Connect with us

පුවත්

නව ක්‍රීඩා පනත : විශේෂඥ අධ්‍යයන කමිටු වාර්තාව ජනපතිට

Published

on

පවතින ක්‍රීඩා පනත වෙනුවට නව ක්‍රීඩා පනතක් හඳුන්වා දීමට අදාළව පත් කළ විශේෂඥ අධ්‍යයන කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති ජගත් ප්‍රනාන්දු මහතා විසින් පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාරදෙනු ලැබිණ.

මෙම වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඒ ආශ්‍රයෙන් විධිමත් කෙටුම්පතක් සම්පාදනය කර නව ක්‍රීඩා පනතක් සම්මතකර ගැනීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අපේක්ෂාව වී තිබේ.  

ශ්‍රී ලංකාවේ වර්තමාන නීතිමය රාමුව සහ ක්‍රීඩා පරිපාලනයේ පවතින ව්‍යුහය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා වෙත භාර දී ඇති මෙම විශේෂඥ අධ්‍යයන කමිටු වාර්තාවේ මූලික නිර්දේශයක් වනුයේ, පවතින නීතිමය රාමුව සහ පරිපාලන ව්‍යුහය පුළුල් ලෙස වෙනස් කිරීම සඳහා ජාතික ක්‍රීඩා සංවර්ධන අධිකාරියක් (National Sports Development Authority – NSDA) ස්ථාපිත කළ යුතු බවය. 

එසේම එම අධිකාරියට ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩා සංගම් නියාමනය කිරීම වෙනුවෙන් සියලුම ක්‍රීඩා සංවර්ධන කටයුතු පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ බලය සහ පූර්ණ අධීක්ෂණය හිමි විය යුතු බවටද  යෝජනා කර ඇත.

මෙම  ජාතික ක්‍රීඩා සංවර්ධන අධිකාරිය මූලික අරමුණු 8ක් සාක්ෂාත් කර ගැනීම සඳහා ක්‍රියාත්මක විය යුතු බවද අධ්‍යයන කමිටු වාර්තාව විසින් යෝජනා කර තිබේ. 

එසේම එම අධිකාරිය සාමාජිකයින් 11 දෙනෙකුගෙන් සමන්විත විය යුතු බවට ද යෝජනා කර ඇත. මෙහිදී ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ජාතික ඔලිම්පික් කමිටුවෙහි (NOC) සභාපතිවරයා නිල බලයෙන් යෝජිත අධිකාරිය සඳහා පත්වන අතර, යම් ක්ෂේත්‍රයක හෝ ව්‍යාපාර හා වාණිජ ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වෘත්තිකයන් තිදෙනෙකු, ජාතික ක්‍රීඩා කණ්ඩායමක හිටපු නායකයන් හෝ ක්‍රීඩාවට හා රටට සුවිශේෂී සේවාවක් ලබාදුන් පුද්ගලයින් අතුරින් 02 දෙනෙකු, ජාතික ඔලිම්පික් කමිටුව යටතට අයත් නොවන ලියාපදිංචි ජාතික ක්‍රීඩා සංගමයක (NSA) ක හිටපු සභාපතිවරයෙකු මෙන්ම මුදල්, අධ්‍යාපන හා සෞඛ්‍ය යන අමාත්‍යාංශ තුනෙහි ලේකම්වරුන් විසින් නම් කරන නියෝජිතයන් තිදෙනෙකුගෙන් සමන්විත විය යුතු බවටද යෝජනා කර තිබේ.

යෝජිත ජාතික ක්‍රීඩා සංවර්ධන අධිකාරියේ නිල කාලය වසර 04ක් වන අතර, ඒ සඳහා නම් කිරීමෙන් සහ නිල බලයෙන් පත්වන සාමාජිකයින් හැර අනෙක් සියලුම සාමාජික තනතුරු සඳහා පත්කිරිම් සිදු කිරීමට අදාළ නාමයෝජනාවන් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යොමු කර අනුමැතිය ලබාගත යුතු බවටද යෝජනා කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් මෙම සාමාජිකයින් අතුරින් සුදුසු පුද්ගලයෙකු අධිකාරියේ සභාපතිවරයා ලෙස නම් කරමින් පත් කිරීමට කටයුතු කළ යුතු බවට ද විශේෂඥ අධ්‍යයන කමිටු වාර්තාව විසින් යෝජනා කර ඇත.
තවද, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) සහ අනෙකුත් ජාත්‍යන්තර ක්‍රීඩා සම්මේලනවල අවශ්‍යතාවන්ට අනුකූල වීම සඳහා ජාතික ක්‍රීඩා සංගම් පවත්වාගෙන යාමේදී අවම මැදිහත්වීමක් සහතික කිරීම සඳහා දේශපාලන බලපෑම් අවම කිරීමට කටයුතු කිරීමට මෙන්ම ක්‍රීඩා ක්ෂේත්‍රයේ පැමිණිලි සහ ආරවුල් විසඳීම සඳහා බලය සහිත විනිසුරුවරුන් 10 දෙනෙකුගෙන් සමන්විත ක්‍රීඩා පැමිණිලි විසඳීමේ අධිකරණයක් (SGRT) පිහිටුවීමටත් මෙමඟින් යෝජනා කර තිබේ. ඊට ඉදිරිපත් වන පැමිණිල්ලක් විසඳිම අවම වශයෙන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් සිදුකල යුතු බවද එහිදී අනිවාර්යය කර ඇත.

ඉහත සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමෙන් වත්මන් ක්‍රීඩා පනතෙහි පවතින නීතිමය රාමුවට සහ පරිපාලන ව්‍යුහයට සැලකිය යුතු සංශෝධන ගෙන ඒමට හැකිවනු ඇති බවට මෙම අධ්‍යයන කමිටුව විශ්වාසය පළකරන අතර මෙම වෙනස්කම් සිදු කිරීම සඳහා දැනට පවතින ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 25 දරන ක්‍රීඩා පනත සංශෝධනය කිරීමෙන් හෝ එම නීතිය අහෝසි කිරීම සඳහා නව නීති සම්පාදනය කිරීමෙන් සිදු කළ හැකි බවටත්, නීතිමය සහාය සහ උපදෙස් සමගින් නව පනත් කෙටුම්පතක් සකස් කළ හැකි බවටත් මෙම අධ්‍යයන කමිටු වාර්තාව වැඩිදුරටත් පෙන්වාදී ඇත.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

හිටපු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ට ඇප

Published

on

By

ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ලෙස ලියාපදිංචි වී ඇති මෝටර් රථයක් සඳහා අංක තහඩුවක් නිකුත් කිරීම සඳහා අනුමැතිය දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු මෝටර් රථ කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු සැකකරුවන් හතර දෙනෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රත් අධිකරණය නියම කර තිබේ.

අල්ලස් කොමිසමේ සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

ඒ අනුව සැකකරුවන් තුන් දෙනෙකු රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් හා එක් සැකකරුවෙකු රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කල මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය හමුවට භාර දෙන ලෙසත් නියෝග කළාය.

ඉන් අනතුරුව නඩුව යළි නොවැම්බර් 14 යළි කැඳවීමටද මහෙස්ත්‍රාත්වරිය නියම කළාය.

Continue Reading

පුවත්

ගොවි විශ්‍රාම වැටුප ගැන නිවේදනයක්

Published

on

By

විශ්‍රාම වැටුප් අහිමිවී සිටින ගොවීන් සඳහා මේ මස සිට එම විශ්‍රාම වැටුප් ලබාදීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බව ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

සිය ගැටලුව සම්බන්ධයෙන් ගොවීන් රජය වෙත කළ ඉල්ලීම් සලකා බලා එම විශ්‍රාම වැටුප් ගෙවීමට පියවර ගෙන ඇති බව එම මණ්ඩලය සඳහන් කළේය.

2012 /2013 කාලය තුළ ගොවි විශ්‍රාම වැටුප් අරමුදලට සිදුවු බලපෑම හේතුවෙන් විශ්‍රාම වැටුප් ගෙවීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීම මත විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායක වී සිටින ගොවීන්ගේ පසුවාරික අයකිරීමේ ක්‍රියාවලිය අඩාල වී ඇති බව සඳහන්ය.

මෙම තත්ත්වය හේතුවෙන් එම යෝජනා ක්‍රමය යටතේ දායකත්වය ලබා සිටි ගොවීන්ට වාරික නිසි පරිදි ගෙවීමට නොහැකි වී තිබේ.

මේ හේතුවෙන් වයස අවුරුදු 60 සම්පුර්ණ වන අවස්ථාවේ දී නොකඩවා කන්න දෙකක් තුළ වාරික 5ක් නියමිත දිනට නොගෙවීම මත ගෙවිය යුතු සම්පුර්ණ වාරික මුදලින් සියයට 75කට නොඅඩු වාරික ප්‍රමාණයක් ගෙවා ඇති ගොවීන්ට වැටුප් හිමිකම් අහිමි වී තිබුණි.

කෙසේවෙතත් මෙම වාරික ගෙවීමට නොහැකි වීම ගොවීන්ගේ අතපසුවීමක් නොවන බව ගොවි ජන රක්ෂණ මණ්ඩලය පෙන්වා දුනි.

ඒ අනුව අදාළ ඉල්ලීම් සලකා බලා සියයට 75ට වැඩි වාරික මුදලක් ගොවි විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා ගෙවා ඇති ගොවීන් වෙනුවෙන් අදාළ වාරික මුදලට ගැලපෙන ප්‍රතිශතාත්මක මුදලක් විශ්‍රාම වැටුප ලෙස ලබා දීම සම්බන්ධයෙන් කෘෂි කර්ම අමාත්‍යවරයා දැනුවත් කර තිබේ.

ඒ අනුව ගොවි විශ්‍රාම වැටුප් උපදේශක කාරක සභාව වෙත යොමුකර එහි නිර්දේශ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මාසිකව ගොවි විශ්‍රාම වැටුප් ලබා ගැනීමේ අවස්ථාව මේ මස සිට ගොවීන්ට ලබාදීමට කටයුතු සංවිධානය කර ඇති බව ගොවි ජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේය.

Continue Reading

පුවත්

කරදියාන කසළ අංගනයේ ගින්නක්

Published

on

By

පිළියන්දල කරදියාන කසළ අංගනයේ ගින්නක් හටගෙන ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි.

ගින්න නිවීම සඳහා මොරටුව නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ජල බව්සර් හතරක්, ගිනි නිවීමේ රථ දෙකක් සහ ගිනිබටයන් 15කුත් කණ්ඩායමක් ඒ සඳහා යොමු කර ඇති බව එහි ස්ථාන භාර නිලධාරී දුල්සිරි කුමාර මහතා පැවසුවේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved