පුවත්

පියුමිගේ “ලොලියා” ගැන ප්‍රශ්න කිරීමට අවසර

Published

on

නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ ‘ලොලියා’ ආයතනයේ සම සුදුකරන ආලේපන බෙදාහරින ලද කුරියර් සමාගමේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීමට අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (26) අවසර ලබා දෙන ලදී..

සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් සැකසහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපොළ හා වත්කම් උපයාගත් බව කියන නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි සම්බන්ධයෙන් වත්කම් පිළිබඳව සිදුකරන විශේෂ විමර්ශනයට අදාළව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයට එම අවසරය ලබාදීම සිදුවිය.

පියුමි හංසමාලිගේ ‘LOLLIA’ Skin Care (pvt) Ltd ආයතනය මගින් සිදුකරනු ලබන ව්‍යාපාර කටයුතු, ආදායම් බදු ගෙවීම්, ව්‍යාපාරයේ ගිණුම් සම්බන්ධයෙන් මෙන්ම, අදාළ ව්‍යාපාරය මගින් විදේශ ආනයන හා අපනයන සිදුකර ඇත්ද යන්න සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වන බවද පොලිසිය විසින් අධිකරණයට දැනුම් දෙන ලදී.

පට්ටියගේ පියුමි හංසමාලි ගෝමස් යන අය නිරූපිකායක් වශයෙන් පෙනී සිට ඉතා කෙටි කාලයක් තුළ රුපියල් කෝටි 8ක් වටිනා රෙන්ජ් රෝවර් මෝටර් රථයක් මිලදී ගැනීම, කොළඹ 7 පිහිටි අධි සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්යකින් රුපියල් මිලියන 148කට නිවසක් මිලදී ගැනීම ඇතුළු වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මේ වන විට විමර්ශන ආරම්භ කර ඇත.

පියුමි හංසමාලිගේ ලොලියා ආයතනයේ ආලේපන හා රූපලාවණ්‍ය උපකරණ බෙදාහරින ලද කුරියර් සමාගමේ අධ්‍යක්ෂවරයකුව ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා අතිරේක මහෙස්ත්‍රාත්වරයා ඊයේ නොතීසියක්ද නිකුත් කලේය.

Trending

Exit mobile version