Connect with us

පුවත්

නුවරඑළිය ගොල්ෆ් පිටියේ වසර 100කට වඩා පැරණි ගස් 50ක් කපන්න තීරණයක්

Published

on

නුවරඑළිය ගොල්ෆ් ක්‍රිඩාංගණයේ ගස් කිහිපයක් විනාශ කිරීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් නුවරඑළිය ප්‍රාදේශීය ලේකම්වරයා විමර්ශනයක් ආරම්භ කර තිබේ.

නුවරඑළිය ප්‍රාදේශිය ලේකම් ප්‍රදිප් දලන්සුරිය මහතා සඳහන් කළේ නුවරඑලිය ගොල්ෆ් ක්‍රිඩාංගණ භුමියේ පිහිටා ඇති කිසිදු අවධානමක් නොමැති වටිනා ගස් පනහක් කපා දැමිමට හෝ විනාශ කිරීමට එහි පාලන අධිකාරිය විසින් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ආරම්භ කළ බවය.

අක්කර 300 ක පමණ වපසරියකින් යුත් ගෝල්ෆ් ක්‍රීඩාංගණයේ වසර 100 වඩා ඉපැරණි ගාන්ඩිස්, රෙඩ් ගාන්ඩිස්, සයිප්‍රස් ඇතුළු නුවරඑළියට පමණක් ආවේණික වු ගස් පනහක බඳෙහි පොතු ගලවා එහි කළු තෙල් ගල්වා ඇති බවත්, එමඟින් ගස් වියළී ගොස් විනාශ වන බවත් නුවරඑළිය ප්‍රදේශවාසීන් පවසයි.

ඔවුන් තවදුරටත් පවසන්නේ නුවරඑළිය ප්‍රදේශයේ මිට ප්‍රථම සංවර්ධන කටයුතු සිදු කිරීමේදී පරිසරය සුන්දර කිරීම සඳහා වගා කර ඇති ගස් කපා දැමීමට අනුමැතිය නොලැබෙන නිසා එම ගස් ඉතා සුක්ෂමව මෙවැනි ආකාරයට විනාශ කරන බවය.

නුවරඑළිය සෙන්පති මැදුර ඇතුළු ප්‍රධාන මාර්ගයට මායිම්ව පිහිටා ඇති ගස් පනහක් මෙසේ විනාශ කිරීමට එහි පාලන අධිකාරිය පියවර ගෙන තිබුණි.

එම ගස් කපා දැමීමට හෝ විනාශ කිරීමට අදාළ  රාජ්‍ය අයතන වෙතින් හෝ තමන්ගෙන් කිසිදු අවසරයක් ලබාගෙන නොමැති බවත්, මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති නිසා එම ගස් කපා දැමීමට පියවර නොගන්නා ලෙස නුවරඑළිය ගොල්ෆ් ක්‍රිඩා සමාජයේ පාලන අධිකාරියට දැනුම් දුන් බවත් ප්‍රාදේශීය ලේකම්වරයා කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් නුවරඑළිය මහ නගර සභාවේ හිටපු නගරාධිපති සහ නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩා සමාජයේ නිත්‍ය සමාජික මහින්ද දොඩම්පේගමගේ මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ නුවරඑළිය මහ නගර සභාවට සහ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම්වරයාට අයත් නගර මධ්‍යයේ පිහිටි අක්කර 300 ක පමණ වපසරියකින් යුත් මෙම ඉඩම නුවරඑලිය ගෝල්ෆ් ක්‍රීඩා සමාජයට 99 වසරක දීර්ඝ කාලීන බද්දකට නිදහස් කර ඇති බවය.

එම ඉඩම නුවරඑළිය සංචාරක කර්මාන්තයට වටිනා සන්ධිස්ථානයක් බවත්, එම ක්‍රිඩාංගණය දැනට කොළඹ ප්‍රදේශයේ පදිංචි ඉහළ පන්තියේ පිරිසකගේ විනෝදාස්වාදය සදහා පමණක් භාවිතා කරන බවත් ඒ මහතා කියා සිටියේය.

මහින්ද දොඩම්පේගමගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මෙම ඉඩමට හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතා වසරකට විදේශිකයන්  මිලියනයක් මෙරටට ගෙන්වා ගැනීමට ව්‍යාපෘතියක් ඉදිරිපත් කළද, එම ව්‍යාපෘතිය සදහා ගොල්ෆ් ක්‍රිඩාංගණයේ ඉඩමේ කොටසක් නිදහස් කිරිමට එවකට සිටි දේශපාලන අධිකාරියේ සහ බලධාරින් පියවර නොගත් බවය.

කලා

ටොරානා සරත්ට එරෙහි නඩුවෙන් ක්ලැරන්ස් ගේ බිරිඳ දිනුම්

Published

on

By

අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතඥ ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ බිරිඳ වන ශීලා විජේවර්ධන මහත්මියට පක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා අභියාචන නඩු තීන්දුවක් ලබාදී තිබේ. 

මෙම තීන්දුව ලබාදී ඇත්තේ ටොරානා මියුසික් හි සරත් කොතලාවල මහතාට එරෙහිවයි.

මෙම අභියාචන නඩුව විජේවර්ධන මහත්මිය විසින් ගොනු කර තිබුණේ මීට පෙර වාණිජ මහාධිකරණයෙන් ඇයට පක්ෂපාතීව ලබාදුන් නඩු තීන්දුවක් හා සම්බන්ධවයි.

වාණිජ මහාධිකරණය හමුවේ ගොනු කෙරුණු නඩුවේ වගඋත්තරකරුවන් ලෙස සරත් කොතලාවල සහ ගායක රජීව් සෙබස්තියන් නම් කර තිබුණි.

ක්ලැරන්ස් විජේවර්ධන මහතා විසින් රචිත ගීත කිහිපයක සංගීතය හා පද රචනා කිහිපයක ප්‍රකාශන අයිතිය, ඉහත වගඋත්තරකරුවන් විසින් එම ගීත ගායනා කිරීමෙන් හා එම ගීත ඇතුළත් සංයුක්ත තැටි නිෂ්පාදනය කිරීමෙන්, උල්ලංඝනය කර ඇති බව එම නඩුවේ දැක්වුණි.

කෙසේවෙතත්, මීට පෙර නඩුවේ දෙවැනි වගඋත්තරුකරු වන රජීව් සෙබස්තියන් විසින් ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් පිළිගනිමින් අභියාචක පාර්ශවය සමඟ එකඟතාවයකට පැමිණ ඇති අතර, එහිදී රු. 2,000,000.00 ක වන්දි මුදලක්ද ගෙවා තිබේ.

තවදුරටත් සහන ඉල්ලා සිටිමින් විජේවර්ධන මහත්මිය විසින් 2013දී අභියාචන නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුණි.

Continue Reading

පුවත්

ට්‍රම්ප්ගෙන් ලංකාවට සහනයක්, 44% තීරු බද්ද 30%ට බස්සයි

Published

on

By

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් ආනයන කරන භාණ්ඩ සඳහා 30%ක තීරු බද්දක් පනවා තිබේ.

ඊට අදාළ ලිපිය ජනාධිති අනුර කුමාර දිසානායක මහතාට ලැබී තිබේ.

මීට පෙර එම බද්ද 44%ක් ලෙස දක්වා තිබිණි.

ඒ අවස්ථාවේ, 7 වන ස්ථානයට වැඩි ම බදු ප්‍රමාණයක් පනවා තිබුණේ ශ්‍රී ලංකාවටය.

Continue Reading

පුවත්

ජෝන්ස්ටන්ගේ හෝටලයකට පහරදුන් කොළඹ හිටපු නාගරික මන්ත්‍රී ඇතුළු 10කට අත්හිටවූ සිර දඬුවම්

Published

on

By

2022 වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහර දීමෙන් අනතුරුව කොළඹ යූනියන් පෙදෙසේ පිහිටි හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සංචාරක හෝටලයකට පොලු මුගුරු රැගෙන කඩා වැදී එම ස්ථානයට අලාභ හානි කිරීම සහ නවතා තිබූ වාහන දෙකකට අලාභ හානි කිරීමේ චෝදනාවලට වරද පිළිගත් කොළඹ හිටපු නාගරික මන්ත්‍රී මොහොමඩ් අනාස් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට බරපතළ වැඩ සහිත වසර දෙක බැගින් වූ සිර දඬුවම් නියම කොට එය අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය අද(09) තීන්දු කළාය.

ඒ අනුව විත්තිකරුවන් නව දෙනෙකුට රුපියල් 65,000 බැගින් දඩ නියම කළ විනිසුරුවරිය අදාළ හෝටලයේ ලැප්ටොප් පරිගණකයක් පැහැරගැනීමේ සිද්ධියට සම්බන්ධ විත්තිකරුට රුපියල් 80,000ක දඩයක්ද නියම කළේය.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ තම සේවා දායකයින් මෙම චෝදනාවලට මුල් අවස්ථාවේදීම වරද පිළිගැනීමට සූදානම් බවත් සිදු වූ අලාභය වෙනුවෙන් රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවීමට සූදානම් බවත් ය.

මෙහිදී රජයේ නීතිඥවරිය සඳහන් කර සිටියේ විත්තිකරුවන්ගේ යෝජනාවට අගතියට පත් පාර්ශවය එකඟතාවයක් පළ කරන්නේ නම් මෙම නඩුව අවසන් කිරීම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවය.

මෙහිදී අගතියට පත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිරෝෂන් සිරිවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිද්ධිය වූ දින විත්තිකරුවන් තම සේවා දායකයාගේ හෝටලයට කඩා වැදී පෙට්‍රල් දමා එය ගිනි තැබීමට උත්සාහ කළ බවත් විදේශීය සංචාරකයින්ගේ මැදිහත්වීමෙන් එය වැළකුණු බවත් කියා සිටියේය.

තම සේවා දායිකාවගේ දියණිය කාමරයක් තුළ දමා ගිනි තැබීමට මොවුන් උත්සාහ කර ඇති බවත් ඔහු වහලෙන් බැස ඇයව බේරාගෙන ඇති බවත් සඳහන් කළ නීතිඥවරයා මෙම සිද්ධියෙන් ඔහුට රුපියල් මිලියන නවයක පමණ අලාභයක් සිදුවී ඇති බව පැවසුවේය.

විත්තිකරුවන් ගෙවීමට පොරොන්දු වූ වන්දිය භාර ගැනීමට තම සේවාදායකයා අකමැති බවත් ඔවුන් වරද පිළිගෙන ඇති නිසා ඔවුන්ගෙන් කිසිදු වන්දියක් සිය සේවා දායකයා අපේක්ෂා නොකරන බවත් නීතිඥවරයා සඳහන් කර සිටියේය.

මෙම විත්තිකරුවන්ට පෙර වැරදි නොමැති නිසා ඔවුන්ට ලිහිල් දඬුවමක් නියම කරන ලෙස ඔවුන්ගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම අවස්ථාවේදී මහාධිකරණ විනිසුරුවරිය සඳහන් කළේ මෙම නඩුවේ දහවන විත්තිකරුට පෙර වැරදි නොමැති බවට ඔහු තම නීතිඥවරයාට උපදෙස් ලබා දී තිබුණේ නම් එය අසත්‍යයක් බවය.

එම විත්තිකරුට තමන්ගේ පෙරවැරදි පිළිබඳ අමතක වීමක් තිබේ නම් ඔහුට මතක සිටින දඬුවමක් ලබාදීමට තම අධිකරණය සූදානම් බව සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරිය ඉන් අනතුරුව අදාළ විත්තිකරු තමන්ට පෙර වැරදි තිබෙන බව පිළිගත්තේය.

විත්තිකරු සිදු කර තිබෙන්නේ බරපතළ වරදක් බවත් ඔහුගේ නීතීඥවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බලා යළි සමාජගත විය හැකි දඬුවමක් ලබාදීමට කටයුතු කරන බවත් විනිසුරුවරිය සඳහන් කළාය.

ඒ අනුව එක් එක් විත්තිකරුට බරපතල වැඩ සහිත වසර දෙක බැගින් සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරිය එය වසර 10 සිට 15 දක්වා අත්හිටුවීමට නියම කරන බවත් සිය තීන්දුවේ සඳහන් කර සිටියාය.

මෙම නඩුවේ දඩ ගෙවා තිබෙන ආකාරය පරීක්ෂා කිරීම සඳහා යළිත් නඩුව අගෝස්තු මස 28 වන දින කැඳවීමටද විනිසුරුවරිය විසින් නියම කරනු ලැබීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved