Connect with us

පුවත්

නෙවිල් ප්‍රනාන්දු රෝහල නව්‍යකරණයට නව සැලැස්මක්

Published

on

ප්‍රධාන ධාරාවන් කිහිපයක් පිළිබදව අවධානය යොමු කර සුදුසුම සංවර්ධන සැළැස්ම ක්‍රියාත්මක කරමින් මාළඹේ වෛද්‍ය නෙවිල් ප්‍රනානදු රෝහල රටට අතිශය ඵලදායී රෝහලක් ලෙස කඩිනමින් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය.

අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේ පසුගියදා එම රෝහලේ සිදුකරන ලද විශේෂ නිරීක්ෂණ චාරිකාවකට හා සාකච්ඡාවකට එක්වෙමිනි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සිය ධූරයේ රාජකාරී ආරම්භ කිරීමෙන් පසු රජයේ රෝහලක සිදුකරන ලද පළමු නිරීක්ෂණ චාරිකාව ද මෙය විය.

මෙහිදී අමාත්‍යවරයා රෝහලේ සියලු අංශ නිරීක්ෂණයට ලක් කරමින් අදාල ඉදිරි සැළසුම් සකස් කිරීම සදහා අමාත්‍යංශයේ නිලධාරීන්, විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමුඛ රෝහල් කාර්ය මණ්ඩලය සමග දීර්ඝ සාකච්ඡාවක නිරත විය.

මේ වනවිට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් රෝහල ඉදිරියේදී පවත්වාගෙන යායුතු ආකාරය සහ සංවර්ධනය කළයුතු ආකාරය පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍යවරයා පත්කර තිබෙන විශේෂ කමිටුව එම රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව ව්‍යාපෘති යෝජනාවලිය සකස්කරමින් සිටින බව මෙහිදී අනාවරණය විය.
ඉදිරියේදී ශ්‍රී ලංකාව සෞඛ්‍ය කේන්ද්‍රකරගත් සංචාරක ව්‍යාපාර අංශයෙන් ද ප්‍රධාන කේන්ද්‍ර ස්ථානයක් බවට පත් කිරීම වත්මන් රජයේ ප්‍රධාන ඉලක්කය බව සඳහන් කළ අමාත්‍යවරයා ඒ යටතේ මෙම රෝහල දේශීය වෛද්‍ය ක්‍රමයද සම්බන්ධ කරගනිමින් සංවර්ධනය කිරීමේ හැකියාව පවතින බව පැවසීය. එමෙන්ම නෙවිල් ප්‍රනාන්දු රෝහල ස්ථාපිත කර ඇති භූමිය පිළිබඳව සලකා බලන විට සාර්ථක සංචාරක ව්‍යාපාර ආකෘතියකට ගැලපෙන පසුබිමක් පවතින නිසා එවැනි පියවරක් අනුගමනය කිරීමට පිහිටීමද වඩා යෝග්‍යවනු ඇතැයිද සඳහන් කළේය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය මගින් මාසිකව නෙවිල් ප්‍රනාන්දු රෝහලේ වැටුප් ගෙවීම සදහා දැනට රුපියල් මිලියන 40 මුදලක් වැයකරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා තව දුරටත් මෙම රෝහල රජයේ රෝහලක් ලෙස සම්ප්‍රදායිකව පවත්වාගෙන යාමට අරමුණක් නොමැති බවත්, ජාත්‍යන්තරව සහ මෙරට තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් හා නිපුණතාවන්ගෙන් පරිපුර්ණ රෝහල් කාර්ය මණ්ඩලයේ පුහුණුව මෙන්ම ගුණාත්මකභාවයද සැළකිල්ලට ගනිමින් අලුත් ආකෘතියක් යටතේ මෙම රෝහල නව්‍යකරණයකට ලක්කිරීමට සැලසුම් සකස් කරන බව ද අවධාරණය කළේය.

ඇඳන් 1002 ක ඉලක්කගත ධාරිතාවකින් සමන්විත වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල දැනටමත් ඇඳන් 800 ක පමණ ධාරිතාවකින් සමන්විත වන බවත්, මේ වන විට ද ඇඳන් 440 ක පමණ ප්‍රමාණයක් එදිනෙදා භාවිතයට යොදාගෙන ඇති බවත් මෙහි දී අනාවරණය විය. එමෙන්ම සාමාන්‍ය වාට්ටු, වෙන්කරන ලද ඇදන් සහිත වාට්ටු මෙන්ම සුභෝපභෝගී, අර්ධ සුභෝපභෝගී සහ සාමාන්‍ය තත්වයේ කාමර ආදී වශයෙන් කාමර 100 ක පමණ ප්‍රමාණයක් දැනටමත් ස්ථාපිත කර ඇත. මාළඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට අනුබද්ධව 2013 වර්ෂයේ දී මෙම රෝහල ආරම්භකර ඇති අතර 2017 වර්ෂයේ දී එය රජයට පවරා ගැනීමේ මුලික කටයුතු ආරම්භ වී ඇත.

මෙම නිරීක්ෂණ චාරිකාවට සහ අනතුරුව පැවති සාකච්ඡාව සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, මාළඹේ වෛද්‍ය නෙවිල් ප්‍රනානදු රෝහලේ වත්මන් සභාපති සුනිල් ගලගම, අධ්‍යක්ෂ වෛද්‍ය කමල් ජයසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චමින්ද අල්ගම යන මහත්වරුන් ඇතුළු අමාත්‍යංශ නිලධාරීන්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුලු කාර්යමණ්ඩලයේ පිරිසක් සහභාගි වූහ.

පුවත්

හඳුන්නෙත්ති චාමරගෙන් සපෝට් එකක් ඉල්ලයි (වීඩියෝ)

Published

on

By

අද (05) දිනයේදී පාර්ලිමේන්තුවේදී හඳුන්නෙත්ති අමාත්‍යවරයා සීනි සහ එතනෝල් පිලිබඳ ඇසු ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දීම සිදු කරන ලදී..

එහිදී ඔහු කියා සිටියේ සීනි මෙට්‍රික් ටොන් විසිතුන්දහස් අනුහයක් සහ එතනෝල් ලීටර් විසි තුන්ලක්ෂ පනස්දහසක් රජය සතු වන බවය.

එසේම සීනි නිෂ්පාදනය සඳහා ගත හැකි ක්‍රියාමාර්ග වශයෙන් ඔහු යෝජනා කරනු ලබන්නේ ඒකාබද්ධ වල පැළෑටි කළමනාකරණය, පලිබෝධ හා රෝග පාලනය , ඒකාබද්ධ පාංශුපෝෂක කළමනාකරණය , වඩාත් සුදුසු ප්‍රභේද තෝරා ගැනීම ආදිය යි.

අමාත්‍යවරයා මෙහිදී සඳහන් කරනු ලැබුවේ එතනෝල් සඳහා රජයේ අවම මිල වන්නේ රුපියල් 800 බවයි. මුදල් අමාත්‍යංශයේ ඇතැම් නිලධාරින් මත්පැන් නිෂ්පාදන සමාගම තුලින් මුදල් ලබා ගන්නා බවද, ඔවුන් පිලිබඳ හෙලිදරව් කරන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කලේය.

එසේම ඔහු සඳහන් කලේ තමන් සතුව ඇත්තේ ගොවියන්ට ගෙවන ප්‍රමාණ අඩු කිරීම හෝ එතනෝල් මිල වැඩි කිරීමේ තීරණය බවය.

එහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක  මහතා කියා සිටියේ පසුගිය ආණ්ඩු සමයේ එතනෝල් රුපියල 1200ට ලබා දුන් බවයි.  

වීඩියෝ  – Voice Tube

Continue Reading

පුවත්

සුමාත්‍රා දූපතට ගොඩබැස්වූ යානයේ මගීන් ගමනාන්තයට යොමු කිරීමට තවත් ගුවන් යානයක් (UPDATE)

Published

on

By

කාර්මික දෝෂයක් හේතුවෙන් ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ මේදාන් ගුවන්තොටුපොළට ගොඩබැස්වූ යානයේ සිටි මගීන් නැවත ගමනාන්ත සඳහා යොමුකිරීමට තවත් ගුවන් යානයක් කටුනායකින් පිටත්කර යවා තිබේ.

ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් හි ආයතනිත සන්නිවේදන කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසුවේ, UL 302 ගුවන් යානය අද (06) පස්වරු 1.45ට කටුනායක ගුවන් තොටුපළින් පිටත්ව ගිය බවය.

මෙම යානය සුමාත්‍රා දූපතේ මේදාන් ගුවන්තොටුපොළට ගොඩබස්වා එහි සිටින මගීන් සහ කාර්යමණ්ඩලය රැගෙන සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

කටුනායක සිට සිංගප්පූරුව දක්වා මගීන් 93 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 8 දෙනෙකු රැගත් ගුවන් යානයක් හදිසියේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ඊයේ අලුයම සුමාත්‍රා දූපතේ මේදාන් ගුවන්තොටුපොළට ගොඩබස්වා තිබුණි.


(පෙර පුවත 2025 ජූනි 06 ප.ව.12.01 )

ශ්‍රීලංකන් ගුවන් යානයක හදිසියේ කාර්මික දෝෂයකට ලක්වේ

කටුනායක සිට සිංගප්පූරුව බලා ඊයේ (05) සවස පිටත්වූ UL 306 දරන ශ්‍රීලංකන් ගුවන් යානය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ඉන්දුනීසියාවේ මෙඩාන් ගුවන්තොටුපොළ වෙත හදිසියේ ගොඩ බැස්සවීමට කටයුතු කර තිබුණි.  

එහිදී ඉන්දුනීසියානු තාක්ෂණික කණ්ඩායමක් මෙම ගුවන් යානය පරීක්ෂා කිරීමෙන් අනතුරුව අදාළ දෝෂය නිවැරදි කිරීම සඳහා කාලයක් ගතවෙන බවට දැනුම්දීමත් සමග ගුවන් මගීන් එතෙක් හෝටල් කාමර තුළ රැඳවීමට මෙරට ශ්‍රීලංකන් බලධාරීන් තීරණය කර තිබේ.

කෙසේවෙතත් ගුවන් මගීන් හෝටල් කාමර තුළ රැඳවීමට ඉන්දුනීසියානු බලධාරීන් අවස්ථාව ලබානොදීමත් සමග අර්බුදකාරී තත්ත්වයක් මතුවී තිබූ අතර පසුව එරට ශ්‍රී ලංකා තානාපතිවරයාගේ මැදිහත්වීමෙන් අදාළ ගැටලුව විසඳාගැනීමට කටයුතු කර තිබූ බවද වාර්තා විය.  

මේ අතර කාර්මික දෝෂයකට ලක්වූ ශ්‍රීලංකන් ගුවන්යානය පරීක්ෂා කිරීම සඳහා අද (06) අලුයම ජකර්තා බලා පිටත්ව ගිය ගුවන්යානයක මෙරට තාක්ෂණික කණ්ඩායමක් ඉන්දුනීසියාව බලා පිටත්ව ගොස් තිබුණි.

දෝෂයට ලක්වූ ගුවන්යානයේ මගීන් යළි ගෙන්වාගැනීම සඳහා අද දහවල් 1:45ට තවත් ගුවන්යානයක් පිටත්ව යෑමට නියමිතය.

Continue Reading

පුවත්

විදුලිබල පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 07ක්

Published

on

By

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලිබල පනත් කෙටුම් පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන මේ වන විට පෙත්සම් හතක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව, ශ්‍රී ලංකා හරිත සංවිධානය ඇතුළු පාර්ෂව හතක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත.

මෙම පෙත්සම් අද ඒ.එච්.එම්.ඩී. නවාස්, කුමුදුනි වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ, මෙම පෙත්සම් පිළිබඳ විභාගය ලබන11 වන දා ආරම්භ කරන බවය.

එදින මෙම පෙත්සම් ඒ.එච්.එම්.ඩී.නවාස්, අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතය.

මෙම පෙත්සම්වලින් සඳහන් කර තිබෙන්නේ, යෝජිත පනත් කෙටුම්පත තුළින් ලංකා විදුලි බල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමට යෝජනා කර ඇති බවය.

තවද සේවකයින්ට වන්දි ගෙවා ඔවුන්ගේ සේවය අවසන් කිරීම සම්බන්ධයෙන්ද පැහැදිලි විධානයක් මෙම පනත් කෙටුම්පතේ සඳහන් වී නොමැති බවත් පෙත්සම්වලින් චෝදනා කර තිබේ.

එමෙන්ම අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මඟින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දෙයි.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී ජනමත විචාරණයකින්  අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved