Connect with us

පුවත්

නිදහසේ සිහිනය එක්ව දකිමු…එක්ව සැබෑ කරගමු”

Published

on

මෙවර නිදහස් දිනය සුවිශේෂ දිනයක් බවත් නිදහසේ සිහිනය එක්ව දැකිය යුතු අතර එය එක්ව සැබෑ කරගත යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මෙතෙක් අතීතය දෙස බලා සැමරූ නිදහස අද දිනයේ අනාගතය දෙස බලාගෙන සමරනු ලබන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

උතුරේ, දකුණේ, නැගෙනහිර හා රට මැද ජනතාව අනාගත පොහොසත් රාජ්‍යයක් ගැන මෙන්ම නුතන ශ්‍රී ලාංකික ජාතියක් ගැන සිහින දකිමින් සිටින මොහොතක නිදහස් දිනය සැමරීමට ලැබීම විශේෂත්වයක් බව ද නිදහස් දින සැමරුම් උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා පැවසීය.

අද උදෑසන නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් 77 වන නිදහස් දින සැමරුම ආරම්භ කෙරිණි.

“මේ දවස උදාකිරීම වෙනුවෙන් ආත්මීය පරිත්‍යාග කළ සියලු විරෝධාර මිනිසුන්ට අපේ ආචාර්ය පුද කළ යුතු දවසක් අද. ඒ වගේම නිදහස පූර්ණ වශයෙන් අත්පත් කරගැනීම වෙනුවෙන් ඔවුන් ලබාදුන් යෂ්ටිය රැගෙන 1948න් පසුව තවත් විරෝධාර මිනිසුන් අපේ නිදහස වෙනුවෙන් ගමන් කළා. ඒ යෂ්ටිය රැගෙන 77 වන නිදහස සමරන මේ මොහොත දක්වා අපි දීර්ඝ ගමනක් ඇවිත් තියෙනවා. ඒ ගමන තුළ අපි දන්නා වීරවරුන් හා වීරවරියන් සේම අපි නම් නොදන්නා අපේ නිදහස වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ සුවහසක් වීරෝධාර මිනිසුන්ගේ ලේ, කඳුළු, දහඩිය මතින් අද දක්වා අපි පැමිණ තිබෙනවා. ඒ සියලුදෙනාට අපගේ ආචාර්ය හිමිවෙනවා.

අපිට අපේ ආර්ථික නිදහස වෙනුවෙන් සමාජ, සංස්කෘතික නිදහස වෙනුවෙන් නූතන පුරවැසියන් ලෙස අභිමානවත්ව මේ රට තුළ ජීවත් වීමට අවශ්‍ය නිදහස නිර්මාණය කරගැනීම වෙනුවෙන් එක්ව යා යුතු ගමනක් තිබෙනවා. කාලයක් පුරා යටත් වැසියන් ලෙස අප බෙදා වෙන්කළ ජනවාර්ගික, ආගමික, කුලභේද පමණක් නොව දේශපාලන නියෝජිතයින් අතර, ආයතන ප්‍රධානීන් හා සේවකයින් අතර රාජ්‍ය සේවකයින් හා පොදු ජනතාව අතර ගුරුවරුන් හා සිසුන් අතර යන සෑම කේෂ්ත්‍රයකම මුල් බැසගත් අගතින් සෝදාහැර මේ සමාජය පවිත්‍ර කළ යුතුව තිබෙනවා.

අප මතක තියා ගත යුතුයි රටට ආර්ථික, සමාජීය, සංස්කෘතික නිදහස පුර්ණ ලෙස දිනාගැනීමේ මෙහෙයුම තුළ ඔබ අප සියලුදෙනා එකම අරගල බිමක අරගලකරුවන් වන බව අප සියලුදෙනා එකාවන්ව මේ මාතෘභූමිය වෙනුවෙන් තවදුරටත් කළ යුතු නිදහස් අරගලයක් තිබෙනවා. මේ මෙහෙයුම තුළ අපේ ජාතියට ආහාර නිෂ්පාදනය කරන ගොවියන් හා ධීවරයින් ලෙස ඔබට එහි භූමිකාවක් තියෙනවා. අපේ ජාතියට දැනුම නිෂ්පාදනය කරන ඒ දැනුමින් අනාගත පරපුර පෝෂණය කරන ගුරුවරුන් ලෙස ඔබට කාර්යභාරයක් තිබෙනවා. අපේ ජාතියේ නිරෝගීකම සුරකින සෞඛ්‍ය සේවයේ ක්‍රියාධරයින් ලෙස ඔබට එහි කාර්යභාරයක් තියෙනවා. අපේ පුරවැසියන්ගේ ආරක්ෂාව සහතික කරන පොලීසිය හා ආරක්ෂක අංශ ලෙස ඔබට එහි වගකීමක් තියෙනවා. ඔබ සියලුදෙනාට සුවිශේෂ භූමිකාවක් තියෙනවා. ගෝලීය ආර්ථික පද්ධතිය තුළ දුබලයෙක් නොවී සෑම චලනයකින් ම තැලෙන පෑගෙන යටත් වැසියෙක් නොවී, ආර්ථික තලයේ නිදහස සාක්ෂාත් කරගැනීමට නම් අප සියලුදෙනා එක්ව මේ මාතෘභූමිය වෙනුවෙන් කැප විය යුතුයි. අපේ ඒ ආර්ථික නිදහස වෙනුවෙන් අපි කරන අරගලය තුළ අපේ සමාජීය, සංස්කෘතික නිදහස කිසිසේත්ම දෙවැනි කොට සැලකීමට අප සුදානම් නැහැ.

ඔබට අප විසින් භාරදෙනු ලබන රට අපට ඉතිහාසය විසින් භාරදුන් රට නොව ඔබ ජීවත් කිරීමට ආසා කරන පුරවැසි අභිමානය ගරු කරන දියුණු සංස්කෘතික රටක් වන බවයි. එමෙන්ම මානව ශිෂ්ටාචාරය මේ වනවිට අත්පත් කරගෙන ඇති විද්‍යාත්මක තාක්ෂණ හා චින්තනමය ජයග්‍රහණය ශ්‍රී ලාංකිකයින් ලෙස අත්විඳීමට ඔබට ඇති හිමිකම තහවුරු කළ රටක් වන බව ස්ථීර ලෙස මා ඔබ හමුවේ මෙසේ පවසන්නේ, ඉතිහාසය විසින් අපට උරුමකර දී ඇති මේ මහඟු අවස්ථාව මඟහැර යාමට අපට යුක්ති සහගත අයිතියක් නොවන නිසයි. අපි එසේ නොකළ බවට අනාගතය සාක්ෂි දරයි.

මේ නිදහසේ සිහිනය එක්ව දකිමු. ඒ සිහිනය එක්ව සැබෑ කරගමු. ඔබ සහ මම අප සියලුදෙනා එක්ව මේ ගමන් කරමින් සිටින්නේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව නුතන දේශපාලන ලෝකයේ නොමැකන ආදර්ශයක් බවට අපේ මාතෘභූමිය ශ්‍රී ලංකා රාජ්‍ය පත්කරන ගමනක් විය හැකි බව ද මතක තබා ගන්න. නියත වශයෙන්ම අපට ලෝකයේ ධනවත් රට බවට පත්විය නොහැකිය. නමුත් අපි උත්සාහ කළොත් අපිට මේ ලෝකයේ පොහොසත්ම ජාතික ආත්මය දරාගත් සමානාත්මතාවය හා නිදහසේ රාජ්‍ය බවට පත්විය හැකියි.”

පුවත්

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට සිට

Published

on

By

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට (03)  ආරම්භ කිරීමට නියමිතය.

ඒ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 06ක් වෙන් කර තිබේ.

වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළේ, අම්පාර මුලතිව් හා මඩකලපුව දිස්ත්‍රික්කවල වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති බවය.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ,
නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්,
සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත්
කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත්
 මිලදී ගන්නා බවය.

Continue Reading

පුවත්

සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට නව නීති

Published

on

By

සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා, නව නීති හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය  ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ,  ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට රජය මේ වනවිට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇති බවය.

අත්අඩංගුවට පත්වන සංවිධානාත්මක අපරාධකරුවන් දැනට රඳවා තබා ගෙන, ප්‍රශ්න කෙරෙන්නේ ත්‍රස්ත මර්දන පනතේ ප්‍රතිපාදන වලට යටත්ව බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එම පනත අහෝසි කිරීමත් සමග සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමට නව නීති ප්‍රතිපාදන අවශ්‍ය බව අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදී.

ඒ අනුව අදාළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මේ වනවිට කෙටුම්පත් කරමින් පවතින බව, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ ය.

Continue Reading

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved