Connect with us

පුවත්

පන්දහස ගාණේ සිසුවියන් 2ක් ගත්ත 40ක් සොයා පරීක්ෂණ; 7ක් අල්ලයි

Published

on

පාසල් සිසුවියන් දෙදෙනකු රුපියල් පන්දාහ බැගින් මිලකර ගණිකා වෘත්තියේ යෙදවූ සංවිධානාත්මක ජාවාරමක සුලමුල සොයා මාතර ළමා හා කාන්තා කාර්යාංශය විමර්ශනයක් අරඹා ඇතැයි වාර්තා වේ.

මෙම දැරියන් දෙදෙනා මිලදීගෙන දූෂණය කළ බවට සැකකරන පුද්ගලයන් හත්දෙනකු පෙරේදා (08) වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතර ලැගුම්හල් දෙකක කළමනාකරුවන්, පාසල් සිසුවෙක්, ධීවරයෙක් හා එක් සිසුවියකගේ පෙම්වතාද සිටී.

මෙම විමර්ශනවලට අනුව හතළිස් දෙනකුගේ පමණ තොරතුරු හෙළිවී ඇති අතර තවත් 13 දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.

අවුරුදු දහසයේ දැරිය ගණිකා වෘත්තියට යොමු කර ව්‍යාපාරයක් සේ ඇයව විකිණීමට පටන් ගෙන ඇත්තේ ඇගේ පෙම්වතාය. 

ඉන්පසුව ඇය තමාගේ මිතුරියක වූ 15 හැවිරිදි දැරියක්ද මෙම ජාවාරමට යොමු කරගෙන විවිධ පුද්ගලයන්ට දුරකතනයෙන් විකුණා ඇතැයි හෙළි වී තිබේ. 

මෙහිදී රුපියල් පන්දහසට තම මිතුරිය විකුණා ඉන් රුපියල් තුන්දහසක් අවුරුදු 16යේ සිසුවිය තබාගෙන ඇතැයි මාතර ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මිය කළ විමර්ශනවලදී හෙළි වී ඇත.

මෙම දැරියන් විකිණීමට හවුල් වූ හා දූෂණය කළ පුද්ගලයන්ට මිනිස් වෙළෙඳාම යටතේ නඩු පැවරීමට ළමා හා කාන්තා කාර්යාංශය විමර්ශන අරඹා ඇතැයි ළමා හා කාන්තා කාර්යාංශ භාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය මාධ්‍යට පවසා ඇත.

මෙම සිසුවියන් දෙදෙනා අතරින් දාසය හැවිරිදි සිසුවිය මුහුණු පොත හරහා තරුණයකු හා ඇති කරගත් ප්‍රේම සබඳතාවක් මත මෙම ජාවාරමට එක් වී ඇත. 

ඇගේ පෙම්වතා තවත් අයෙක් හා එක්ව ඇයව වෙනත් පුද්ගලයන්ට අලෙවි කර ඇති බවටත් තොරතුරු ලැබී තිබේ. 

පසුව දාසය හැවිරිදි සිසුවිය විසින් පහළොස් හැවිරිදි සිසුවියව ගණිකා වෘත්තියේ යොදවාගෙන ඇත.

මෙම දැරියන් දෙදෙනා ඉඳහිට පාසල් ගියද දෙමාපියන් ඔවුන් ගැන සොයා බලා නැතැයි හෙළි වී තිබේ.

දෙමාපියන්ගේ අවධානය නැතිවීම නිසා දැරියන් විවිධ පුද්ගලයන්ට අලෙවි කොට ඇති බවද හෙළි වී ඇත.

එමෙන්ම මෙම දැරියන් පොලිස් භාරයට පත් වූ පසු 16 වියැති සිසුවියගේ දුරකතනයට ඇය හා සබඳතා පැවැත්වූ පුද්ගලයන්ගෙන් ඇමතුම් රැසක් ලැබී ඇති අතර එම දුරකතන අංක සහ එහි සටහන් වී ඇති දුරකතන අංක ඔස්සේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව පොලිසිය සඳහන් කරයි.

මූලාශ්‍රය – අරුණ

කලා

ටොරානා සරත්ට එරෙහි නඩුවෙන් ක්ලැරන්ස් ගේ බිරිඳ දිනුම්

Published

on

By

අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතඥ ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ බිරිඳ වන ශීලා විජේවර්ධන මහත්මියට පක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා අභියාචන නඩු තීන්දුවක් ලබාදී තිබේ. 

මෙම තීන්දුව ලබාදී ඇත්තේ ටොරානා මියුසික් හි සරත් කොතලාවල මහතාට එරෙහිවයි.

මෙම අභියාචන නඩුව විජේවර්ධන මහත්මිය විසින් ගොනු කර තිබුණේ මීට පෙර වාණිජ මහාධිකරණයෙන් ඇයට පක්ෂපාතීව ලබාදුන් නඩු තීන්දුවක් හා සම්බන්ධවයි.

වාණිජ මහාධිකරණය හමුවේ ගොනු කෙරුණු නඩුවේ වගඋත්තරකරුවන් ලෙස සරත් කොතලාවල සහ ගායක රජීව් සෙබස්තියන් නම් කර තිබුණි.

ක්ලැරන්ස් විජේවර්ධන මහතා විසින් රචිත ගීත කිහිපයක සංගීතය හා පද රචනා කිහිපයක ප්‍රකාශන අයිතිය, ඉහත වගඋත්තරකරුවන් විසින් එම ගීත ගායනා කිරීමෙන් හා එම ගීත ඇතුළත් සංයුක්ත තැටි නිෂ්පාදනය කිරීමෙන්, උල්ලංඝනය කර ඇති බව එම නඩුවේ දැක්වුණි.

කෙසේවෙතත්, මීට පෙර නඩුවේ දෙවැනි වගඋත්තරුකරු වන රජීව් සෙබස්තියන් විසින් ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් පිළිගනිමින් අභියාචක පාර්ශවය සමඟ එකඟතාවයකට පැමිණ ඇති අතර, එහිදී රු. 2,000,000.00 ක වන්දි මුදලක්ද ගෙවා තිබේ.

තවදුරටත් සහන ඉල්ලා සිටිමින් විජේවර්ධන මහත්මිය විසින් 2013දී අභියාචන නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුණි.

Continue Reading

පුවත්

ට්‍රම්ප්ගෙන් ලංකාවට සහනයක්, 44% තීරු බද්ද 30%ට බස්සයි

Published

on

By

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් ආනයන කරන භාණ්ඩ සඳහා 30%ක තීරු බද්දක් පනවා තිබේ.

ඊට අදාළ ලිපිය ජනාධිති අනුර කුමාර දිසානායක මහතාට ලැබී තිබේ.

මීට පෙර එම බද්ද 44%ක් ලෙස දක්වා තිබිණි.

ඒ අවස්ථාවේ, 7 වන ස්ථානයට වැඩි ම බදු ප්‍රමාණයක් පනවා තිබුණේ ශ්‍රී ලංකාවටය.

Continue Reading

පුවත්

ජෝන්ස්ටන්ගේ හෝටලයකට පහරදුන් කොළඹ හිටපු නාගරික මන්ත්‍රී ඇතුළු 10කට අත්හිටවූ සිර දඬුවම්

Published

on

By

2022 වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහර දීමෙන් අනතුරුව කොළඹ යූනියන් පෙදෙසේ පිහිටි හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සංචාරක හෝටලයකට පොලු මුගුරු රැගෙන කඩා වැදී එම ස්ථානයට අලාභ හානි කිරීම සහ නවතා තිබූ වාහන දෙකකට අලාභ හානි කිරීමේ චෝදනාවලට වරද පිළිගත් කොළඹ හිටපු නාගරික මන්ත්‍රී මොහොමඩ් අනාස් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට බරපතළ වැඩ සහිත වසර දෙක බැගින් වූ සිර දඬුවම් නියම කොට එය අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය අද(09) තීන්දු කළාය.

ඒ අනුව විත්තිකරුවන් නව දෙනෙකුට රුපියල් 65,000 බැගින් දඩ නියම කළ විනිසුරුවරිය අදාළ හෝටලයේ ලැප්ටොප් පරිගණකයක් පැහැරගැනීමේ සිද්ධියට සම්බන්ධ විත්තිකරුට රුපියල් 80,000ක දඩයක්ද නියම කළේය.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ තම සේවා දායකයින් මෙම චෝදනාවලට මුල් අවස්ථාවේදීම වරද පිළිගැනීමට සූදානම් බවත් සිදු වූ අලාභය වෙනුවෙන් රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවීමට සූදානම් බවත් ය.

මෙහිදී රජයේ නීතිඥවරිය සඳහන් කර සිටියේ විත්තිකරුවන්ගේ යෝජනාවට අගතියට පත් පාර්ශවය එකඟතාවයක් පළ කරන්නේ නම් මෙම නඩුව අවසන් කිරීම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවය.

මෙහිදී අගතියට පත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිරෝෂන් සිරිවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිද්ධිය වූ දින විත්තිකරුවන් තම සේවා දායකයාගේ හෝටලයට කඩා වැදී පෙට්‍රල් දමා එය ගිනි තැබීමට උත්සාහ කළ බවත් විදේශීය සංචාරකයින්ගේ මැදිහත්වීමෙන් එය වැළකුණු බවත් කියා සිටියේය.

තම සේවා දායිකාවගේ දියණිය කාමරයක් තුළ දමා ගිනි තැබීමට මොවුන් උත්සාහ කර ඇති බවත් ඔහු වහලෙන් බැස ඇයව බේරාගෙන ඇති බවත් සඳහන් කළ නීතිඥවරයා මෙම සිද්ධියෙන් ඔහුට රුපියල් මිලියන නවයක පමණ අලාභයක් සිදුවී ඇති බව පැවසුවේය.

විත්තිකරුවන් ගෙවීමට පොරොන්දු වූ වන්දිය භාර ගැනීමට තම සේවාදායකයා අකමැති බවත් ඔවුන් වරද පිළිගෙන ඇති නිසා ඔවුන්ගෙන් කිසිදු වන්දියක් සිය සේවා දායකයා අපේක්ෂා නොකරන බවත් නීතිඥවරයා සඳහන් කර සිටියේය.

මෙම විත්තිකරුවන්ට පෙර වැරදි නොමැති නිසා ඔවුන්ට ලිහිල් දඬුවමක් නියම කරන ලෙස ඔවුන්ගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම අවස්ථාවේදී මහාධිකරණ විනිසුරුවරිය සඳහන් කළේ මෙම නඩුවේ දහවන විත්තිකරුට පෙර වැරදි නොමැති බවට ඔහු තම නීතිඥවරයාට උපදෙස් ලබා දී තිබුණේ නම් එය අසත්‍යයක් බවය.

එම විත්තිකරුට තමන්ගේ පෙරවැරදි පිළිබඳ අමතක වීමක් තිබේ නම් ඔහුට මතක සිටින දඬුවමක් ලබාදීමට තම අධිකරණය සූදානම් බව සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරිය ඉන් අනතුරුව අදාළ විත්තිකරු තමන්ට පෙර වැරදි තිබෙන බව පිළිගත්තේය.

විත්තිකරු සිදු කර තිබෙන්නේ බරපතළ වරදක් බවත් ඔහුගේ නීතීඥවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බලා යළි සමාජගත විය හැකි දඬුවමක් ලබාදීමට කටයුතු කරන බවත් විනිසුරුවරිය සඳහන් කළාය.

ඒ අනුව එක් එක් විත්තිකරුට බරපතල වැඩ සහිත වසර දෙක බැගින් සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරිය එය වසර 10 සිට 15 දක්වා අත්හිටුවීමට නියම කරන බවත් සිය තීන්දුවේ සඳහන් කර සිටියාය.

මෙම නඩුවේ දඩ ගෙවා තිබෙන ආකාරය පරීක්ෂා කිරීම සඳහා යළිත් නඩුව අගෝස්තු මස 28 වන දින කැඳවීමටද විනිසුරුවරිය විසින් නියම කරනු ලැබීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved