Connect with us

පුවත්

ප්‍රංශ ජනපති එමානුවෙල් හා ජනපති හමුව (ඡායා)

Published

on

ප්‍රංශ ජනාධිපතිවරයෙක් මෙරට සංචාරයක නිරත වූ පළමු අවස්ථාව සනිටුහන් කරමින් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා සිය දකුණු පැසිෆික් කලාපයේ සංචාරයෙන් අනතුරුව ඊයේ (28) ශ්‍රී ලංකාවේ ඓතිහාසික සංචාරයක නිරත විය.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රංශ ජනාධිපතිවරයාව ඉතා සුහදශීලිව පිළිගත් අතර පැයකුත් විනාඩි පහළොවකට ආසන්න කාලක් නායක දෙපළ සුහද සහ සාර්ථක ද්විපාර්ශ්වික සාකච්ඡවක ද නිරත වූහ.

ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි.

ජාත්‍යන්තර සබඳතාවන්හිදී ප්‍රංශයේ මැදිහත්වීම අගය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂයෙන් දේශගුණික විපර්යාස අවම කිරීම, විදේශ ණය ප්‍රශස්තකරණය සහ ඉන්දු-පැසිෆික් කලාපයේ ගැටලු පිළිබඳ දක්වන සහයෝගය ද අගය කළේය.

මෑතකදී ප්‍රංශයේ පැවැත්වූ නව ගෝලීය මූල්‍ය සම්මුතියක් සඳහා වූ සමුළුව අතරතුරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාව පිළිබඳව ද ජනාධිපති මැක්‍රොන් මහතා මෙහිදී සිහිපත් කළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සඳහා සහය දැක්වීමට ප්‍රංශයේ කැපවීම එමානුවෙල් මැක්‍රොන් මහතා මෙහිදී යළිත් තහවුරු කළ අතර ශ්‍රී ලංකාවේ සිව්වන විශාලතම ණය හිමියා ලෙස ප්‍රංශය, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට සිය සහය ලබා දෙන බවටද ප්‍රතිඥා දුන්නේය.

දේශපාලන, ආර්ථික, සංචාරක, දේශගුණික විපර්යාස, තිරසාර සංවර්ධනය සහ සමුද්‍රීය ක්‍රියාකාරකම් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම පිළිබඳව නායකයින් දෙපළ මෙහිදී දීරඝ ලෙස සාකච්ඡා කළහ.

ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වනි සංවත්සරය නිමිති කොට ගෙන, දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා නිශ්චිත ක්ෂේත්‍ර කිහිපයක් ද මෙහිදී හඳුනා ගන්නා ලදී.

සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතතාව සඳහා අධ්‍යාපන ආයතනයක් පිහිටුවීම, සංවර්ධනය සඳහා වූ ප්‍රංශ නියෝජිතායතනයක් (AFD) ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීම, ඉහළ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික සංවාද ආරම්භ කිරීම, අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව සහ සාගරය ආශ්‍රිත මිනිස් ජාවාරමට මැඩ පැවැත්වීමේ උත්සාහයන් වැඩිදියුණු කිරීම යනාදිය මෙම සහයෝගීතා ක්ෂේත්‍රවලට ඇතුළත් විය.

මීට අමතරව, වත්මන් ගෝලීය සන්දර්භය තුළ කලාපීය සහ බහුපාර්ශ්වික උනන්දුවක් දක්වන මාතෘකා පිළිබඳව ද නායකයින් දෙදෙනා සිය අදහස් හුවමාරු කර ගත්හ.

ප්‍රංශය සාමාජිකත්වය දරණ ඉන්දීය සාගර කලාපීය සංගමයේ (IORA) ඉදිරි සභාපතිත්වය අතරතුර ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ප්‍රංශය දැඩි උනන්දුවෙන් පසුවන බවද ප්‍රංශ ජනාධිපතිවරයා පැවසීය.

ප්‍රංශය ක්‍රියාකාරීව සහභාගී වන ඉන්දීය සාගර කොමිසම කෙරෙහි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කැපවීම ද මෙහිදී ප්‍රකාශ කෙරිණි.

2023 ජුනි 22 සිට 23 දක්වා ජනාධිපති මැක්‍රොන් විසින් පැරිස් නුවරදී සංවිධානය කළ නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුව ඉතා කාලෝචිත බව ඊට සහභාගී වුවෙකු වශයෙන් අගය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

තිරසාර අනාගතයක් සඳහා වන ගෝලීය ප්‍රයත්නයන් සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරණය කරමින් පැරිස් න්‍යාය පත්‍රයට සම්බන්ධ වීමට ශ්‍රී ලංකාවේ එකඟතාව ද මෙහිදී ප්‍රකාශ කෙරිණි.

මෙම සාකච්ඡාවලින් අනතුරුව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්, “ශ්‍රී ලංකාව සහ ප්‍රංශය ඉන්දියන් සාගරයේ එකම අරමුණක් වන විවෘත, විස්තීර්ණ සහ සමෘද්ධිමත් ඉන්දු- පැසිෆික් කලාපයක් බෙදා ගන්නා රටවල් දෙකකි: කොළඹදී අපි එය තහවුරු කළා: අපගේ 75 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත්ව, අපගේ හවුල්කාරිත්වයට නව යුගයක් විවෘත කරන්නෙමු ” යනුවෙන් සඳහන් කර තිබුණි.

යුරෝපීය සහ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය කැතරින් කොලොන්නා, විදේශ කළාප පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෆිලිප් විජියර්, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ප්‍රංශ තානාපති ජොං- ෆ්‍රන්ස්වා පක්ටෙට් (Jean-Francoise Pactet), ප්‍රංශ ජනාධිපතිවරයාගේ උපදේශකවරුන් වන ෆේබියන් මැන්ඩන්, වලිඩ් ෆුක් සහ ජොසු සෙරෙස්, ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියානු දෙපාර්තමේන්තුවේ ප්‍රධානී බෙනොයිට් ගයිඩි, ප්‍රංශ ජනාධිපතිවරයාගේ මාධ්‍ය කොන්සියුලර් ජෝනාස් බයාර්ඩ්, විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයාගේ උපදේශක ෆ්ලොරියන් කාර්ඩිනොක්ස් යන මහත්ම මහත්මීන් ප්‍රංශ දූත පිරිසට ඇතුළත් වූහ.

පුවත්

හිටපු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ට ඇප

Published

on

By

ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ලෙස ලියාපදිංචි වී ඇති මෝටර් රථයක් සඳහා අංක තහඩුවක් නිකුත් කිරීම සඳහා අනුමැතිය දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු මෝටර් රථ කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු සැකකරුවන් හතර දෙනෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රත් අධිකරණය නියම කර තිබේ.

අල්ලස් කොමිසමේ සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

ඒ අනුව සැකකරුවන් තුන් දෙනෙකු රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් හා එක් සැකකරුවෙකු රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කල මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය හමුවට භාර දෙන ලෙසත් නියෝග කළාය.

ඉන් අනතුරුව නඩුව යළි නොවැම්බර් 14 යළි කැඳවීමටද මහෙස්ත්‍රාත්වරිය නියම කළාය.

Continue Reading

පුවත්

ගොවි විශ්‍රාම වැටුප ගැන නිවේදනයක්

Published

on

By

විශ්‍රාම වැටුප් අහිමිවී සිටින ගොවීන් සඳහා මේ මස සිට එම විශ්‍රාම වැටුප් ලබාදීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බව ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

සිය ගැටලුව සම්බන්ධයෙන් ගොවීන් රජය වෙත කළ ඉල්ලීම් සලකා බලා එම විශ්‍රාම වැටුප් ගෙවීමට පියවර ගෙන ඇති බව එම මණ්ඩලය සඳහන් කළේය.

2012 /2013 කාලය තුළ ගොවි විශ්‍රාම වැටුප් අරමුදලට සිදුවු බලපෑම හේතුවෙන් විශ්‍රාම වැටුප් ගෙවීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීම මත විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායක වී සිටින ගොවීන්ගේ පසුවාරික අයකිරීමේ ක්‍රියාවලිය අඩාල වී ඇති බව සඳහන්ය.

මෙම තත්ත්වය හේතුවෙන් එම යෝජනා ක්‍රමය යටතේ දායකත්වය ලබා සිටි ගොවීන්ට වාරික නිසි පරිදි ගෙවීමට නොහැකි වී තිබේ.

මේ හේතුවෙන් වයස අවුරුදු 60 සම්පුර්ණ වන අවස්ථාවේ දී නොකඩවා කන්න දෙකක් තුළ වාරික 5ක් නියමිත දිනට නොගෙවීම මත ගෙවිය යුතු සම්පුර්ණ වාරික මුදලින් සියයට 75කට නොඅඩු වාරික ප්‍රමාණයක් ගෙවා ඇති ගොවීන්ට වැටුප් හිමිකම් අහිමි වී තිබුණි.

කෙසේවෙතත් මෙම වාරික ගෙවීමට නොහැකි වීම ගොවීන්ගේ අතපසුවීමක් නොවන බව ගොවි ජන රක්ෂණ මණ්ඩලය පෙන්වා දුනි.

ඒ අනුව අදාළ ඉල්ලීම් සලකා බලා සියයට 75ට වැඩි වාරික මුදලක් ගොවි විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා ගෙවා ඇති ගොවීන් වෙනුවෙන් අදාළ වාරික මුදලට ගැලපෙන ප්‍රතිශතාත්මක මුදලක් විශ්‍රාම වැටුප ලෙස ලබා දීම සම්බන්ධයෙන් කෘෂි කර්ම අමාත්‍යවරයා දැනුවත් කර තිබේ.

ඒ අනුව ගොවි විශ්‍රාම වැටුප් උපදේශක කාරක සභාව වෙත යොමුකර එහි නිර්දේශ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මාසිකව ගොවි විශ්‍රාම වැටුප් ලබා ගැනීමේ අවස්ථාව මේ මස සිට ගොවීන්ට ලබාදීමට කටයුතු සංවිධානය කර ඇති බව ගොවි ජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේය.

Continue Reading

පුවත්

කරදියාන කසළ අංගනයේ ගින්නක්

Published

on

By

පිළියන්දල කරදියාන කසළ අංගනයේ ගින්නක් හටගෙන ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි.

ගින්න නිවීම සඳහා මොරටුව නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ජල බව්සර් හතරක්, ගිනි නිවීමේ රථ දෙකක් සහ ගිනිබටයන් 15කුත් කණ්ඩායමක් ඒ සඳහා යොමු කර ඇති බව එහි ස්ථාන භාර නිලධාරී දුල්සිරි කුමාර මහතා පැවසුවේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved