Connect with us

පුවත්

පාසල් සිසුන් විවිධ කණ්ඩායම්වල ප්‍රාණ ඇපකරුවන් කරන්න ඉඩ තියන්නෑ – ජනපති

Published

on

මෙරට පාසල් සිසු දරුවන් විවිධ කණ්ඩායම්වල ප්‍රාණ ඇපකරුවන් බවට පත් කර ගැනීමට කිසි සේත් ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

පාසල් ක්ෂේත්‍රයේ ගැටලු සාකච්ඡා මාර්ගයෙන් කඩිනමින්  නිරාකරණය කර ගැනීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්, එසේ නොවුන හොත් පාසල් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවට කෙටුම් පතක් ඉදිරිපත් කිරීමට සිදුවනු ඇති බවත්  ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසුවේ අද (23) පෙරවරුවේ කොළඹ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ පැවති පිරිවෙන් හා පාසල් සිසු දරුවන්ට නොමිළයේ පෙළ පොත් හා නිල ඇඳුම් රෙදි බෙදා දීමේ ජාතික උත්සවය අමතමිනි. 

අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කළ මෙම උත්සවයේදී ජනාධිපතිවරයා විසින් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ, සිල් මාතාවන් සහ සිසු දරුවන් 40 දෙනෙකු සඳහා සංකේතවත්ව පෙළ පොත් හා නිල ඇඳුම් රෙදි ප්‍රදානය කිරීම සිදු කරන ලදී. 

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්, වැඩ බලන අධ්‍යාපන ලේකම් හේමන්ත ප්‍රේමතිලක සහ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ විදුහල්පති තුෂාරි ද සිල්වා යන මහත්ම මහත්මීන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගන්වනු ලැබීය. 

2023 වසරට අදාළ පාසැල් නිල ඇඳුම්වලින් 70%ක ප්‍රමාණයක් චීන රජයේ ප්‍රදානයක් ලෙස ලැබී ඇති අතර ඒ සියල්ල මේ වන විට දිවයින් පුරා බෙදා දී අවසන්ය. දේශීය ව්‍යාපාරිකයන් විසින් ඉතිරි නිල ඇඳුම් සපයනු ලබයි. 

ඉන්දියානු ණය ආධාර යටතේ අමුද්‍රව්‍ය ලබා ගනිමින් රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව හා දේශීය සැපයුම්කරුවන් මඟින් මුද්‍රණය කරන ලද පාසල් පෙළ පොත් දීප ව්‍යාප්තව බෙදා හැරීමේ කටයුතු මීට පෙර ආරම්භ කර තිබූ අතර එය නිල වශයෙන් බෙදා දීම ද මෙහිදී සිදු කෙරිණ. 

රජයේ පාසල්වල සහ රජයේ ආධාර ලබන පාසල්වල සිසු සිසුවියන් සහ පිරිවෙන් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ සඳහා මෙම නිල ඇඳුම් සහ පෙළ පොත් ‍ප්‍රදානය කෙරේ. 

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත්, පිරිවෙන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර්, උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමනී ගුණවර්ධන, බස්නාහිර පළාත් ලේකම් ප්‍රදීප් යසරත්න, අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් හේමන්ත ප්‍රේමතිලක, අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් Z. තාජුඩීන් යන මහත්වරුන් සහ අධ්‍යාපන හා රේඛීය අමාත්‍යාංශවල නිලධාරීහු ද, දිවයිනේ පාසැල් රැසක විදුහල්පතිවරු සහ ගුරුවරුන් මෙම අවස්ථාවට සහභාගි වූහ.

පුවත්

ජනාධිපති කාර්යාලයේ  අධි සුඛෝපභෝගී වාහන  වෙන්දේසියේ  දෙවන අදියර ඇරඹේ

Published

on

By

ජනාධිපති කාර්යාලයේ  සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන්  ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇත.

විකිණීමට නියමිත වාහන 1991 සිට 2016 දක්වා වූ විවිධ වර්ෂවල නිෂ්පාදිත වාහන ඇතුළත්ය.

මෙම වාහන අතර බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථ 02ක්, ෆෝර්ඩ් එවරස්ට් ජීප් රථ 02ක්, හුන්ඩායි ටෙරකන් ජීප් රථ 01ක්, ලෑන්ඩ් රෝවර් ජීප් රථ 02ක්, මිට්සුබිෂි මොන්ටේරෝ රථ 01ක්, නිසාන් පෙට්‍රල් රථ 03ක්, නිසාන් වර්ගයේ මෝටර් කාර් 02ක්, පෝර්ෂ් (Porsche) කේයින් මෝටර් රථ 01ක්, ස්සෑන් යං රෙක්ස්ටන් වර්ගයේ ජීප් රථ 05ක්, ලෑන්ඩ් කෘසර් සහරා වර්ගයේ ජීප් රථ 01ක්, වී 08 රථ 06ක්, සහ මිට්සුබිෂි රෝසා වර්ගයේ වායු සමීකරණය කළ බස් රථ 01ක් වේ.

මීට අදාළ ටෙන්ඩර් පත්‍රිකා මැයි 14 වැනිදා දක්වා කාර්යාල දිනයන්හිදී පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා  ජනාධිපති කාර්යාලයේ, සෙමා ගොඩනැගිල්ලේ, 2වන මහලේ පිහිටි මූල්‍ය අංශයෙන් ලබා ගත හැකිය.

එමෙන්ම මැයි 14 වැනිදා දක්වා අංක 93, ජාවත්ත පාරේ පිහිටි සළුසල ආයතන පරිශ්‍රයේදී එම වාහන පරීක්ෂා කිරීමට ද අවස්ථා සලසා ඇත.

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන  වෙන්දේසියේ පළමු අදියර යටතේ
මීට පෙර සුඛෝපභෝගී වාහන 14ක්, භාවිතයෙන් ඉවත් කරන ලද වාහන 6ක් සහ වාහන අමතර කොටස් අලෙවි කිරීමට අදාළ වෙන්දේසියක් පවත්වනු ලැබීය.

රජයේ වියදම් කපා හැරීම සහ මූල්‍ය වගවීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් මෙම වාහන විකිණීමට තීරණය කර ඇති අතර, පෙර වෙන්දේසියේදී ඩිෆෙන්ඩර් ජීප් රථ 09ක් ඇතුළු විවිධ වර්ගයේ වාහන 15ක් විකුණා තිබේ.

මෙම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩල වෙත ලබා දී තිබූ වාහන නොවන අතර,  හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධූර කාලයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  41 (1) වගන්තිය යටතේ පත් කරන ලද උපදේශකවරුන් සහ කාර්ය මණ්ඩලය විසින් භාවිතා කළ වාහන වේ.

මේ පිළිබඳව නිකුත් කර ඇති දැන්වීම මේ සමඟ අමුණා ඇත.

Continue Reading

පුවත්

විශ්වවිද්‍යාල සඳහා Online ලියාපදිංචිය අද සිට

Published

on

By

පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත Online ක්‍රමයට විශ්වවිද්‍යාලවල ලියාපදිංචි කිරීම අද (09) සිට ආරම්භ වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

https://www.ugc.ac.lk/ යන වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ සඳහා පහසුකම් සලසා ගත හැකි බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.

එමෙන්ම ලබන 30වනදා මධ්‍යම රාත්‍රි 12.00 දක්වා ලියාපදිංචී වීම සිදු කිරීමට හැකියාව ඇත.

පසුගිය උසස් පෙළ විභාග ප්‍රතිඵල මත මෙවර විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමට අපේක්ෂිත පිරිස 43,300ක් බවයි වාර්තා වේ.

Continue Reading

පුවත්

පෙරට්ටුවේදී ඩෑන් ඝාතනයේ සැකකරුවන් හඳුනාගනී

Published

on

By

ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (09) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවති හඳුනා ගැනීමේ පෙරට්ටුවකදී සාක්ෂිකරුවන් විසින් හඳුනාගෙන තිබේ.

කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතාගේ නියෝගයකට අනුවය.

එහිදී සාක්ෂිකරුවන් තුන්දෙනෙකු විසින් මෙම සැකකරුවන් දෙදෙනා හඳුනාගත් බව අධිකරණයට දැනුම් දී ඇත.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විමර්ශනය වැරදි පාරක යන බව සඳහන් කර සිටියේය.

අත්අඩංගුවේ පසුවන සැකකරුවන් දෙදෙනාම මෙම සිද්ධියට කිසිසේත්ම සම්බන්ධ නොමැති බවත් නියම වෙඩික්කරුවන් නිදැල්ලේ සිටින බවත් ඔහු පැවසීය.

මෙම හඳුනා ගැනීමේ පෙරෙට්ටුව සඳහා ඉදිරිපත් කළ සාක්ෂිකරුවන් දෙදෙනෙකු දෙවන සැකකරුගේ ඥාතීන් බව සඳහන් කළ නීතිඥවරයා සැකකරුවෝ හොඳින් හඳුනන ඥාතීන් දෙදෙනෙකු ඔහු හඳුනා ගැනීම සඳහා පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම නීත්‍යානුකූල නොවන බවත් සඳහන් කරන ලදී.

සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව සහ CCTV දර්ශනවලින් අනාවරණය කරගත් තොරතුරු මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරියා අධිකරණය හමුව සඳහන් කලේය.

සිද්ධියට සම්බන්ධ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වන අතර අදාළ සැකකරුවන් ලබන 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද නියම විය.

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් ඉකුත් අප්‍රේල් (23) මියගියේය.

වැල්ලම්පිටිය පොලිස් වසමේ සාලමුල්ල ප්‍රදේශයේ මහල් නිවාසයක් තුළ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලීසිය විසින් පැවසීය.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඩෑන් ප්‍රියසාද් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී රාත්‍රියේදී ජීවිතක්ෂයට පත් විය.

පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් යොදා ගනමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved