Connect with us

පුවත්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට කථානායක සහතිකය

Published

on

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (17) සිය සහතිකය සටහන් කළේය.

පනත් කෙටුම්පතට අදාළ දෙවනවර කියවීමේ විවාදය අද  ප.ව 2.00 සිට ප.ව 7.00 දක්වා පැවැත්වීමෙන් අනතුරුව සංශෝධන රහිතව විශේෂ බහුතර ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත විය. 

මෙම පනත් කෙටුම්පත 2025 ජනවාරි 9 වැනි දින පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 01 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන)  පනත ලෙස බලාත්මක වේ.

සබැඳි පුවත්:

පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත විශේෂ බහුතර ඡන්දයෙන් සම්මතයි

පුවත්

මිනීමරු සංස්කෘතියට විසඳුමක් නැද්ද?

Published

on

By

මෙරට ක්‍රියාත්මක වන ම්ලේච්ඡ මිනීමරු සංස්කෘතිය නැති කිරීමට නීතිය හා සාමය ක්ෂේත්‍රය තුළින් රජය කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ දිනවල සිදුවූ වෙඩි තැබීම් සම්බන්ධයෙන් අද (15) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කලේය.

අක්මීමන බූස්ස ඝාතනය, තල්දෙණ මීගහකිවුල ඝාතනය , අගුණකොළපැලැස්ස ඝාතනය, වැලිවේරිය වෙඩි තැබීම මුතූර් බල ප්‍රදේශයේ ජීවිත අහිමි වීම, ඊයේ දින අම්බලන්ගොඩ සිදුවු වෙඩි තැබීම කොළඹ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ සිදුවූ ද්විත්ව ඝාතනය පිළිබඳ මෙහිදී ඉස්මතු කළ සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ මෙරට මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් පවතින බවය.

“ඊයේ දවසෙත් මේ ප්‍රශ්නය මතු කළා. තවම පොලිස්පති හොයාගන්න බැහැ. උසාවියේ මිනී මැරුම සංවිධානය කළැයි කියන කාන්තාව හොයාගන්න බැහැ, මේ දිනපතාම ක්‍රියාත්මක වන මිනීමරු සංස්කෘතියට නැවතීමක්, විසඳුමක් නැද්ද, මේ තත්වය තුළ රටේ ජනතාව දැඩි අනාරක්ෂිත තත්වයකට පත්ව තිබෙනවා”

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ අවධානය යොමු විය යුතු බවත් ඊට එරෙහිව ගෙනෙන විසඳුම් ජනතාවට ඉදිරිපත් කළ යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් අවධාරණය කලේය.

Continue Reading

පුවත්

මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ පණිවිඩයක්

Published

on

By

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වෙනුවෙන් නාම යෝජනා භාරදීමට අපේක්ෂිත දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් සඳහා මැතිවරණ කොමිෂන් සභාව විශේෂ පණිවුඩයක් නිකුත් කර තිබේ.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා දැනුම් දෙන්නේ ඒ අනුව නිවැරදිව හා පැහැදිලිව සම්පූර්ණ කරන ලද නාම යෝජනා පත්‍රයේ එක් පිටපතක් පමණක් ඒ සඳහා අමුණා තිබිය යුතු සියලු ඇමුණුම් සහිතව නියමිත කාලසීමාව තුළ අදාල දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරිවරයා වෙත භාරදෙන ලෙසය.

තරුණ අපේක්ෂකත්වය තහවුරු කිරීම සඳසා අතිරේක දිස්ත්‍රික්  රෙජිස්ට්‍රාර්වරයෙකු විසින් සහතික කරන ලද උප්පැන්න සහතිකයේ පිටපතක් ඉදිරිපත් කළ යුතු අතර එසේ නොමැති විටක සාමදාන විනිශ්චයකාරවරයකු හෝ දිවුරුම් කොමසාරිස්වරයෙකු විසින් සහතික කල වයස සනාථ කෙරෙන දිවුරුම් ප්‍රකාශයක් නාම යෝජනා පත්‍රයට අමුණා තිබිය යුතු බවට දැනුම් දෙයි.

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාම යෝජනා භාරගැනීම ලබන සඳුදා ආරම්භ වේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ඡන්ද අපේක්ෂකයින්ට දැනුම් දෙන්නේ ලබන සඳුදා දිනයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වන බැවින් විභාග අපේක්ෂකයින්ට බාධා වන ලෙස කටයුතු කිරීමෙන් වලකින ලෙසය.

Continue Reading

පුවත්

ඖෂධ මිල සූත්‍රය  ක්‍රියාත්මක කිරීම් කටයුතු කඩිනම් කරන්න – කෝප් කමිටුව

Published

on

By

ජාතික ඹෟෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය නිදහස් කිරීමේ සහතික (WOR) විධිමත් කමිටු අනුමතියකින් තොරව වේගවත් යාන්ත්‍රණයක් ඔස්සේ විශේෂ ක්‍රමවේදයකට නිකුත් කර ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය විය.

මේ පිලිබඳ අනාවරණය වූයේ ජාතික ඹෟෂධ නියාමන අධිකාරියේ 2022, 2023 සහ 2024 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (12) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී හදිසි ඹෟෂධ මිලදීගැනීම සම්බන්ධයෙන් ජාතික ඹෟෂධ නියාමන අධිකාරියේ මැදිහත්වීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. මේ අනුව ලියාපදිංචිය නිදහස් කිරීමේ සහතික (WOR) විධිමත් කමිටු අනුමතියකට යටත් කිරීමේ ක්‍රමවේදයෙන් බැහැරව වේගවත් යාන්ත්‍රණ‍යක් (Fast Track) ඔස්සේ විශේෂ ක්‍රමවේදයකට (Special pathway) නිකුත් කර ඇති බවත් මේ මගින් ප්‍රධාන විධායක නිලධාරියාගේ තනි කැමැත්තට ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපි නිකුත් කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය ඇති බවත් කෝප් කමිටුව පෙන්වා දෙන ලදි.

විශේෂයෙන්ම 2022 වර්ෂයේ සිටි ප්‍රධාන විධායක නිලධාරියා මෙම ක්‍රමවේදය වෙනුවෙන් මැදිහත්වී ඇත් බව මෙහිදී අනාවරණය වූ අතර එම කාල සීම‍ාව තුළ කොළඔ පිහිටි ප්‍රධාන හෝටලයක පැවත්වූ රාත්‍රී භෝජන සංග්‍රහයකදී ඖෂධ වර්ග විශාල ප්‍රමාණයක් සඳහා අනුමතිය ලබාගැනීමට සැලසුම්කොට තිබූ බවත් මෙහිදී අනාවරණය විය.නමුත් මේ සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කළ වෛද්‍යවරුන්ගේ විරෝධය පළ වී ඇති බවත් එබැවින් මේ සම්බන්ධයෙන් තවමත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කටයුත්තක් පවතින බවත් මෙහිදී අනාවරණය විය.

මේ පිළිබඳ දීර්ඝව සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඉදිරියේදී අදාළ කාලසීමාවේ ජාතික ඹෟෂධ නියාමනය අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය කෝප් කමිටුවට ගෙන්වීමට තීරණය කෙරුණි.

එසේම සුවඳ විලවුන් සහ ක්‍රීම් වර්ග භාවිතය නිසා ඇතිවන රෝගී තත්ත්වයන් පවතින බැවින් සුවඳ විලවුන් සහ ක්‍රීම් වර්ග නියාමනය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු විය යුතු බව කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු පෙන්වා දුන්හ. නමුත් කිසිඳු ආයතනයකට මේ සම්බන්ධයෙන් නියාමනය කිරීමේ නීතිමය බලතල නොමැති බව කමිටුවේදී අනාවරණය වූ අතර මේ සම්බන්ධයෙන් අවශ්‍ය නියාමන නීතිමය ප්‍රතිපාදන සකස්කොට තම ආයතනයට බලතල දෙන ලෙස නිලධාරීන් පෙන්වා දුන්නේය. මේ අනුව අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස කෝප් කමිටුව අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

තවද ඖෂධ මිල සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වූ අතර මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ මිල නියාමන අංශයක් 2022 වර්ෂය දක්වා නොපැවති බවත් 2022 වර්ෂයේදී එම අංශය ස්ථාපිත කිරීමෙන් පසුව කලාපීය වශයෙන් ඖෂධ මිල සංසන්දනය කරන බවයි. මෙහිදී කාරක සභාව පෙන්වා දුන්නේ ඖෂධ මිල සූත්‍රය සම්බන්ධයෙන් පවතින බාධාවන් ඉවත් කර හැකි ඉක්මනින් එය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසයි.

ඖෂධ ගෙන්වීමෙන් පසු ගෙන්වූ ඖෂධ පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් පැමිණි නිලධාරීන්ගෙන් කාරක සභාව විමසූ අතර මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම පරීක්ෂාකිරීම් සඳහා විද්‍යාගාර‍ පහසුකම් සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවයි. මෙහිදී අධිකාරිය සතුව පවතින මුදල් සංචිත ප්‍රමාණය කෝප් කමිටුව විමසූ අතර රුපියල් බිලියන 7ක සංචිත පවතින බව නිලධාරීහු පැවසූහ. එබැවින් අධිකාරියේ මුදල් සංචිත යොදාගෙන හෝ ඹෟෂධ ගෙන්වූ පසු පරීක්ෂා කිරීමට විද්‍යාගාර‍යක් සකස්කරන ලෙස කෝප් කමිටුව උපදෙස් ලබා දෙන ලදි.

එසේම කාර්යක්ෂමව කටයුතු කිරීමට අවශ්‍ය ඉඩ ප්‍රස්ථාව සකස්කරගැනීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතේ පවතින දුර්වලතා මගහරවාගැනීමට ඉක්මනින් කටයුතු කරන ලෙසත් කෝප් කමිටුව උපදෙස් ලබාදෙන ලදි.

මීට අමතරව ජාතික ඹෟෂධ නියාමන අධිකාරිය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට කෝප් අනු කමිටුවක් පත්කිරීමට කටයුතු කරන බවද මෙහිදී කෝප් කමිටුවේ සභාපතිවරයා පැවසූ අතර ඉදිරියේදී එම අනු කමිටුවේ සාමාජිකයින් නම්කර දැනුම්දෙන බව පැවසීය.

මෙම කාරක සභා රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.කේ.එම්. අස්ලම්,සමන්මලී ගුණසිංහ, කෝසල නුවන් ජයවීර, රුවන් මාපලගම, සුනිල් රාජපක්‍ෂ, ධර්මප්‍රිය විජේසිංහ, අසිත නිරෝෂණ එගොඩ විතාන, තිළිණ සමරකෝන් සහ චන්දිම හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved