Connect with us

පුවත්

නාමයෝජනා පත්‍ර කිහිපයක් යළි භාරගන්නැයි නියෝග

Published

on

උප්පැන්න සහතික, සාම විනිසුරුවරු විසින් සහතික කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 07 වන උපලේඛනය යටතේ සිදුකළ දිවුරුම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලු මත ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර යළි භාරගන්නා ලෙස අභියාචනාධිකරණය අද (10) අදාළ තේරීම්භාර නිලධාරීන්ට නියම කළේය.

ඒ අනුව ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනා පත්‍ර 35කට ආසන්න සංඛ්‍යාවක් යළි භාරගන්නා ලෙසත් අධිකරණය විසින් නියම කර තිබේ.

අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් ඉදිරිපත් කළ පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝග නිකුත් කළහ.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ල සාමාදාන විනිශ්චකාරවරු විසින් සහතික කළ නාමයෝජනා පත්‍ර සහ දිවුරුම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලු මත නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට තේරීම්භාර නිලධාරීන් ගත් තීරණය යුක්ති සහගත බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත් 04 වනදා නිකුත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක නඩු තීන්දුවක සඳහන් කර ඇතැයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා විසින් පෙන්වා දුන් බව පැවසුවේය.

ඒ අනුව මෙම කරුණට අදාළව තම අධිකරණය විසින් මීට පෙර ලබාදුන් තීන්දුව යළි සලකා බලන ලෙසත් මෙම කරුණට අදාළව අලුතින් ගොනුකර තිබෙන පෙත්සම් සලකා නොබලන ලෙසත් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටි බවත් විනිසුරුවරයා සිය තීන්දුවෙන් සඳහන් කළේය.

එහෙත් තම අධිකරණය විසින් එම තීන්දුව ලබාදෙන අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ නිගමනය කර නොතිබූ බව පෙන්වා දුන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ශ්‍රේෂ්ඨධිකරණයේ එම නිගමනය මෙම අවස්ථාවේදී තම අධිකරණයට අදාළ නොවන බවත් පැවසුවේය.

ඒ අනුව අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට තේරීම්භාර නිලධාරීන් ගත් තීරණය බලරහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කරන බවත් විනිසුරුවරයා සඳහන් කළේය.

ඊට අමතරව එසේ ප්‍රතික්ෂේප කළ නාමයෝජනා පත්‍ර යළි භාරගන්නා ලෙස අදාළ තේරීම්භාර නිලධාරීන් වෙත තවත් රිට් ආඥාවක් නිකුත් කරන බවත් විනිසුරුවරුන් කළ නියෝගයේ වැඩිදුරටත් සඳහන් වුණි.

පොදුජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ලංකා කම්කරු කොංග්‍රසය, ස්වාධීන කණ්ඩායම් ඇතුළු දේශපාලන පක්ෂ විසින් සිය නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

(අරුණ)

පුවත්

ජනාධිපති කාර්යාලයේ සැප වාහන වෙන්දේසිය අද

Published

on

By

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් අද  (15) දිනයේදී වෙන්දේසි කිරීමට නියමිතය.

විකිණීමට නියමිත මෙම සියලු වාහන වසර දහයක් ඇතුළත නිෂ්පාදිත වාහන වන අතර මීට අදාළ මිල ගණන් කැඳවීම ඊයේ (14) දිනයෙන් අවසන් විය.

අද වෙන්දේසි වන මෙම වාහන අතර,

  • බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථ 01ක්
  • ෆෝර්ඩ් එවරස්ට් ජීප් රථ 02ක්,
  • හුන්ඩායි ටෙරකන් ජීප් රථ 01ක්,
  • ලෑන්ඩ් රෝවර් ජීප් රථ 02ක්,
  • මිට්සුබිෂි මොන්ටේරෝ රථ 01ක්,
  • නිසාන් පෙට්‍රල් රථ 03ක්,
  • නිසාන් වර්ගයේ මෝටර් කාර් 02ක්,
  • පෝර්ෂ්  කේයින් මෝටර් රථ 01ක්,
  • ස්සෑන් යං රෙක්ස්ටන් වර්ගයේ ජීප් රථ 05ක්,
  • ලෑන්ඩ් කෘසර් සහරා වර්ගයේ ජීප් රථ 01ක්,
  • වී 08 රථ 06ක්,
  • මිට්සුබිෂි රෝසා වර්ගයේ වායු සමීකරණය කළ බස් රථ 01ක් වේ.

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ පළමු අදියර යටතේ මීට පෙර සුඛෝපභෝගී වාහන 14ක්, භාවිතයෙන් ඉවත් කරන ලද වාහන 6ක් සහ වාහන අමතර කොටස් අලෙවි කිරීමට අදාළ වෙන්දේසියක් පවත්වනු ලැබීය.

රජයේ වියදම් කපා හැරීම සහ මූල්‍ය වගවීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් මෙම වාහන විකිණීමට තීරණය කර ඇති අතර, පෙර වෙන්දේසියේදී ඩිෆෙන්ඩර් ජීප් රථ 09ක් ඇතුළු විවිධ වර්ගයේ වාහන 15ක් විකුණා තිබේ.

මෙම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩල වෙත ලබා දී තිබූ වාහන නොවන අතර, හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධූර කාලයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (1) වගන්තිය යටතේ පත් කරන ලද උපදේශකවරුන් සහ කාර්ය මණ්ඩලය විසින් භාවිත කළ වාහන වේ.

Continue Reading

පුවත්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් “ටියුනප් දන්සැලක්”

Published

on

By

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ‘ටියුනප් දන්සැලක්’ සංවිධානය කර තිබේ.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අද සහ හෙට (මැයි මස 15 හා 16)  යන දෙදින තුළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඉදිරිපිට දී මෙම විශේෂ දන්සැල පැවැත්වෙන බවය.

පවතින වායු විමෝචන ප්‍රමිතීන් අනුව ඇතැම් වාහන (පැරණි යතුරුපැදි, ත්‍රීරෝද රථ) සමත් වීම සිදු නොවන බව ජනතාව තුළ මතයක් පවතින බවද එම නිවේදනයේ දැක්වේ.

එම දුර්මතය ඉවත් කිරීම සඳහා නිවැරදි ශිල්පීය ක්‍රමය තුළින් වාහන නිවැරදි කරගත හැක යන සංකල්පය ප්‍රචලිත කිරීමට වායු විමෝචන භාරකාර අරමුදලේ ව්‍යාපෘති කාර්යාලය විසින් තෙවන වරටත් සංවිධානය කරනු ලබන ටියුනප් දන්සැල නොමිලේ යතුරුපැදි හා ත්‍රීරෝද රථ සුසර කර දීමේ වැඩසටහන පැවැත්වෙනු ඇත.

Continue Reading

පුවත්

පොදු ප්‍රවාහන බස්රථ ආනයනයේ දී කොන්දේසි මාලාවක්

Published

on

By

එළඹෙන වසරේ ජනවාරි මාසයේ සිට පොදු ප්‍රවාහන බස් රථ ආනයනය කිරීම සඳහා කොන්දේසි මාලාවක් හඳුන්වාදීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ආරක්ෂිත මෙන්ම නවීන තත්ත්වයට ගැලපෙන බස්රථ පමණක් ආනයනය කිරීම සඳහා අවසර ලබා දීමට කටයුතු කරන බවය.

එමෙන්ම පොදු ප්‍රවාහනය සඳහා යොදා ගන්නා වාහන නියමිත ප්‍රමිතීන් යටතේ ධාවනයේ පවතින්නේ ද යන්න පිළිබඳව ඉදිරියේ දී සොයාබැලීම සම්බන්ධයෙන් කටයුතු කරන බව ද ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් පැවසුවේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved