Connect with us

පුවත්

ප්‍රසන්න රණවීර අල්ලන්න විවෘත වරෙන්තු

Published

on

කිරිබත්ගොඩ නගරයේ ඉදිකිරීමට රජයට පවරා ගෙන තිබු ඉඩමකට කූට ලේඛන සකස් කිරීමේ නඩුවට අදාළව අධිකරණය දිගින් දිගටම මඟහරිමින් සැඟවී සිටින සැකකරුවන් වන හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර හා කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රි මිල්රෝයි පෙරේරා යන දෙදෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහර මහෙස්ත්‍රාත් කාංචනා ද සිල්වා ඊයේ (05) විවෘත වරෙන්තු නිකුත් කළාය.

තවද එම සැකකරුවන් දෙදෙනාගේ බැංකු ගිණුම්වල වාර්තා හා ලියාපදිංචි වාහනවල වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙසට අදාළ බැංකු ආයතනවලට හා මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාට ද මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

මහෙස්ත්‍රාත්වරිය එසේ විවෘත වරෙන්තු නිකුත් කොට අදාළ බැංකු ගිණුම් වාර්තා හා ලියාපදිංචි වාහනවල වාර්තා ලබා දෙන ලෙසට අදාළ බැංකු ආයතනවලට හා මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාට නියෝග කරනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ විමර්ශන නිලධාරින් විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.

තවද මේ සිද්ධියට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නවින් වීරකෝන්, හිටපු ඇමැති මර්වින් සිල්වා, කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති වෛද්‍ය ජයන්ත සිංහබාහු කබ්රාල් හා හිටපු ඇමැති මර්වින් සිල්වාගේ එවකට පාර්ලිමේන්තු කටයුතු හිටපු ලේකම් දොන් සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් යන හතර දෙනා තවදුරටත් මේ මස 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට ද මහෙස්ත්‍රාත්වරිය නියම කළාය.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක පී. විජේතුංග මහතා විසින් අධිකරණයට කරුණු දක්වමින් මෙසේ කීය.

“දැනට අධිකරණය මගහැර සිටින ප්‍රසන්න රණවීර හා මිල්රෝයි පෙරේරා යන දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබුණා. එම වරෙන්තු වාර්තා අනුව එම දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා ඔවුන් පදිංචි නිවෙස්වලට ගොස් සෝදිසියට ලක් කළා. නමුත් ඔවුන් ප්‍රදේශය හැර ගොස් සිටින බවට අපට අනාවරණය වුණා. ඔවුන්ගේ දුරකථන ද විසන්ධි කරලා. ප්‍රසන්න රණවීර අම්පාර දමන ප්‍රදේශයට නිතර යන බවට දැන ගැනීමට ලැබුණා. ඒ අනුව එහි ගොස් සෝදිසි කළා. නමුත් හමුවුණේ නැහැ. ඒ නිසා ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.”

එම සැකකරුවන්ට බැංකු ගිණුම් 30 ක් පමණ තිබෙනවා. එම බැංකු ගිණුම්වල හා බැංකු සේප්පු ඇත්නම් ඒවායේ තිබෙන මුදල් හා භාණ්ඩවල විස්තර ලබා ගැනීම සඳහා අදාළ බැංකු ආයතනවලට නියෝගයක් නිකුත් කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

තවද ඔවුන්ගේ නම්වලින් ලියාපදිංචි කර තිබෙන වාහන ගැන වාර්තාවක් ලබා දෙන ලෙසට මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙසට ද අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

මේ වාර්තා ලබා ගැනීමට අවශ්‍ය වී තිබෙන්නේ ඔවුන්ගේ දේපළ????”

දෙවන සැකකාර මර්වින් සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතීඥ මෛත්‍රී ගුණරත්න මහතා මෙසේ කීවේය.

“මේ නඩුවට විරුද්ධව සාක්කි නැහැ. ඒ නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සාක්කිකරුවන් දී තිබෙන සාක්කිවල සම්පීඩන වාර්තාවක් ලබා දෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටිනවා”  මහෙස්ත්‍රාත්වරිය – සාක්කිවල සම්පීඩන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කරනවා.

තෙවන හා හතරවන සැකකරුවන් වන වෛද්‍ය ජයන්ත සිංහබාහු කබ්රාල් හා දොන් සරත් කුමාර එදිරිසිංහ යන අය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතීඥ නෙවිල් අබේරත්න මහතා විසින් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මේ සැකකරුවන්ට ඇප ලබා ගැනීම සඳහා මහාධිකරණයට ඇප අයැදුම්පත් ඉදිරිපත් කර තිබෙන බවය.

හතරවන සැකකාර දොන් සරත් කුමාර එදිරිසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතීඥ දේශාල් පෝල් මහතා විසින් අධිකරණයට කරුණු දක්වමින් ඉල්ලා සිටියේ මේ සැකකරුට අයත් ව්‍යාපාරවල කටයුතු කර ගෙන යාම සඳහා එහි කළමනාකරුට බලය පැවරීමට අවසරය ලබා දෙන ලෙසට වන අතර ඊට මහෙස්ත්‍රාත්වරිය විසින් අවසරය ලබා දුන්නාය.

මහෙස්ත්‍රාත්වරිය – බන්ධනාගාර රෝභලේ වෛද්‍යවරයා විසින් දෙවන සැකකරුගේ (මර්වින් සිල්වා) රෝගී තත්ත්වය ගැන වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව ඔහුට විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බැවින් රාගම ශික්ෂණ රෝහලට ඔහු යොමු කර සායනයකට ඉදිරිපත් කර තිබෙනවා. එහිදී රෝග ලක්ෂණ කීපයක් හඳුනාගෙන තිබෙනවා. ඒවාට ප්‍රතිකාර ලබා දෙමින් සිටිනවා. බන්ධනාගාර රෝහලින් හා රාගම ශික්ෂණ රෝහලින් යම් වෛද්‍ය පරීක්ෂණයක් කරන්නට බැහැ කියලා දන්වලා නැහැ.

මෙහිදී දෙපාර්ශ්වයෙන්ම ඉදිරිපත් වු කරුණු කෙරෙහි අවධානය යොමු කළ මහෙස්ත්‍රාත්වරිය දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් හතර දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරමින් සැඟවී සිටින සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කෙරිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක පී. විජේතුංග හා පොලිස් සැරයන් ඩෙන්සිල් යන නිලධාරීහු පැමිණිල්ල මෙහෙයවු අතර සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන මෛත්‍රී ගුණරත්න, නෙවිල් අබේරත්න, නීතිඥවරුන් වන දේශාල් පෝල්, විරේන්දා කනංකෙගේ හා පියුමි උදාර යන මහත්ම මහත්මීහු ඇතුළු නීතීඥ පිරිසක් පෙනී සිටියහ.

මූලාශ්‍රය – අරුණ

පුවත්

ජ’පුර දොස්තර දියණිය අල්ලස් කොමිසමේ 2ක් බයකරලා පොලිසිය අල්ලන්න සොයයි

Published

on

By

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහේශී සූරසිංහ නැමැත්තියට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකට සහභාගි වී අධිකරණයෙන් පිටව යමින් සිටි අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරියට (නීති) එම ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය  මරණ තර්ජන කර ඇති බව කෙසෙල් වත්ත පොලිසිය පවසයි.

අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරිය සහ එම සභාවේ පොලිස් පරීක්ෂකවරයකු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරිය සහ තවත් දෙදෙනකුට එරෙහිව නඩුවට පෙනී සිටිමින් අධිකරණයෙන් පිටව යන අවස්ථාවේදී එම ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය ‘‘උඹල දෙන්නා මරනවා’‘ යනුවෙන් තර්ජන කර ඇති බව පොලිසිය කියයි.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කෙසෙල් වත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading

පුවත්

පර්පෙචුවල් ට්‍රෙෂරීස්හි ව්‍යාපාර කටයුතු තවත් මාස 6කට දික්කරයි!

Published

on

By

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමේ තීරණය තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කර ඇත්තේ සිදුකරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරගෙන යාමේ අරමුණින් මෙම තීරණය ගත් බවය.

ඒ අනුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රථමික අලෙවිකරුවෙකු වශයෙන් සිදුකරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අද (05) සිට  තවත් මාස 6කින් දිර්ඝ කිරීමට මහ බැංකුව තීරණය කර තිබේ.

Continue Reading

පුවත්

අර්ජුන සතු “කැප්ටන් කූල්” නම දෝනිට ලියා ගැනීමේ උත්සාහයක!

Published

on

By

1990 දශකයේ දී හිටපු ප්‍රකට ක්‍රීඩා විචාරකයකු වූ බ්‍රිතාන්‍ය ජාතික ටෝනි ග්‍රේග් විසින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග හැඳින්වීමට භාවිත කරන ලද “කැප්ටන් කූල්”‍ යන හැඳින්වීම වෙළෙඳ සන්නාමයක් ලෙස තමන් වෙනුවෙන් ලියාපදිංචි කිරීමට හිටපු ඉන්දීය ක්‍රිකට් නායකයකු වන මහේන්ද්‍ර සිං දෝනි විසින් ඉන්දියාවේ වෙළෙඳ ලකුණු පාලක ජනරාල් කාර්යාලය වෙත අයැදුම්පතක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

මේ බව බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය විශේෂ වාර්තාවක් මගින් ප්‍රකාශයට පත් කර ඇත. 

අර්ජුනට පසුව තමන්ද මෙම නාමයෙන් හැඳින්වීම නිසා ඔහු මේ ඉල්ලීම කර ඇතැයි පැවසේ.

2025 ජූනි මස 16 වැනි දින දෝනි විසින් කරන ලද මේ ඉල්ලීම ඉන්දියාවේ වාණිජ සහ කර්මාන්ත අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය. 

මෙකී සන්නාමය යටතේ ක්‍රීඩා පුහුණු පහසුකම් සැපයීමට අදාළ සේවා සැපයුම අපේක්ෂා කරන බව දෝනිගේ අයැදුම්පත්‍රයේ‍ සඳහන්ය. 

එහෙත් මේ සම්බන්ධයෙන් දින එකසිය විස්සක් තුළ විරෝධතා ඉදිරිපත් කළ හැකි බව ද එම අමාත්‍යංශය කියයි.

මේ පිළිබඳව බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය සමඟ සාකච්ඡා කළ ක්‍රිකට් විචාරකයන් කිහිප දෙනකු ප්‍රකාශ කර ඇත්තේ අර්ජුන රණතුංගට අයත් වෙළෙඳ සන්නාමය ලබා ගැනීමට ඉන්දියාවේ හිටපු ක්‍රිකට් නායකයා විසින් කරන ලද ඉල්ලීම පිළිගත නොහැකි බවයි. 

එය වරදක් බවත් ඔවුන් සඳහන් කර ඇත. 

ඇතැමකු සඳහන් කර තිබුණේ අර්ජුන රණතුංගට මෙම හැඳින්වීම ලබා දී තිබුණද ඔහු ඊට අයිතිවාසිකම් කීමට ඉදිරිපත් නොවීම නිසා මෙම තත්ත්වය උද්ගත වූ බවය.

දැනට 44 වැනි වියේ පසුවන මහේන්ද්‍ර සිං දෝණිට පසුගිය දා ජාත්‍යන්ත ක්‍රිකට් කවුන්සිලය “හෝල් ඔෆ් ෆේම්ස්”‍ යන ගෞරව නාමය ද පුද කරනු ලැබූ බව මේ සම්බන්ධයෙන් පළ කළ බ්‍රිතාන්‍ය ගුවන්විදුලි වාර්තාවේ දැක්වෙයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved