Connect with us

පුවත්

පාස්ටර් ජෙරම්ට හා බිරියට අයත් ගිණුම්වල කෝටි 1,226ක් 

Published

on

ෆෙඩ්රික් ක්‍රිස්ටෝපර් ජෙරම් ප්‍රනාන්දු නොහොත් ෆාස්ටර් ජෙරම් යන අයට අයත් රජයේ සහ පුද්ගලික බැංකු 12ක ගිණුම්වලට රුපියල් කෝටි 1226ක් ලැබී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

මේ ගිණුම් ජෙරම්ගේ පුද්ගලික ගිණුම්, ඔහුට අයත් පුද්ගලික ව්‍යාපාරයේ ගිණුම්, ඔහුගේ යාඥා සිදු කරනු ලබන පල්ලියට අයත් ගිණුම් සහ ඔහුගේ බිරිඳ වන මෙලනි ඩයන් වැන්කියුලස්බර්ග්ට අයත් ඒවාය.

අන්තර්ජාලය ඔස්සේ අන්‍ය ආගමිකයන් හා ආගමික ඇදහිලි විවේචනය කරමින් ජාතීන් මෙන්ම ආගමිකයන් අතර සංහිඳියාව බිඳහෙළන දේශන පැවැත්වූ බව කියන ෆෙඩ්රික් ක්‍රිස්ටෝපර් ජෙරම් ප්‍රනාන්දු නොහොත් ෆාස්ටර් ජෙරම් පිළිබඳව පසුගිය 7 වැනිදා සිට 12 වැනිදා දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ සෝදිසි මෙහෙයුම්වලට අනුව ගොනු කර ඇති වාර්තාවේ මේ බව දක්වා තිබේ.

ෆාස්ටර් ජෙරොම් දේශන පවත්වා ඇති කටුනායක වේයන්ගොඩ පාරේ පිහිටි මිරකල් ඩෝම් ආයතනය ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 6100ක් වැය කරමින් පුද්ගලයන් 5000කට එකවර ආසන වෙන් කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ.

ඒ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් මත සිදු කළ සෝදිසි මෙහෙයුම සම්බන්ධයෙන් අධිකරණයට වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් ඔවුන් මේ බව කියා තිබේ.

මෙම මුදල් ලැබුණු ආකාරය සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශන සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඇත.

එමෙන්ම පසුගිය මාර්තු මාසයේ සිට මැයි මාසය දක්වා දේශන 10ක් මිරකල් ඩෝම් ආයතනයේ පවත්වා ඇති බවත්, එහි තිබී සංස්කරණය නොකළ සීඩී තැටි දෙකක් සිය භාරයට ගත් බවත් එම වාර්තාවේ සඳහන් වේ.

එහි සිටි එම ආයතනයේ මාධ්‍ය අංශ ප්‍රධානී සචින් ධනුෂ්ක පුංචිහේවා යන අයගේ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන අතර එම ආයතනයේ ස්ථාපිත කර ඇති සීසීටීවී දර්ශන එම අවස්ථාවේ නොමැති බවට අශෙල් මේනක ප්‍රනාන්දු යන අය සඳහන් කර තිබේ.

එම දර්ශන කඩිනමින් ලබා දෙන බවට ඔහුගේ ප්‍රකාශයේ සඳහන් කර ඇතත් ඒවා මේ දක්වා ලැබී නැති බවත් මෙම විමර්ශනයට අවශ්‍ය සාක්ෂි ඔවුන් චේතනාන්විතව වසන් කරන බැවින් හෙට (26) සචින් ධනුෂ්ක පුංචිහේවා යන අයට නොතිසියක් නිකුත් කරන ලෙස වැඩිදුර වාර්තාව ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීය.

එමෙන්ම පසුගිය 18 වනදා දේවගැති ජෙරොම් යන අයට අයත් බව කියන කිංග්ස් රිවිවල් චර්ච් ආයතනය අධිකරණයෙන් ලද සෝදිසි වරෙන්තුව මත සෝදිසි කළ බවත් එම ආයතනය 2001 වසරේ සිට භාෂා ත්‍රිත්වයෙන්ම දේශනා පවත්වා ඇති බවත් එහි ස්ථිර සාමාජිකයන් 1200ක් සිටින බවත් පොලිසිය ඉදිරිපත් කළ වැඩිදුර වාර්තාවේ දක්වා ඇත. 

එහි පවත්වනු ලබන දේශනා පටිගත කරනු නොලබන බවද එහි සිටි භාරකරු වන කේ. ආර්. ඒ. සී. කුලසේකර යන අය සඳහන් කර ඇත.

අධිකරණ නියෝග ප්‍රකාරව ලබා ගත් සෝදිසි වරෙන්තුවලට අනුව මෙනේරිගම ගල්කිස්ස ස්ථානයක්ද සෝදිසි කළ බවත් එමෙන්ම මෙම සැකකාර දේවගැතිවරයා සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් කල්මුණේ මරදගහමුල ජමියතුල් උලමා සංවිධානයේ සාමාජිකයන් විසින්ද ස්වේච්ඡාවෙන් පැමිණ ප්‍රකාශ ලබා දී ඇති අතර එහි සභාපතිවරයා වන පී.එම්.එස්.ඒ. අන්සර් මවුලානා යන අය මෙම දේවගැතිවරයා ඉස්ලාම් ආගම සහ එහි භක්තිකයන් සම්බන්ධයෙන් වෛරී ප්‍රකාශ සිදු කර ඇති බවට ප්‍රකාශයක් ලබා දී ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ වැඩිදුර වාර්තාවේ දක්වා ඇත.

මේ සම්බන්ධයෙන් එම දේවගැතිවරයාගේ සමාගමේ සංවිධායිකාවක වන රුවනි නිවන්තිකා, වවුනියාව උකුලංකුලම මහේන්ද්‍රරාජා මයුරදන්, කොළඹ 02 පදිංචි මොහොමඩ් අස්ලාම් ඔස්මන්, මොරටුව පදිංචි ගයත්‍රි සංජීව, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා, හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවල අධ්‍යක්ෂකවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොනු කළ වැඩිදුර වාර්තාවේ දක්වා ඇත.

මහේස්ත්‍රාත්වරයා මෙලෙස අවසර ලබා දුන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් ගොනු කරමින් සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.

ඔහුගේ සහ අනෙකුත් පිරිස්වලට අයත් බැංකු හරහා මුදල් කෝටි ගණනින් හුවමාරු වී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවලින් අනාවරණය වී ඇති අතර ඊට අදාළව සිදු කරනු ලබන වැඩිදුර විමර්ශන සඳහා මෙම නියෝග ඉල්ලා සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය මැයි 15 වැනිදා සැකකාර පූජකවරයා සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් විදේශ ගමන් තහනමක් ඉල්ලා සිටි අතර ඊට අවසර ලැබුණු අතර ඒ වනවිටත් ඊට පෙරදින (මැයි මස 14) සැකකාර පූජකවරයා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණි.

බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක පූජ්‍ය අගුළුගල්ලේ සිරිවිජයනන්ද හිමියන් පොලිස්පතිවරයාට සිදු කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරය විසින් විමර්ශන සිදු කරනු ලබයි.

පුවත්

දේශබන්දු පරීක්ෂණ කමිටුවේ දෙපාර්ශවයේම සාක්ෂි මෙහෙයවීම අවසන්

Published

on

By

පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව ඉදිරියේ වගඋත්තරකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පාර්ශ්වයේ සහ පැමිණිලි පාර්ශ්වයේ යන දෙපාර්ශ්වයේම සාක්ෂි මෙහෙයවීම ඊයේ (01) අවසන් විය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් පරීක්ෂණ කමිටුව අද රැස් වූ අතර මෙහිදී පැමිණිල්ලේ තවත් සාක්ෂිකරුවන් දෙදෙනෙකුගෙන් සාක්ෂි ලබා ගැනීම සිදු විය.

මෙම සාක්ෂිකරුවන් දෙදෙනා රාජකාරී කටයුත්තකට විදේශගතව සිටි අතර ඔවුන්ගේ සාක්ෂි ලබාදීම ජුනි 26න් පසුව සිදු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගී වූ අතිරේක සොලිස්ටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස්, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන මහත්වරුන් සහ වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයේ නීතීඥ ආර්.එස්. වීරවික්‍රම මහතා පෙර එකඟ වූ පරිදි, අද දින මෙම සාක්ෂිකරුවන් දෙදෙනාගේ ද සාක්ෂි ලබාගැනීමට තීරණය කෙරිණි.

ඒසේම දෙපාර්ශ්වයේම ලිඛිත දේශන 2025 ජූලි 8 වැනිදා ප.ව. 3.30ට පෙර පරීක්ෂණ කමිටුව වෙත භාරදීමට නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් සහ වගඋත්තරකාර පොලිස්පතිවරයා යන දෙපාර්ශ්වයම එකඟ වූහ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

මන්ත්‍රී අර්ච්චුනාට එරෙහි පෙත්සම විභාගයට අවසර

Published

on

By

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (02) අවසර දුන්නේය.

එහෙත් පෙත්සමෙන් ඉල්ලා තිබූ පරිදි අර්ච්චුනා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම හා ඡන්දය ප්‍රකාශ කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් මෙම අවස්ථාවේදී නිකුත් නොකරන බව විනිසුන් මඩුල්ල ප්‍රකාශ කර ඇත.

මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග නිකුත් කරන ලදී.

අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඕෂල හේරත් මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ආශෝක් බරන් මහතා අධිකරණය හමුවේ සඳහන් කර තිබුණේ, වගඋත්තරකාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට තේරී පත්වන අවස්ථාවේදී රජයේ වෛද්‍යවරයෙකු වශයෙන් සේවයකර වැඩ තහනමට ලක්ව සිටි බැවින් ඔහුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව පාර්ලිමේන්තුවට තේරි පත්වීමට සුදුසුකම් නොමැති බවය.

ඒ අනුව ඔහුට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම ඡන්දය ප්‍රකාශ කිරීමට නීතිමය හිමිකමක් නොමැති බවට නීතිඥවරයා තර්ක කර තිබුණි.

එහෙත් රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සේනානි දයාරත්න මහතා සඳහන් කර තිබුණේ, සිය සේවා දායකයාව පාර්ලිමේන්තුවට තේරී පත්වන අවස්ථාවේදී ඔහු වැටුප් රහිතව වැඩසටහනට ලක්ව සිටි එබැවින් එම අවස්ථාවේ ඔහු රජයේ සේවකයෙකු වශයෙන් සැලකිය නොහැකි බවය.

ඒ අනුව ඔහුට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නීතිමය බාධාවක් නොමැති බවට නීතිඥවරයා තර්ක කළේය.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල, මෙම විභාගයට ගැනීමට අවසර දුන්නේය.

ඉන් අනතුරුව පෙත්සම අගෝස්තු මස 1 වනදා කැඳවීමටද නියම විය.

Continue Reading

කැබිනට් තීරණ

ශ්‍රීලංකන් ගැන සොයන්න ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක්

Published

on

By

ශ්‍රීලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති වංචා, දූෂණ හා අක්‍රමිකතා සෙවීම සඳහා ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවත් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ එලෙස අනුමැතිය හිමි වී ඇත.

සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම මඟින් රටේ ආර්ථික අභිවෘද්ධිය සඳහා දායකත්වයක් සැපයුව ද එය පවත්වාගෙන යාම සඳහා රජයට අධික වැය බරක් දැරීමට සිදුව ඇති අතර, එම සමාගම වාර්ෂිකව ලබන අධික පාඩුව රටේ ආර්ථිකයට දරා ගැනීමට අපහසු වී ඇත.

මෙම සමාගම ආර්ථිකමය වශයෙන් වාසිදායක, කාර්යක්ෂම හා ඵලදායී රාජ්‍ය ආයතනයක් බවට පත් කර, නවීන තාක්ෂණය භාවිත කරමින් සාර්ථක ලෙස පවත්වාගෙන යාම මහජන අභිලාෂය වී තිබේ.

ඒ සඳහා, සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම වර්තමාන තත්ත්වයට පත් වීමට බලපෑ හේතු සම්බන්ධයෙන් පසුගිය කාලපරිච්ඡේදය තුළ සිදු වී ඇති ගනුදෙනු හා සිද්ධීන් පිළිබඳ විධිමත් අධ්‍යයනයක් හා ඇගයීමක් සිදුකළ යුතුය.

එසේම, ගුවන්තොටුපොළ මෙහෙයුම් සම්බන්ධයෙන් වගකීම් පැවරී ඇති සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමේ කටයුතු පිළිබඳව ද විමර්ශනය කිරීමේ අවශ්‍යතාව විවිධ පාර්ශ්වයන් ඔස්සේ රජයේ අවධානයට යොමු කර ඇත.

ඒ අනුව, 2010‑2025 කාලසීමාව තුළ ඉහත සඳහන් ආයතනවල සිදු වී ඇතැයි සැලකෙන වංචා, දූෂණ සහ අක්‍රමිකතා සොයා බලා නිර්දේශ සහිත සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා හිටපු විගණකාධිපති එච්.එම්.ගාමිණී විජේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved