Connect with us

පුවත්

දේශගුණික විපර්යාස අවම කිරීමට කඩිනමින් ක්‍රියාත්මක විය යුතුයි – ජනපති

Published

on

පෘථිවියේ පැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් දේශගුණික විපර්යාස අවම කිරීමට ලෝකයේ රටවල් කඩිනමින් ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය බවත් ඊට නායකත්වය ගැනීමට සූදානම්ද නැද්ද යන තීරණාත්මක එකඟතාවට මෙවර COP28 සමුළුවේ දී එළැඹිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

මෙය කිසිසේත් කල් මරමින් සිටිය නොහැකි අතර සතුරා සිටින්නේ දොරටුව අභියස බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එක්සත් ජාතීන්ගේ 28 වන දේශගුණ විපර්යාස සමුළුව හෙවත් COP 28 ප්‍රධාන සමුළුව රටවල් 54ක රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් අද (01) ඩුබායිහි එක්ස්පෝ සිටිහිදී ආරම්භ කෙරුණු අතර සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය. 

පස්වැනි ආසියා පැසිෆික් කලාපීය පරිසර බලධාරීන්ගේ සහ අමාත්‍යවරුන්ගේ සංසදයේදී එකඟ වූ පරිදි, දේශගුණික යුක්ති සංසදය පිහිටුවීම සඳහා 2024 පෙබරවාරි 6 වන දින පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවට ශ්‍රී ලංකාව යෝජනාවක් ඉදිරිපත් කරන බවත් එම දේශගුණ යුක්ති සංසදය දේශගුණික විපර්යාස අවම කර ගැනීම පිළිබඳ නිර්මාණාත්මක සහ ක්‍රියාශීලී මැදිහත්වීම් සඳහා වේදිකාවක් සපයනු ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය.

22 වැනි සියවස වන විට නිවර්තන වැසි තීරය සමකයෙන් ඉවතට මාරු විය හැකි බවට ඇතැම් විද්‍යාඥයන් විසින් අනාවැකි පළ කර තිබෙන අතර පුනර්ජනනීය බලශක්තිය, පරිසර දූෂණය පාලනය සහ ස්වභාවික විසඳුම් සඳහා විශාල වශයෙන් ආයෝජනය කිරීම අවශ්‍ය බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව සහ අනෙකුත් රටවල් දේශගුණික විපර්යාස සම්බන්ධ මුලපිරීම් පිළිබඳ වාර්තා කිරීම සඳහා විද්වත් මණ්ඩලයක් කැඳවීමට අපේක්ෂා කරන අතර එමගින් සම්පූර්ණ නිවර්තන කලාපය පුරා පමණක් නොව සමස්ත ලෝකය පුරා බහු ආංශික සැලැස්මක් බෙදා හැරීමට කටයුතු කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

COP28 සමුළුවඅමතාජනාධිපතිරනිල්වික්‍රමසිංහමහතාකළසම්පූර්ණකථාවපහතපරිදිවේ

පළමුවෙන් COP28 සඳහා සත්කාරකත්වය ලබාදීම වෙනුවෙන් සහ දක්වන ලද ආගන්තුක සත්කාර වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජතුමාටත්, රජයටත් මගේ සුභපැතුම් සහ කෘතවේදීත්වය පළ කරනවා. 

2023 වසරේදී එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනෙහි වාර්තාව තුළ “කඩවුණු පොරොන්දු” ලෙස දක්වමින් අනතුරු ඇඟවූයේ මේ සියවසේ අවසානය වන විට ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 3 කින් ඉහළ යාමේ අර්බුදයට මුහුණ දෙන බවයි.

මූල්‍ය, තාක්‍ෂණය සහ දේශගුණය සඳහා වන ආයෝජන සම්බන්ධයෙන් පවතින අඩු අනුවර්තන ධාරිතාව හේතුවෙන්, සංවර්ධනය වෙමින් පවතින රටවල් වන අප, මෙම තත්ත්වයන් මඟින් අසමානුපාතික ලෙස අවධානමට ලක්විය හැකි අතර එමඟින් අප රටවලට අසමාන බලපෑමක් ඇති කරනවා.

දේශගුණික මූල්‍යකරණය පිළිබඳ ඉහළ මට්ටමේ ස්වාධීන විශේෂඥ කණ්ඩායමේ වාර්තාව මඟින්, දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීම සඳහා අවම වශයෙන් වසරකට ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියනයක් අවශ්‍ය බව අවධාරණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, අරමුදල් සැපයීමේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම පිළිබඳ කමිටුව විසින් සිය 2023 නොවැම්බර් මස 4 දිනැති වාර්තාව මඟින් “අලාභ සහ පාඩු පිළිබඳ අරමුදල” සඳහා ස්වේච්ඡා දායකත්වයන් පමණක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.

එම වාර්තාව මගින් මීට අවශ්‍ය අරමුදල් පිළිබඳ හෝ එහි දායකයින් කවුද යන්න පිළිබඳ සඳහන් කරන්නේ නැහැ. එම වාර්තාව ගෝලීය ණය සහනකරණය පිළිබඳ ප්‍රශ්නය හමුවේ ද නිහඬව සිටින අතර මේවා එකිනෙකට බැඳී පවතිනවා.

කෙසේ වෙතත්, එයින් දින හතරකට පසුව නිකුත් වූ, ගෝලීය තක්සේරුව පිළිබඳ පළමු තාක්ෂණික සංවාදයේ වාර්තාව මඟින් මේ සඳහා වාර්ෂිකව අවම වශයෙන් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන ගණනක් අවශ්‍ය බව අවධාරණය කර තිබෙනවා. 

මතභේදාත්මක තත්ත්වයක් ඇති නොවීම සඳහා සම්මුතියකට පැමිණීම විසඳුමක් නොවෙයි.අපි කාවද රවට්ටන්නේ? දේශගුණික යුක්තිය සෑම රටකටම සහ සෑම පුද්ගලයෙකුටම හිමි විය යුතුයි.

මෙම පසුබිම තුළ, පස්වැනි ආසියා පැසිෆික් කලාපීය පරිසර බලධාරීන්ගේ සහ අමාත්‍යවරුන්ගේ සංසදයේදී එකඟ වූ පරිදි, 2024 පෙබරවාරි 6 වන දින පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුව සඳහා “දේශගුණික යුක්ති සංසදය” පිහිටුවීම වෙනුවෙන් වන යෝජනාවක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරනවා. 

දේශගුණ යුක්ති සංසදය මඟින් අපට නිර්මාණාත්මක සහ ක්‍රියාශීලී මැදිහත්වීම් සඳහා වේදිකාවක් සපයනු ඇතියි.

එසේම “ගෝලීය ජ්වලන යුගය පැමිණ තිබෙනවා.” යනුවෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ප්‍රකාශ කළා.

සතුරා සිටින්නේ අපගේ දොරටුව අභියසයි. නමුත් අප තවමත් කල්මරමින් සතුරන්ට එරෙහිව සටන් කිරීම සඳහා අපගේ සේනාංක සූදානම් කරමින් සිටිනවා.

ඒ නිසා ඉදිරි දෙසතිය තීරණාත්මකයි.අපට නායකත්වයක් ලබාදීම සඳහා හැකියාවක් තිබේ ද නැද්ද යන්න පිළිබඳ එයින් තීරණය වනු ඇතියි. ක්‍රියාවෙන් අපට එය හැකි බව අපි තහවුරු කළ යුතුයි.

ශ්‍රී ලංකාව ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 1.5 කින් පහත හෙළීම සඳහා කැපවී සිටිනවා. අප පවතින රාමුවෙන් පිටත සිතිය යුතුයි.අපි ත්‍රිත්ව ග්‍රහලෝක අර්බුදයට මුහුණ දීම සඳහා නිවර්තන කලාපය තුළ ආයෝජන සිදු කළ යුතුයි.

නිවර්තන කලාපය තුළ පිහිටා ඇති රටවල් 134 මගින් පෘථිවි පෘෂ්ඨයේ 44% ක් ආවරණය කරනු ලබන අතර, 2030 වන විට ලෝක ජනගහනයෙන් 50% ක් පමණ එහි වාසය කරනු ඇතියි. ලෝකයේ ඉතිරිව ඇති ප්‍රාථමික වනාන්තර බොහොමයක් නිවර්තන කලාපය තුළ පිහිටා ඇති අතර එම කලාපය තුළ කොරල්පර පද්ධති ද පිහිටා තිබෙනවා.

නිවර්තන කලාපය සතුව පවතින පොහොසත් ජෛව විවිධත්වය මගින් ජීව විද්‍යාත්මක කාබන් අනුක්‍රමණය වැඩි දියුණු කරන අතර, එමඟින් කාලගුණ අස්ථාවරත්වයන්ගෙන් ලෝකය ආරක්ෂා කළ හැකියි.

එමෙන්ම, සූර්ය, සුළං සහ ජෛව ස්කන්ධ මගින් බලශක්ති උත්පාදනය කිරීමේ හැකියාව පෘථිවියේ අනෙකුත් ප්‍රදේශවලට වඩා නිවර්තන කලාපය තුළ සැලකිය යුතු මට්ටමක තිබෙනවා.  එහෙත් නිවර්තන කලාපයේ මානව ක්‍රියාකාරකම්, මෙම කලාපයේ පවතින සමතුලිතතාවය අසමතුලිත කිරීම සඳහා පහසුවෙන් හේතු විය හැකියි.

එසේම 22 වැනි සියවස වන විට නිවර්තන වැසි තීරය සමකයෙන් ඉවතට මාරු විය හැකි බවට ඇතැම් විද්‍යාඥයන් විසින් අනාවැකි පළ කර තිබෙනවා.

පුනර්ජනනීය බලශක්තිය, පරිසර දූෂණය පාලනය සහ ස්වභාව ධර්මය මත පදනම් වූ විසඳුම් සඳහා විශාල වශයෙන් ආයෝජනය කිරීම මඟින් කාබන් අනුක්‍රමණය වැඩිදියුණු කිරීම හරහා සමස්ත ලෝකය තුළ සැලකිය යුතු පරිවර්තනීය වෙනස්කම් ඇති වනු ඇතියි.

එබැවින්, ශ්‍රී ලංකාව සහ අදාළ රටවල් නිවර්තන කලාපයේ දේශගුණික විපර්යාස සම්බන්ධ  මුලපිරීම පිළිබඳ වාර්තා කිරීම සඳහා විද්වත් මණ්ඩලයක් කැඳවනු ලබනවා.එමඟින් මුළු නිවර්තන කලාපය පුරා පමණක් නොව සමස්ත ලෝකය පුරා බහු ආංශික සැලැස්මක් බෙදා හැරීමට ද කටයුතු කරනවා.

ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) වත්මන් සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරය සහ දේශගුණික විපර්යාස අතර පවතින අන්තර් රඳා පැවැත්ම කෙරෙහි අවධානය යොමු කරනවා.

නිරුපද්‍රිත සාගරයක් විසින් ඔක්සිජන් නිපදවන අතර ගෝලීය උණුසුමෙන් නිපදවන කාබන් හා තාපය එමගින් අවශෝෂණය කරනවා. ගොඩබිම් වනාන්තර වලට සාපේක්ෂව, කඩොලාන සහ මුහුදු තණකොළ මඟින් කාබන් වැඩි ප්‍රමාණයක් අවශෝෂණය කරගනු ලබනවා.

කෙසේ වෙතත්, වේගවත් දේශගුණික විපර්යාස නිසා සමුද්‍රීය පරිසරය වෙනස් වෙමින් පවතින අතර මුහුදු මට්ටම හා උෂ්ණත්වය ඉහළ යාම, සාගරය ආම්ලිකකරණය වීම, කොරල් පර විනාශ වීම, සමුද්‍රීය ජීවීන්ගේ වාසස්ථාන විනාශ වීම සහ ආන්තික කාලගුණික රටාවන් ද ඇතිවීම සිදු වෙනවා.

මෙම සංසිද්ධි තුළින් සාගර ජෛව විවිධත්වය, සාගර මත රඳා පවතින ආහාර රටාවන් සහ වෙරළ ආශ්‍රිත ජීවනෝපායන් කඩාකප්පල් කිරීම මගින් සෘජුවම මිනිස් ජීවිත වලට බලපෑම් ඇති කරනවා.

තිරසර බවින් යුතු ඉන්දියන් සාගරයත් අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීම සඳහා ඉන්දියානු සාගර කලාපයේ වටද්දර රටවල සංගමයෙහි සාමාජික රටවල් සහ හවුල්කරුවන් කටයුතු කරනු ඇතියි.

නිවර්තන කලාපීය මුලපිරීම සහ ඉන්දියානු සාගරය වෙනුවෙන් ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ වැඩසටහන ඒකාබද්ධ කිරීම මඟින් කාබන් අනුක්‍රමණය සඳහා වන විශාලතම ගෝලීය එකතුව නිර්මාණය කරනු ඇතියි.

දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා, නවීන විද්‍යාත්මක දැනුම සහ සොයාගැනීම් ඵලදායී ලෙස භාවිතා කිරීම අවශ්‍යයි.එම නිසා, COP27 හි දී, ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 අවම කිරීමේ තීරණාත්මක ප්‍රයත්නයන්ට දායක වීමට අවශ්‍ය ධාරිතා ගොඩනැගීම සහ පර්යේෂණ කටයුතු දියුණු කිරීම සඳහා ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලයක් (ICCU) පිහිටුවීමට ද මම යෝජනා කළා. ලබන වසරේ අප ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලය (ICCU) පිහිටුවීම සඳහා මුලපුරනවා. 

ආණ්ඩුව නියෝජනය කරමින් අමාත්‍යවරුන් වන ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, කෙහෙළිය රඹුක්වැල්ල, කංචන විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතාන යන මහත්වරන් ද, විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චම්පික රණවක, අජිත් මාන්නප්පෙරුම යන මහත්වරුන් ද දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ, මුදල් අමාත්‍යාංශයේ උපදේශක දේශාල් ද මෙල්, ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

නාවික හමුදාව සහ සංවිධානාත්මක කණ්ඩායමක් අතර උණුසුම් තත්ත්වයක්

Published

on

By

ත්‍රිකුණාමලය කුච්චවේලි මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ක්‍රම භාවිත කරමින් මසුන් අල්ලමින් සිටි ධීවරයන් සමග යාත්‍රා 11ක් නාවික හමුදා භාරයට ගැනීමට ඊයේ (03) මෙහෙයුමක් දියත් කර තිබේ.

එහිදී නාවික හමුදා යාත්‍රාව වට කරමින් සංවිධානාත්මක කණ්ඩායමක් පැමිණ අදාළ එක් යාත්‍රාවක් පැහැරගෙන යෑමට තැත් කර ඇත.

මෙහිදී අදාළ කණ්ඩායම සහ නාවික හමුදාව අතර පොරබැදීමක් සිදුවී ඇති අතර එහිදී නාවික හමුදාව නීත්‍යානුකූලව කටයුතු කිරීමට උත්සාහ දරා තිබේ.

පසුව නාවික හමුදා නිලධාරීන්ගේ ගිනිඅවි උදුරා ගැනීමට තැත් කිරීමත් සමග නාවික හමුදාව අහසට වෙඩිතබා තත්ත්වය පාලනය කිරීමට කටයුතු කර තිබුණි.

එහිදී අදාළ කණ්ඩායම ප්‍රකෝපකාරී ලෙස හැසිරීමත් සමග එක් නාවික හමුදා සෙබෙලෙකුගේ ගිනිඅවිය ක්‍රියාත්මක වී පුද්ගලයෙකුට වෙඩිවැදී තිබේ.

සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා ත්‍රිකුණාමලය මහ රෝහලට ඇතුලත් කර තිබෙන අතර ඔහු එහි නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ 23 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාව වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.

මේ අතර අදාළ සිද්ධිය මුල් කරගනිමින් කුච්චවේලි ප්‍රදේශයේදී ධීවරයින් උද්ඝෝෂණයක් සිදු කිරීමටද පියවර ගෙන ඇති බව වාර්තා වේ.

Continue Reading

පුවත්

ගණේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරු පෙරට්ටුවේදී හඳුනා නොගනී

Published

on

By

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින වෙඩික්කරු යැයි කියන සමිඳු දිල්ෂාන් පියුමංග නමැති සැකකරු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැති හඳුනාගැනීමේ පෙරට්ටුවකට අද (04) ඉදිරිපත් කළේය.

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මෙම සැකකරු දැඩි ආරක්ෂක විධිවිධාන මැද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එහිදී හඳුනාගැනීම සඳහා සාක්ෂිකරුවන් දෙදෙනෙකු ඉදිරිපත් කළ අතර, ඔවුන් විසින් සැකකරු හඳුනා නොගත් බව වාර්තා වේ.

ඉන් අනතුරුව මෙම සැකකරු දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මියගේ නිල මැදිරියට ඉදිරිපත් කර තිබේ.

එහිදී සැකකරු මේ මස 6වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය විසින් නියම කළේය.

එදින මෙම සැකකරු ස්කයිප් තාක්ෂණය මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියම විය.

Continue Reading

පුවත්

ජනපති මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් හමුවෙයි

Published

on

By

ආර්ථික ජයග්‍රහණ ලබාගත් පමණින් රටක සංවර්ධනය ළඟා කර ගත නොහැකි බවත්, ඒ හා සමගම සමාජ සංවර්ධනය හා දේශපාලන සංස්කෘතිය යන කුළුණු ත්‍රිත්වයම  එකවර ඉහළට එසවිය යුතුව ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර සිටියේ මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් සමඟ මුදල් අමාත්‍යාංශයේදී අද (04) පැවැති සාකච්ඡාවේදීය.

චීනය, කොරියාව සහ වියට්නාමය වැනි රටවල්  විශාල ආර්ථික පරිවර්තනයක් සිදු කළේ පොදු ජනයා  සමඟ එක්ව යුග කිහිපයක් පුරා නිරත වූ සාමූහික  ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

රටක් සංවර්ධනය කරා ගෙන යාමේ දී තනි පුද්ගලයන් වශයෙන් සියලුදෙනාට අනන්‍ය වූ සමාජ වගකීමක් පැවරී ඇති බවත්,  ඉලක්ක ළඟා කරගත හැකි වන්නේ එය සාමුහික ප්‍රයත්නයක්  බවට පත් කර ගැනීම තුළින් බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

දේශපාලන අධිකාරිය ලෙස තම මතය පමණක් නිලධාරින් මත පැටවීම සිදු නොකරන බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  විශේෂඥ දැනුම සහිත නිලධාරින් සහ දේශපාලන අධිකාරිය අතර සිදු කෙරෙන විධිමත් සාකච්ඡාවලින් අවශ්‍ය තීන්දු තීරණ ගන්නා බව සඳහන් කළේය. ඇතැම් අත්තනෝමතික දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් මීට පෙර ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති අසාර්ථක වූ ආකාරයද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය.

උපායමාර්ගික වැදගත්කමින් යුත් ක්ෂේත්‍ර රජය යටතේ පවත්වාගෙන යන අතරම, රජයේ මූලික ප්‍රතිපත්ති මත පිහිටා අදාළ ආයතනවල ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා මෙහිදී මහා භාණ්ඩාගාර නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලපෑමක් ඇති කළ හැකි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම්  වැඩසටහන, එක්සත් ජනපදයෙන් පනවා ඇති නව තීරුබදු මෙන්ම,  2027 වසරේ ඝ්Sඵ්+ සහන වැඩසටහන පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශයේ නිලධාරින්ගේ අවධානය යොමු කරන ලදී.

කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු,  මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරු සහ මහ භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ  නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved