාසල් සිසුවෙකු වැටී ජීවිතක්ෂයට පත්වීමත් සමගය.

එම සිද්ධියෙන් පසු අඹගමුව ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ඇතුලු පිරිසක් අද එම ජලාශ පරීක්ෂාවක යෙදී ඇති බව සඳහන්ය.

අනතුරුව සිදුකළ පරික්ෂාවකදී අනාවරණය වී ඇත්තේ දැනට සිංගිමලේ ජලාශයේ ජලය පානය සදහා සුදුසු නොවන බවටය.

එතෙක් වෙනත් ජල මූලාශ්‍රයකින් ජලය ලබා ගෙන පිරිපහදු කොට පාරිභෝගිකයන්ට සීමා සහිතව පානීය ජලය නිකුත් කිරීමට බලධාරීන් තීරණය කර තිබේ.

පසුගිය 09 වනදා සිංගිමලේ ජලාශයට වැටීමෙන් 18 හැවිරිදි පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved