Connect with us

පුවත්

පවිත්‍රාගේ දෙපිටකාට්ටු කතා අන්තර් ජාලය කළඹයි; කුසගින්න නිර්පාක්ෂිකයි – ජනපති

Published

on

කුමන පක්ෂයකට අයත් වුවද කුසගින්න නිර්පාක්ෂික බව  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි  “කාන්තා අපේ බලය” මැයෙන් කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ අද (9) පෙරවරුවේ පැවති කාන්තා සමුළුව අමතමිනි.

ජනතාවගේ ජීවන බර සැහැල්ලු කරමින් මතු පරපුර වෙනුවෙන් ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් ගොඩනැඟීමට සහාය වන ලෙස මෙරට සමස්ත කාන්තා පරපුරෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා කීය.

එදා ආහාර සපයාගත නොහැකිව එකවේලක් අතහැරීමට පුරුදුව සිටි  දරුවන් පාසලට යවා ගත නොහැකිව ලත වූ මව්වරුන් විඳී පීඩාව කිසිවකු අමතක නොකළ යුතු බව පැවසූ ජනාධිපතිවරයා අද දේශප්‍රේමය සහ ජනතාවගේ දුක පිළිබඳ වේදිකාවල කථා කරන නායකයන් එදා අභියෝගය හමුවේ පළා ගිය අන්දම මේ රටේ ජනතාවට අමතක නොවනු ඇති බව කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

මෙවර ජනාධිපතිවරණයට  නිර්පාක්ෂික අපේක්ෂකයෙක් ලෙස මම ඉදිරිපත් වන්නේ ඇයි කියා ඇතැම් අය මගෙන් ප්‍රශ්න කරනවා. කුසගින්න නිර්පාක්ෂිකයි. කුමන පක්ෂයකට අයත් වුවත් කුසගින්න දැනෙනවා. කුස පිරවීම නිර්පාක්ෂිකයි. ඒ නිසා අප දේශපාලන පක්ෂ පාට පසෙකට දමා රටේ ජනතාවගේ කුස පිරවීමට එක් විය යුතුයි. මේ රටේ ජනතාව විඳි දුක පිළිබඳ මට හොද අවබෝධයක් තිබෙනවා. විදුලිය නොමැතිව, ඉන්ධන හා ආහාර නොමැතිව දරුවන්ව පාසලට යවා ගත නොහැකිව එදා ඔබ සියලුදෙනා විශාල දුෂ්කරතාවයකට මුහුණ දුන්නා. නැවත අප මේ දුක විඳිය යුතුද, ඒ නිසා අප සියලුදෙනා එකට එක්ව මෙම තත්ත්වය වළක්වාගත යුතුයි. 

මම ජනාධිපති ධූරයට පත්වුයේ අනෙක් අය එම වගකීම බාර නොගෙන පැන ගිය නිසයි. මම ජනාධිපති ධූරය භාර ගැනිමෙන් පසු  “අප සියලුදෙනා එක්ව ජනතාව මෙම දුෂ්කරතාවන්ගේ මුදා ගැනීමට කටයුතු කරමු” කියා සජිත් ප්‍රේමදාස මහතාගෙන්  මෙන්ම අනුර දිසානායක මහතාගෙන් ද ඉල්ලීමක් කළා.නමුත් ඔවුන් එය ප්‍රතික්ෂේප කළා. ඔවුන් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන ඒමට අපට සහාය ලබා දුන්නේ නැහැ.

එහිදී කාන්තාවන් තුන්දෙනෙක් මට සහාය ලබා දුන්නා.  ඉන්දියාවේ මුදල් අමාත්‍යවරිය වන නිර්මලා සීතාරාම්, ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා  ජෝර්ජිවා එම කාන්තාවන් තිදෙනායි. දේශප්‍රේමය ගැන කථා කරමින්, ජනතාව විඳින දුක තමන් දන්නවා කියන අය එදා පැනලා ගියා. විදේශ රටවල සිටින කාන්තාවන් තිදෙනෙක් මට රට ඉදිරියට ගෙන යාමට උදව් කළා. මේ තිදෙනාගේ උපකාර නොලැබුණානම් අද අපට මෙම තත්ත්වයට පත්වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. 

මේ රටේ පොහොර නැති වූ අවස්ථාවේ ඇමරිකාවේ සමන්තා පවර් මහත්මිය අපට සහාය ලබා දුන්නා. ඒ පොහොර ලබාදීම නිසා අපට එම යල කන්නය සාර්ථක කරගෙන ආර්ථිකය ඉදිරියට ගෙන ඒමට හැකි වුණා. ඒ නිසා අප මේ කාන්තාවන්ට ස්තූතිවන්ත විය යුතුයි. 

ශ්‍රේෂ්ඨ දේශප්‍රේමි පළපුරුදු නායකයෝ යැයි කියාගන්නා කිසිවෙක් එදා මේ රටේ වගකීම භාරගත්තේ නැහැ. අප රටක් ලෙස ඉදිරියට පැමිණියේ ඉතා අසීරුවෙන්. අප තවත් ඉදිරියට යා යුතුයි. අප සියලුදෙනා විඳි දුක මා අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ.

මම එක් උදාහරණයක් පෙන්වා දෙන්නම්. 2021 වාණිජ බැංකුවල උකස් කළ රත්‍රන් භාණ්ඩවල වටිනාකම රුපියල් බිලියන 250යි. අද එය රුපියල් බිලියන 500 පසුකර තිබෙනවා. ඒ නිසා අප ඒ පිළිබඳ සහන ලබාදීමට කටයුතු කළා. ඇතැම් නිවාසවල වැඩිහිටියන් එක් ආහාර වේලක් අත හැරීමට පුරුදුව සිටියා. තවත් පිරිසක් දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දිය නොහැකිව දුක් වින්දා. 

මම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ඉල්ලා සිටි අවස්ථාවේ එහි කළමනාකරණ අධ්‍යක්ෂවරිය වන ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය  ලබා දුන් උපකාරය නිසා අද අපට මෙම සහන ලැබී තිබෙනවා. ජැනට් යෙලන් මහත්මිය සහ නිර්මලා සීතාරමන් මහත්මිය අපට ට සහය ලබා දුන් නිසා අද අපට ශක්තිමත්ව ඉදිරියට පැමිණීමට හැකියාව ලැබී තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මෙන්ම අපට ණය ලබාදෙන රටවල් ගණනාවක් සමඟ අප ගිවිසුම් අත්සන් තබා තිබෙනවා. එහිදී අප ඇතිකරගත් කොන්දේසි මම ආර්ථික පරිවර්තන නීතියට ඇතුළත් කර තිබෙනවා. මේ මාර්ගයේ ඉදිරියට යනවා නම් අපට රටක් ලෙස ගොඩඒමට හැකියාව තිබෙනවා.

නමුත් ඇතැම් අය කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම සංශෝධනය කරනවා කියලා. රටේ ප්‍රශ්න විසඳිය නොහැකි බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් පැන ගිය අය අද කාන්තාවන්ගේ සහයෙන් අපට ලැබුණු මෙම සහනය ඉවත් කරන බව ප්‍රකාශ කරනවා. 

අපි සියලුදෙනා මේ ගමන ආවේ ඉතා අසීරුවෙන්. ඒ නිසා මෙම සහනය නැති කර ගන්නවද, ආරක්ෂා කර ගන්නවාද කියා අප තීරණය කළ යුතුයි. එහිදී මුහුණු දෙස හෝ නම් දෙස නොව තමන්ගේ සහ දරුවන්ගේ අනාගතය පිළිබඳ සිතිය යුතුයි. එම තීරණය ඔබගත යුතුයි. 

මෙම අසීරු ගමනේදි වුවද මම මේ රටේ  කාන්තාවන් අමතක කළේ නැහැ. අස්වැසුම, උරුමය, අඩු ආදායම්ලාභී ජනතාව ජීවත් වන මහල් නිවාසවල අයිතිය ලබාදීම, කඳුකරයේ ගම්මාන ඇති කිරීමේ වැසටහන, පාසල් සිසුන්ට ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන වැනි වැඩසටහන්  ක්‍රියාත්මක කරමින් සහන ලබා දුන්නා. ඒ වගේම කාන්තාවන් බල ගැන්වීමට ද අප කටයුතු කර තිබෙනවා. 

ඒ වෙනුවෙන් අපි කාන්තාවන් බල ගැන්විමේ පනත සම්මත කර ගෙන තිබෙනවා. වසර 20-30ක් මේ රටේ සුළු ජාතින්ගේ අයිතීන් පිළිබඳ සටන් ක්‍රියාත්මක වුණා. අප දැන් සාකච්ඡා කරමින් ඒවා විසඳීමට කටයුතු කරමින් සිටිනවා. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතීන්ට සමාන අයිතිවාසිකම් හිමිවිය යුතුයි. සුළුතරයකගේ ප්‍රශ්න මෙලෙස විසඳමින් සිටියදී මෙරට බහුතරයක් වන කාන්තාවන්ටත්  සමාන අයිතිවාසිකම් ලබාදීමට අප කටයුතු කරනවා.

සිංහල, දෙමළ, මුස්ලිම් කුමන ජාතියකට අයත් වුවද සියලු කාන්තාවන්ට මෙම අයිතිවාසිකම් ලබාදීම වෙනුවෙන් අප මේ වන විට පළමු නීතිය ගෙනවිත් තිබෙනවා. ඒ වගේම කාන්තාවන්ට පිරිමින් හා සමාන අයිතිවාසිකම් ලබාදීම වෙනුවෙන් නීති ගෙන එනවා. ඒ වගේම මෙරට කාන්තා අයිතිවාසකම් දිනා දීම වෙනුවෙන් අප තවත් පියවර රැසක් ගෙන ඇති බව කිවයුතුයි. 

මේ පිළිබඳ දැනුවත් කිරීමට රටේ ප්‍රධාන කාන්තා සංවිධාන සහ ගම් මට්ටමේ තිබෙන කාන්තා සංවිධාන නියෝජිනය වන පරිදි විශාල කාන්ත සමුළුවක් ලබන වසරේදී කැඳවීමට අප බලාපොරොත්තු වෙනවා. 

අප සියලුදෙනාට  හොඳ රටක් අවශ්‍යයි. ඔබේ දූ දරුවන්ට මීට වඩා හොඳ රටක් අවශ්‍යයි. ඊට පෙර අපේ නිවාවල තිබෙන ජීවන බර ඉවත් කර ගනිමින් ඉදිරියට යාමට නිර්පාක්ෂිව එකතුවෙමු. රට දියුණු කරමු කියා මා ඉල්ලා සිටිනවා යැයි ජනාධිපතිවරයා පැවසීය.

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ   සහ වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ,පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන,ජාතික කාන්තා කමිටුවේ හිටපු සභාපති බියට්‍රිස් දිසානායක,එක්සත් ලක්වනිතා පෙරමුණේ සභාපති ශාන්තිනී කෝංගහගේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණේ පරිපාලන ලේකම්  කුමාරි පතිරගේකඳුරට තරුණ කාන්තා පෙරමුණේ සාමාජිකා කණිෂ්කා මයිකල් මහත්මීහු ද කතා කළහ.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල හිටපු ජනතා නියෝජිතවරියන් අැතුළු  පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පවිත්‍රාගේ දෙපිටකාට්ටු කතා…

මේ අතර, අද දින පැවැති කාන්තා සමුලුවේ රැස්වීමෙන් පසු ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මීට පෙර සිදු කළ කතාවක් හා අද සිදු කළ කතාව අලලා සැකසූ වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාලාවන්හි කළඹා තිබේ.

එම කතාව පහත දැක්වේ.

වීඩියෝව – දසත

පුවත්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රු. බිලියනයකට වඩා නාස්තියක් ගැන COPE හිදී අනාවරණය වේ

Published

on

By

2024 දී වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මේ නොමැති වැඩසටහන් දෙකක් කිසිදු සැලසුමකින් තොරව ක්‍රියාත්මක කිරීමට රු. බිලියනයකට වඩා වැඩි මුදලක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් වියදම් කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප් ) අනාවරණය විය.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය විසින් 2024 වසරේදී විගමනික සංගම් සාමාජිකයින් 5000කගේ සහභාගිත්වයෙන් පළාත් මට්ටමේ රැස්වීම 3ක් පැවැත්වීම සඳහා වූ විගමනික හරසර වැඩසටහන සඳහා රු මිලියන 63කට අධික මුදලක් හා විදේශ රැකියා අමාත්‍යාංශයට අනුබද්ධිත සියලුම ආයතන විසින් සපයනු ලබන සේවාවන්, සේවා ලාභීන් පදිංචි ස්ථානවලදීම ලබා ගත හැකිවන පරිදි දිවයින පුරා පැවැත්වූ Glocal Fair වැඩසටහන සඳහා රු මිලියන 1259 කට අධික මුදලක්ද වැයවූ බව කෝප් කමිටුවේදී අනාවරණය විය.

මේ පිළිබඳ කරුණු අනාවරණය වූයේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 2022, 2023 මූල්‍ය වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 23 වැනි දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී කරුණු දක්වමින් කාරක සභා සභාපතිවරයා Glocal Fair වැඩසටහන කැබිනට් අනුමැතිය ලැබීමට පෙර ආරම්භ කර ඇති බවත් අදාළ කැබිනට් පත්‍රිකාව එම වැඩසටහන ක්‍රියාත්මක වන අතරතුරු අමාත්‍ය මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කර ඇති බවත් පෙන්වා දුන්නේය. එමෙන්ම මෙවැනි වැඩසටහන් පැවැත්වීම සඳහා වාර්ෂිකව අයවැයෙන් රුපියල් මිලියන 2ක් පමණක් වෙන් කර ඇති බවත්, රු. මිලියන 1259 ක මුදලක් තරම් විශාල මුදලක් ඒ සඳහා වැයකර ඇති බවත් එවැනි මුදලක් වැයකිරීමේ අරමුණු ඉටුකර ගත හැකිවුයේද යන්න පිළිබඳවත් කාරක සභා සභාපතිවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියේය.

තවද මෙම Glocal Fair වැඩසටහන් මාලාව ආරම්භක අවස්ථාවේදී ,වෙළඳ කුටියක් රුපියල් එක්ලක්ෂ හැත්තෑ දහසක මුදලකට මිලදී ගත්තද පසුව වෙළඳ කුටියක් ලක්ෂ 5ක මුදලකට ලබාගැනීම සම්බන්ධයෙන්ද කාරක සභාව විමසා සිටියේය. කෙසේ වෙතත් ඵලදායී වැඩසටහන්වලට යෙදවීමට තිබු මුදල් අරමුණකින් තොරව නිසි ලෙස සැලසුම් නොකළ වැඩසටහන් වලට යෙදවීම තුළින් විශාල මුදල් ප්‍රමාණයක් නාස්ති වී ගොස් ඇති බව කාරක සභා සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එමෙන්ම 2013 වසරේදී ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය සමග ඒකාබද්ධව ක්‍රියාත්මක කළ “රටවිරුවෝ” නිවාස ණය වැඩසටහන, වසර 05කට අත්සන් කළ අවබෝධතා ගිවිසුම අනුව සිදු කර නොමැති බවත් ඒ හේතුවෙන් ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබිය යුතු රු මිලියන 100ක මුදල තවම ලැබී නොමැති බවත් කාරක සභාවේදී අනාවරණය විය. කෙසේ වෙතත් එම ලැබිය යුතු මුදල ලබා දීමට ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය මේ වනවිට එකඟ වී ඇති බව නිලධාරීහු කාරක සභාවට දැන්වුහ.

මෙහිදී කාරක සභාව විසින් මෙම නිවාස ණය ලබාදීමේ වැඩසටහන මගින් කොපමණ පිරිසකට අදාළ ණය පහසුකම ලබා දී තිබේද යන්න  ලධාරීන්ගෙන් විමසා සිටි අතර එවැනි දත්තයක් ඔවුන් සතුව නොපවතින බව ඔවුහු කාරක සභාවට දැන්වූහ. ඒ අනුව මෙම වැඩසටහන පිළිබඳව කිසිදු පසු විපරමක් සිදුව නොමැති බව පැවසු කාරක සභා සභාපතිවරයා මෙම රටවිරුවෝ නිවාස ණය වැඩසටහන පිළිබදව ආරම්භයේ සිට වර්තමානය දක්වා තොරතුරු ඇතුළත් සම්පුර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

කෙසේ වෙතත් මෙහිදී කරුණු දක්වමින් කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නියාමන කාර්යයෙන් බැහැර වී කටයුතු කර ඇති බව පෙන්වා දුන්හ.

වර්තමානය වනවිට බිලියන 18ක්ව පවතින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ස්ථාවර තැන්පතු වඩාත් ඵලදායී ලෙස යෙදවීමට සැළසුම් සකස් කිරීමේ දැඩි අවශ්‍යතාවයද කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.

තවද අක්‍රීයව පවතින, 2023 දෙසැම්බර් 31 වැනි දිනට බිලියන 5.1 ක ශේෂයක් පවතින කුවේට් වන්දි අරමුදල සඳහා ගනු ලබන ක්‍රියාමර්ග පිළිබඳවද කාරක සභාව නිලධාරීන්ගෙන් විමසීමක් කරන ලදී. ඒ අනුව එම මුදල භාවිතා කර ගෘහ සේවය සඳහා පිටත්වන ශ්‍රමිකයින්ට අවශ්‍ය පුහුණුවීම් ලබාදීමටත් ශ්‍රමිකයින් සඳහා විශ්‍රාම වැටුපක් ලබාදීමටත් සැළසුම් සකස් කර ඇති බව නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.

එමෙන්ම මෙහිදී රැකියා සඳහා යොමු වන ශ්‍රමිකයින් මාර්ගයෙන් අයතා ලෙස රැකියා ඒජන්සි සිදුකල මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරිණි. එහිදී රැකියාවක් සඳහා ඒජන්සියක් මාර්ගයකින් තොරව ස්වයං පිටත්ව යන සෑම ශ්‍රමිකයෙක්ම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වියයුතු බවත් ඒ සඳහා ලියාපදිංචි ගාස්තු කාර්යාංශයට ගෙවිය යුතු බවත්
කාරක සභාවේදී කරුණු පැහැදිලි විය.

එමෙන්ම ඒජන්සි මගින් ශ්‍රමිකයින් රැකියා සඳහා යොමු කිරීමේදී ද එම ශ්‍රමිකයින් සඳහා ලියාපදිංචි ගාස්තු කාර්යාංශයට ගෙවිය යුතු බවත් එම මුදලින් 70%ක් නැවත අදාළ ඒජන්සි සඳහා ගෙවන බවත් කාරක සභාවෙදී අවධාරණය කෙරිණි.

කෙසේ වෙතත් ස්වයං පිටත්ව යන ශ්‍රමිකයින්, ඒජන්සි මගින් පිටත්වන ශ්‍රමිකයින් ලෙස හුවා දක්වමින් වංචා සහගතව සිදු කර තිබෙන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් කරුණු සෙවීමට අනු කමිටුවක් පත්කිරීමට කාරක සභා සභාපතිවරයා තීරණය කළේය.

මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ අනුරාධ ජයරත්න,මුජිබුර් රහුමාන්, එම්.කේ.එම්. අස්ලම්, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, සමන්මලී ගුණසිංහ, මයිල්වාගනම් ජෙගදීස්වරන්, (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා , සුජීව දිසානායක, ජගත් මනුවර්ණ,රුවන් මාපලගම, සුනිල් රාජපක්‍ෂ ,ධර්මප්‍රිය විජේසිංහ, අසිත නිරෝෂණ එගොඩ විතාන (වෛද්‍ය)පත්මනාදන් සත්‍යලිංගම්ත, තිළිණ සමරකෝන්, චන්දිම හෙට්ටිආරච්චි, දිනේෂ් හේමන්ත , ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

Continue Reading

පුවත්

කෙහෙළියට සහ පුතාට ඇප (UPDATE)

Published

on

By

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.


(පෙර පුවත 2025 ජුනි 03 පෙ.ව.10.12 )

රඹුක්වැල්ල පිය පුතු දෙපොළ අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබේ.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා අමාත්‍ය ධුරයේ කටයුතු කරමින් සිටියදී නාමිකව පුද්ගලයින් පහළොස් දෙනෙකු තම කාර්ය මණ්ඩලයට ඇතුළත් කොට ඔවුන්ට හිමි වැටුප්, දීමනා සහ අතිකාල දීමනා ලබා ගැනීම තුළින් රජයට රුපියල් ලක්ෂ 80කට වැඩි පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබෙන නඩුකරය අද (03) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතය.

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු කටයුතු ඇරඹේ (සජීවී විකාශය)

Published

on

By

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (03) පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්විය.

ජූනි මස පළමු රැස්වීම් සතියේ පළමු රැස්වීම් දිනය අද යි.

පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබේ.

පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර,

පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහායි වෙන් කර ඇත.

 පෙ.ව 11.30 සිට ‍ප.ව 5.00 දක්වා පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.

අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා කාලය ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට වෙන් කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved