Connect with us

පුවත්

ප්‍රංශ ජනපති එමානුවෙල් හා ජනපති හමුව (ඡායා)

Published

on

ප්‍රංශ ජනාධිපතිවරයෙක් මෙරට සංචාරයක නිරත වූ පළමු අවස්ථාව සනිටුහන් කරමින් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා සිය දකුණු පැසිෆික් කලාපයේ සංචාරයෙන් අනතුරුව ඊයේ (28) ශ්‍රී ලංකාවේ ඓතිහාසික සංචාරයක නිරත විය.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රංශ ජනාධිපතිවරයාව ඉතා සුහදශීලිව පිළිගත් අතර පැයකුත් විනාඩි පහළොවකට ආසන්න කාලක් නායක දෙපළ සුහද සහ සාර්ථක ද්විපාර්ශ්වික සාකච්ඡවක ද නිරත වූහ.

ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි.

ජාත්‍යන්තර සබඳතාවන්හිදී ප්‍රංශයේ මැදිහත්වීම අගය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂයෙන් දේශගුණික විපර්යාස අවම කිරීම, විදේශ ණය ප්‍රශස්තකරණය සහ ඉන්දු-පැසිෆික් කලාපයේ ගැටලු පිළිබඳ දක්වන සහයෝගය ද අගය කළේය.

මෑතකදී ප්‍රංශයේ පැවැත්වූ නව ගෝලීය මූල්‍ය සම්මුතියක් සඳහා වූ සමුළුව අතරතුරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාව පිළිබඳව ද ජනාධිපති මැක්‍රොන් මහතා මෙහිදී සිහිපත් කළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සඳහා සහය දැක්වීමට ප්‍රංශයේ කැපවීම එමානුවෙල් මැක්‍රොන් මහතා මෙහිදී යළිත් තහවුරු කළ අතර ශ්‍රී ලංකාවේ සිව්වන විශාලතම ණය හිමියා ලෙස ප්‍රංශය, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට සිය සහය ලබා දෙන බවටද ප්‍රතිඥා දුන්නේය.

දේශපාලන, ආර්ථික, සංචාරක, දේශගුණික විපර්යාස, තිරසාර සංවර්ධනය සහ සමුද්‍රීය ක්‍රියාකාරකම් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම පිළිබඳව නායකයින් දෙපළ මෙහිදී දීරඝ ලෙස සාකච්ඡා කළහ.

ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වනි සංවත්සරය නිමිති කොට ගෙන, දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා නිශ්චිත ක්ෂේත්‍ර කිහිපයක් ද මෙහිදී හඳුනා ගන්නා ලදී.

සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතතාව සඳහා අධ්‍යාපන ආයතනයක් පිහිටුවීම, සංවර්ධනය සඳහා වූ ප්‍රංශ නියෝජිතායතනයක් (AFD) ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීම, ඉහළ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික සංවාද ආරම්භ කිරීම, අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව සහ සාගරය ආශ්‍රිත මිනිස් ජාවාරමට මැඩ පැවැත්වීමේ උත්සාහයන් වැඩිදියුණු කිරීම යනාදිය මෙම සහයෝගීතා ක්ෂේත්‍රවලට ඇතුළත් විය.

මීට අමතරව, වත්මන් ගෝලීය සන්දර්භය තුළ කලාපීය සහ බහුපාර්ශ්වික උනන්දුවක් දක්වන මාතෘකා පිළිබඳව ද නායකයින් දෙදෙනා සිය අදහස් හුවමාරු කර ගත්හ.

ප්‍රංශය සාමාජිකත්වය දරණ ඉන්දීය සාගර කලාපීය සංගමයේ (IORA) ඉදිරි සභාපතිත්වය අතරතුර ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ප්‍රංශය දැඩි උනන්දුවෙන් පසුවන බවද ප්‍රංශ ජනාධිපතිවරයා පැවසීය.

ප්‍රංශය ක්‍රියාකාරීව සහභාගී වන ඉන්දීය සාගර කොමිසම කෙරෙහි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කැපවීම ද මෙහිදී ප්‍රකාශ කෙරිණි.

2023 ජුනි 22 සිට 23 දක්වා ජනාධිපති මැක්‍රොන් විසින් පැරිස් නුවරදී සංවිධානය කළ නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුව ඉතා කාලෝචිත බව ඊට සහභාගී වුවෙකු වශයෙන් අගය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

තිරසාර අනාගතයක් සඳහා වන ගෝලීය ප්‍රයත්නයන් සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරණය කරමින් පැරිස් න්‍යාය පත්‍රයට සම්බන්ධ වීමට ශ්‍රී ලංකාවේ එකඟතාව ද මෙහිදී ප්‍රකාශ කෙරිණි.

මෙම සාකච්ඡාවලින් අනතුරුව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්, “ශ්‍රී ලංකාව සහ ප්‍රංශය ඉන්දියන් සාගරයේ එකම අරමුණක් වන විවෘත, විස්තීර්ණ සහ සමෘද්ධිමත් ඉන්දු- පැසිෆික් කලාපයක් බෙදා ගන්නා රටවල් දෙකකි: කොළඹදී අපි එය තහවුරු කළා: අපගේ 75 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත්ව, අපගේ හවුල්කාරිත්වයට නව යුගයක් විවෘත කරන්නෙමු ” යනුවෙන් සඳහන් කර තිබුණි.

යුරෝපීය සහ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය කැතරින් කොලොන්නා, විදේශ කළාප පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෆිලිප් විජියර්, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ප්‍රංශ තානාපති ජොං- ෆ්‍රන්ස්වා පක්ටෙට් (Jean-Francoise Pactet), ප්‍රංශ ජනාධිපතිවරයාගේ උපදේශකවරුන් වන ෆේබියන් මැන්ඩන්, වලිඩ් ෆුක් සහ ජොසු සෙරෙස්, ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියානු දෙපාර්තමේන්තුවේ ප්‍රධානී බෙනොයිට් ගයිඩි, ප්‍රංශ ජනාධිපතිවරයාගේ මාධ්‍ය කොන්සියුලර් ජෝනාස් බයාර්ඩ්, විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයාගේ උපදේශක ෆ්ලොරියන් කාර්ඩිනොක්ස් යන මහත්ම මහත්මීන් ප්‍රංශ දූත පිරිසට ඇතුළත් වූහ.

පුවත්

ජල සම්පාදනයේ කෙටි පණිවුඩ සේවය යථාතත්ත්වයට

Published

on

By

සිය කෙටි පණිවුඩ සේවාවට එල්ල වූ සයිබර් ප්‍රහාරයෙන් දත්තවලට කිසිදු හානියක් සිදුව නොමැති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එහි අතිරේක සාමාන්‍යාධිකාරී ප්‍රදීප් හේරත් මහතා සඳහන් කළේ, මේ වන විට සිය දත්ත පද්ධතියේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවය.

පසුගිය ඉරිදා පස්වරුවේ කිසියම් පුද්ගලයෙකු විසින් ජාතික ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළුවීමට උත්සහ දරා තිබේ.

එහිදී අදාළ පුද්ගලයා විසින් එම මණ්ඩලයේ කෙටි පණිවුඩ සේවාවට ඇතුළු වී පාරිභෝගිකයින් වෙත කෙටි පණිවුඩ යොමුකර ඇති බව වාර්තා වේ.

කෙටි පණිවුඩ 10,000ක් පමණ එලෙස අදාළ පුද්ගලයා විසින් පාරිභෝගිකයින්ගේ ජංගම දුරකථන වෙත යවා ඇති බව සඳහන්ය.

සිය දත්ත ලබා ගැනීම සඳහා යම්කිසි මුදලක් බැරකරන ලෙස එම කෙටි පණිවුඩය මඟින් පාරිභෝගිකයින් වෙත දැනුම් දී තිබේ.

කෙසේවෙතත් ක්ෂණිකව ක්‍රියාත්මක වූ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අදාළ කෙටි පණිවුඩ සේවාව යථා තත්ත්වයට පත්කර එම සියලු පාරිභෝගිකයින්ට ව්‍යාජ කෙටි පණිවුඩය පිළිබඳව දැනුම්දීමක් සිදුකර ඇති බව සඳහන්ය.

මේ අතර රාජ්‍ය ආයතනවල වෙබ් අඩවිවල ආරක්ෂාව සම්බන්ධයෙන් පැය 24 පුරා ක්‍රියාත්මක මෙහෙයුම් පද්ධතියක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා සඳහන් කළේ, වෙබ් අඩවිවල ආරක්ෂක පද්ධතියේ දුර්වලතා මෙම සයිබර් ප්‍රහාර එල්ල වීමට හේතු වී ඇති බවය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැති දිවයිනට

Published

on

By

ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ලස් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.

‍ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සමග 15 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක අමාත්‍යංශයට අයත් විශේෂ ගුවන් යානයකින් ඊයේ (02) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.

ඔවුන් පිළිගැනීම සඳහා මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

‍ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මෙම සංචාරය තුළ දී දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීම සහා ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳ අවධානය යොමුවනු ඇත.

ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව මෙම දුත පිරිස ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

අද කාලගුණය

Published

on

By

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (03) අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව පළාතෙත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය  දිස්ත්‍රික්ක යෙත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved