“කලාවේ අරමුණ සහෘදයා ආනන්දයෙන් ප්‍රඥාව කරා කැඳවීම නම්, ඇය එය මැනවින් කර තිබේ.” යැයි නතාෂාගේ ප්‍රහසනය කලාත්මක ප්‍රකාශනයකි! යනුවෙන් ජීවන්ත ලියනගේ විසින් ලියා ඇති ලිපියක් අගයකරමින් විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන මහතා ට්විටර් පනිවුඩයක් නිකුත් කර තිබේ.
ඔහු එහි වැඩිදුරටත් මෙසේ සටහන්කර ඇත.
“කලා විහීන මුග්ධයින්ට එය නොතේරුණාට ඇය පළිද? බවතරණය ලියූ විට මාර්ටින් වික්‍රමසිංහ දංගෙඩියට දැක්කීමට වලිග කරේ තියාගෙන නැටුවේ, අද නටන අයගේ මුත්තලාය!”
ජීවන්ත ලියනගේ ගේ ලිපිය පහත දැක්වේ. (අදාල ලිපිය theleader.lk හි පලකරන ලද්දකි)
නතාෂාගේ ප්‍රහසනය කලාත්මක ප්‍රකාශනයකි!
නතාෂා නම් ප්‍රහසන කලා ශිල්පිනිය අත්අඩංගුවට ගැනීමට උසිගැන්වූ හා එය සාධාරණීකරණය කිරීමට කෙස් පළන බොහෝ දෙනෙක් ඇය කීවේ කුමක්දැයි අසා නැති බව පෙනේ.
අදාළ වීඩියෝව මේ වන විට ඉවත් කර ඇති නිසා, මෙම ආන්දෝලය ගැන සුල මුල සොයන පමාවූ බුකිවාසීන්ට සිදුව ඇත්තේ විවිධ අයගේ රචනා මත යැපීමටය. ඒ නිසා, අදාළ වීඩියෝව නැරඹූවකු ලෙස, එහි මේ ආන්දෝලනයට අදාළ කොටස ගැන සටහනක් තැබීම හුදී බුකි ජන පහන් සංවේගය පිණිස වැදගත් වනු ඇතැයි සිතමි.
ඇය කීවේ කුමක්ද? බුදුන්ට හෝ බුද්ධාගමට ඇය අපහාස කළාද? නොඑසේ නම් ඒ චෝදනාවට පාදක වූ ප්‍රකාශය හා එය පිහිටුවූ සන්දර්භය කුමක්ද?
බෞද්ධ සාහිත්‍යයේ එන කතා, යම් යම් දේ පැහැදිලි කිරීමට යොදාගැනීම හාමුදුරුවරුන්ගේ බණවල සිට දේශපාලන කතා දක්වා හැම තැනකදීම, නිරන්තරයෙන්ම සිදුවන්නකි. එයට කිසිම තහනමක් නැත. නතාෂා කළේද තමන් කියන කරුණ අවධාරණය කිරීමට අදාළ තැනකින් උදාහරණයක් ගැනීමය. ඒ උදාහරණයෙන් අපහාසයක් වී නම්, ඒ බුදුන්ට හෝ සිද්ධාර්ථට නොව, දේවදත්තගේ මෑණියන්ටය!
ඇත්තෙන්ම ඇය කළේ හුදු සිල්ලර විහිළුවක් නොවේ. ඉතා ගැඹුරු විෂයයක් ගැන හාස්‍යෝත්පාදක විවරණයකි. ඒ කියූ කාරණය මනෝවිද්‍යාත්මක අර්ථයෙන් බැලුවත් සත්‍ය නොවේද?
කලාවේ අරමුණ සහෘදයා ආනන්දයෙන් ප්‍රඥාව කරා කැඳවීම නම්, ඇය එය මැනවින් කර තිබේ. කලා විහීන මුග්ධයින්ට එය නොතේරුණාට ඇය පළිද? බවතරණය ලියූ විට මාර්ටින් වික්‍රමසිංහ දංගෙඩියට දැක්කීමට වලිග කරේ තියාගෙන නැටුවේ, අද නටන අයගේ මුත්තලාය!
නතාෂා ප්‍රහසන කලා ශිල්පිනියක ලෙස කළේ නිර්මාණාත්මක කාර්යයකි. එය සැබැවින්ම අර්ථවත් කලාත්මක වෑයමකි. මෙහි සිටින ළිං මැඩියන්ට හහා දැමීමට කරුණක් වුවද පහත වාක්‍ය කිහිපය කල්තියා ලියා තබමි.
“ශිෂ්ට ලෝකය ඇගේ ප්‍රකාශනය කලාත්මක ප්‍රකාශනයක් ලෙස පිළිගනු ඇති අතර, කලාකාරිනියකට හිමි ගෞරවය හා රැකවරණය සලසනු ඇත! අදහස් පළ කිරීමේ නිදහස පුළුල් ලෙස අර්ථ දක්වා ඇති නීතියද ඇය නිදොස් කොට නිදහස් කරනු ඇත!”
(ජීවන්ත ලියනගේ)
[email protected]