දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස පත් කිරීම සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයාගේ ස්ථාවරය දැනුම්දීම සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් නෙරිල් පුල්ලේ මහතා කළ ඉල්ලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) අවසර ලබා දී තිබේ.
එමෙන්ම තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වෙනුවෙන් එහි සභාපති තරිඳු ජයවර්ධනගේ ඉල්ලීමක් අනුව මෙම නඩුවේ වගඋත්තරකරුවකු ලෙස නම් කිරීමට අවසර දුන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මෙම නඩුවට අදාලව විරෝධතා ඇත්නම් ගොනු කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නේය.
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස පත් කිරීමට එරෙහිව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා, මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර මහත්මිය ඇතුළු පාර්ශ්ව 8ක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදියේ කැඳවන ලදී.
මුලින් මෙම පෙත්සම් විනිසුරු නිලමැදිරියේදී කැඳවනු ලැබූ අතර පසුව එය කැඳවනු ලැබුව් විවෘත අධිකරණයේදීය.
මෙම පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලකට යොමු කරන ලෙස වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් මහතා මෝසමක් මගින් ඉල්ලා තිබුණු අතර එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙස තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ද මෝසමක් මගින් ඉල්ලා තිබුණි.
ඒ අනුව පූර්ණ විනිසුරු මඩුල්ලක් සඳහා වන ඉල්ලීම අගවිනිසුරු වෙත යොමු කරන ලෙස ලේඛකාධිකාරීයට නියෝග කළ අධිකරණය එමගින් මෙම පෙත්සම් විභාග කර අවසන් කිරීම මෙම විනිසුරුමඩුල්ලටම නොහැකි බවට හෝ මෙම විනිසුරු මඩුල්ල ඉවත්වූ බවක් අදහස් නොවන බව ද සඳහන් කලේය.
පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, ජනාධිපති නීතිඥ ජෙෆ් අලගරත්නම්, නීතිඥ තිෂ්‍ය වේරගොඩ, නීතිඥ සුරේන් ප්‍රනාන්දු ඇතුළු නීතිඥවරු කණඩායමක් පෙනී සිටි අතර වගඋත්තරකාර දේශබන්දු තෙන්නකේන් මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතාද, වගඋත්තරකාර රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතාද ඇතුළු පිරිසක් පෙනී සිටියේය.