Connect with us

පුවත්

නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා

Published

on

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.

දළදා වන්දනා මෙහෙයුම් කමිටු තීරණ දැනුම්දීමේ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා පවසා සිටියේ, සිරි දළදා වන්දනාව වෙනුවෙන් මේ වනවිටත් ලක්ෂ 4කට වඩා වැඩි සැහැදැවතුන් පිරිසක් මහනුවරට එක්රොක් වී සිටින බැවින් එම තීරණය ගත් බවය.

තවදුරටත් සැදැවතුන් මහනුවර නගරයට ඇතුළු වුවහොත් සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ ප්‍රවණතාවයක් පවතින බැවින් මෙම ඉල්ලීම සිදුකරන බව ද ඒ මහතා පැවසීය.

“ඇත්තටම අපි රටට ජනතාවට ඇත්ත කියන්න ඕනේ, මේ ඉන්න ලක්ෂ 4ක ජනතාව ගත්තොත් ඔවුන්ට දළදා වන්දනාව සිදුකර ගැනීමට තවත් දින 4ක් හෝ 5ක් ගත්වෙනවා. ඒ වගේම මහනුවර නගරය සීමා සහිතයි. නගරයට දරන්න පුළුවන් සීමාවක් තියෙනවා. දැනට ඉන්න ජනතාව හොඳටම ප්‍රමාණවත් මහනුවරට දරන්න. ඒ වගේම තමා අපි ආහාර පාන සැපයුවත් සනීපාරක්ෂක පහසුකම් සැපයීම කියන කාරණය තුළ දුෂ්කර තත්ත්වයක් තියෙනවා. තවදුරටත් ජනතාව මහනුවරට ආවොත් ඉදිරියේ දී සෞඛ්‍ය ගැටලු මෙන්ම විශේෂයෙන්ම ආපදා තත්ත්වයන් ඇතිවිය හැකියි. ඒ නිසා අපි ජනතාව ගැන හිතලා ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා ජනතාවගෙන් නැවත දැනුම්දෙන තුරු මේ මහනුවර නගරයට එන්න එපා කියලා ඉල්ලීම් කරනවා.”

මෙහිදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පවසා සිටියේ මහනුවර නගරය තුළට තවත් ජනාතාව පැමිණියහොත් ඒ අයට පහසුකම් ලබාදීමට නොහැකි බැවින් කරුණාකර දළදා වන්දනාවට නැවත දැනුම්දෙන තුරු කිසිවෙකුත් නොපැමිණෙන ලෙසය.

පුවත්

අද කාලගුණය

Published

on

By

අද (06) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවේ.

ඌව, නැගෙනහිර පළාත්වලත් වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත්  සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ දකුණු පළාතේ විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සිහින් වැසි ඇති වේ.  

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

Continue Reading

පුවත්

පරිපූරක වෛද්‍ය වෘත්තික වැඩ වර්ජනය අද දෙවැනි දිනටත්

Published

on

By

පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීන් 5කට අයත් වෘත්තීය සමිති විසින් ආරම්භ කළ වැඩවර්ජනය අද (06) දෙවන දිනටත් සිදුකරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ ලේකම් චානක ධර්මවික්‍රම මහතා කියයි.

පැය 24ක මෙම වැඩවර්ජනය ඊයේ (05) උදෑසන 8ට ආරම්භ වූ අතර අද උදෑසන අවසන් කිරීමට නියමිතව තිබුණි.

එහෙත් ඊයේ රැස්වූ පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ විධායක සභාව තීරණය කළේ අඛණ්ඩව පැය 48ක් දක්වා වර්ජනය ක්‍රියාත්මක කීරීමට ය.

උසස්වීම්, සතිඅන්ත හා නිවාඩු දින දීමනා, උපාධිධාරීන් බඳවා ගැනීම, වැටුප් හා දීමනා, විශ්‍රාම තත්ත්වයන්ට අදාළ එකඟතා නොසලකා හැරීම සහ සීමාවාසික පුහුණුව යන ගැටලු සහ ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන ලෙස සඳහන් කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කෙරෙයි.

මේ අතර ඊයේ (05) සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නම් ප්‍රථමයෙන් සේවයට වාර්තාකරන ලෙසය.

අමාත්‍යවරයාගේ එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය දන්වා සිටියේ, තම ගැටළු විසඳීම සඳහා වර්තමාන සෞඛ්‍ය අමාත්‍යතුමාගේ සාධනීය මැදිහත්වීමක් නොවීම හේතුවෙන් තවදුරටත් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය වෙත එළැඹීමට සිදු වූ බවයි.

නිවේදනයක් නිකුත්කරමින් ඔවුන් වැඩිදුරටත් පවසා සිටියේ, පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ගැටළු විසඳාගැනීම සඳහා ඉහළ ශක්‍යතාවයක් පැවතියද, ඊට අදාළ විසඳුම් ලබාදීම වෙනුවට එම ඉල්ලීම් දේශපාලනික න්‍යාය පත්‍රයන් ලෙස හඳුන්වා දෙමින් වැරදි සහගත නිර්වචනයන් ලබාදීම සිදුවූ බවද පවසයි.

ඒ අනුව ගැටළු විසඳීමට අදාළ කටයුතු සිදු කෙරෙනු ඇතැයි අපේක්ෂිතව කටයුතු කරද්දි, පරිපුරක වෛද්‍ය උපාධිධාරීන් බඳවාගැනීමට අදාළව සිදුකරනු ලැබූ අත්තනෝමතික ක්‍රියාව හේතුවෙන් අකමැත්තෙන් හෝ මෙම වර්ජන ක්‍රියාමාර්ග වෙත එළඹීමට සිදු වූ බවද අදාළ නිවේදනයේ දැක්වේ.

කෙසේ නමුත් පසුගිය රජයන් හමුවේ ක්‍රියාත්මක වූ සමහර දේශපාලනික වෘත්තීය සමිති ව්‍යාපාරයන් මෙන් පවතින රජය අපහසුතාවයට පත්කිරිම හෝ වෙනත් පාර්ශ්වයක් බලයට රැගෙන ඒමේ අවශ්‍යතාවයක් මත මෙම වෘත්තීය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක නොවන බවද පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි.

එබැවින් තම ඉල්ලීම් ක්‍රියාත්මක කරන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටින බවත්, මෙම ගැටළුව විසඳාගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ලේකම්වරයා ලෙස මැදිහත් වන ලෙසත් ඔවුන් ඉල්ලා සිටියි.

Continue Reading

පුවත්

ඉන්දු – ලංකා අවබෝධතා ගිවිසුමට එරෙහි පෙත්සම කැදවන්න නියෝග! 

Published

on

By

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වෛද්‍ය ගුණදාස අමරසේකර ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා ලබන 12 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (05) නියෝග කළේය.

මෙම පෙත්සම ඊයේ (05 ) අචල වෙංගප්පුලි සහ මේනකා විජේසුන්දර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන ලදී.

එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කනිෂ්ක විතාරණ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙය ජාතික වැදගත්කමක් සහිත නඩුකරයක් බැවින් ඒ පිළිබඳව කඩිනමින් කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 12 වැනිදා කැඳවන ලෙස නියෝග කළේය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා, අගමැතිනි හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩලය නම්කර ඇත.

පෙත්සම්කරු කියා සිටින්නේ ඉකුත් දා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කළ අවබෝධතා ගිවිසුම මෙරට ආණ්ඩුක්‍රමව ව්‍යවස්ථාවට මෙන්ම ජාත්‍යන්තර නීතියට ද පටහැනි බවයි.

මෙම අවබෝධතා ගිවිසුමේ අන්තර්ගත කරුණු පිළිබඳව මෙතෙක් මහජනතාව දැනුවත් කර නොමැති අතර, එය ජනතාවගේ ව්‍යවස්ථාදායක අයිතිය උල්ලංඝනය කිරීමක් බවට ද පෙත්සමෙන් චෝදනා කර තිබේ.

මෙම අවබෝධතා ගිවිසුම මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට මෙන්ම භෞමික අඛණ්ඩතාවට ද හානි සිදු වී ඇති අතර, මෙම අවබෝධතා ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකොට අත්සන් තැබීමට රජය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවටද එමගින් චෝදනා කර ඇත.

එමගින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අදාළ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝග නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද සිටිති.

ඊට අමතරව සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් වගඋත්තරකරුවන්ගෙන් රුපියල් ලක්ෂ විස්සක වන්දියක් අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස වැඩිදුරටත් ඉල්ලා තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved