ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපතිවරයා තෝරා ගැනීම සඳහා වන 2023/2024 නිලවරණයට නාමයෝජනා භාරදීම ජනවාරි 11 දින පෙරවරුවේ අලුත්කඩේ නීතිඥ සංගම් කාර්යාලයේ දී සිදුකර තිබුණි.
මෙහිදී සභාපති ධුරයට නීතිඥ කෞශල්‍ය නවරත්න නාමයෝජනා භාරදුන් අතර ලේකම් ධුරය සඳහා වත්මන් ලේකම් ඉසුරු බාලපටබැඳි නාම යෝජනා භාරදීම සිදු කළේය.
දහවල් 12 දක්වා නාමයෝජනා භාරදීමට අවස්ථාව සළසා තිබූ අතර වෙනත් කිසිදු අපේක්ෂකයෙකු නාමයෝජනා භාරදීම සිදු නොවීම හේතුවෙන් නාම යෝජනා භාරදුන් දෙදෙනා නිතරඟයෙන් එම තනතුරු සඳහා පත්වීම සිදුවනු ඇත.
සභාපතිධූරයට සඳහා අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු ලෙස කටයුතු කළ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න ඉදිරිපත් වීමට නියමිත බව ඔහු විසින් පසුගිය වර්ෂයේ මුල් භාගයේ දී ප්‍රකාශයට පත් කර තිබූ අතර මීට මාසයකට පමණ පෙර තමන් එලෙස ඉදිරිපත් වීමෙන් වළකින බව ෆේස්බුක් හී සටහනක් තබමින් නිවේදනය කර තිබුණි.
කෙසේ වෙතත් වෙනත් අපේක්ෂකයෙකුට ඉදිරිපත් වීම සඳහා ප්‍රමාණවත් කාලයක් ඉතිරි වී නොතිබූ බැවින් වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් නොවූ බව නීතිඥවරුන් පවසනවා. ඒ අනුව, ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා, ජනාධිපති කාලිංග ඉන්දතිස්ස, ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ඇතුළු නීතිඥවරුන්ගේ ආරාධනයෙන් නිලවරණයට ඉදිරිපත් වූ නීතිඥ කෞෂල්‍ය නවරත්න එම ධූරය සඳහා නාමයෝජනා බාර දී ඇති අතර පෙබරවාරි මස දී ඔහු එම ධූරයේ රාජකාරි ආරම්භ කිරීමට නියමිතයි.
1997 වර්ෂයේ දී ශ්‍රේෂ්ඨාධීකරණයේ නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දුන් කෞෂල්‍ය නවරත්න මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලබා ඇති අතර පසුව ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වී තිබේ. ඔහු කොළඹ නීතිඥ සංගමයේ ද සභාපතිධූරයට ලබාගෙන ඇති අතර මීට පෙර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම්ධූරයේ ද කටයුතු කර තිබේ.
(රිවිර)