පිරමීඩ ජාවාරම මෙහෙය වූ ආයතන හා පුද්ලයන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ දඬුවම් පැමිණවීමට පියවර ගනිමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
පිරමීඩ යනු කිසිසේත්ම ව්‍යාපාරයක් නොවන බවත්, එය අපරාධයක් වන බැවින් පිරමීඩ ජාවාරමේ යෙදුණු ආයතන සහ පුද්ගලයන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ දඬුවම් පැමිණවීමට පියවර ගනිමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය.
දෙහිඕවිට ප්‍රදේශයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
තවදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ මහ බැංකුව විසින් 1988 අංක 30 දරන බැංකු පනත අනුව මෙම ජාවාරම තහනම් කළ බැවින් ඉන් එහාට මේ සඳහා බලපාන්නේ අපරාධ නීතිය බවයි.
ඒ අනුව නීතිපතිවරයා දැනුවත් කර මේ සම්බන්ධයෙන් වන පැමිණිලි පොලිසියට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකර අපරාධ නීතිය යටතේ මෙම රැවටිලිකාර සමාගම්වලට සහ ඒවා මෙහෙය වූ පුද්ගලයන්ට විරුද්ධව නඩු පවරන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
සමාජයේ විශාල පිරිසක් මෙම ජාවාරම්කරුවන්ට හසුවී සිටින බවත්, මහ බැංකුව විසින් කෙතරම් ප්‍රකාශ කළත් තාවකාලිකව ලැබෙන ප්‍රතිලාභ ගැන පමණක් සිතා විශ්වාසවන්ත භාවය පිලිබඳ නොසලකා කටයුතු කිරීම නිසා මෙසේ විශාල පිරිසක් අපහසුතාවට පත්ව සිටින බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
LPL දිනූ මහනුවර පිලේ B – LOVEත් පිරමීඩකාරයෝ – විජේදාස
මේ අතර, එල්.පී.එල් තරගාවලිය බරපතල ගැටලු සහිත සූදු පොළක් වූ බවත්, එල්.පී.එල් ශූරතාවය දිනා ගත් බී ලව් කැන්ඩි කණ්ඩායමේ අනුග්‍රාහයකයා බී ලව් නැමැති ක්‍රිප්ට්සො කරන්සි ප්‍රවර්ධනය කරන ශ්‍රී ලංකාවේ නීති ප්‍රකාරව තහනම් සමාගමක් බවත් අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා පසුගිය 24 වැනිදා පාර්ලිමේන්තුවේ දී හෙළි කළේය.
අමාත්‍යවරයාගේත් අනුමැතිය රහිතව පැවැත්වූ මෙම තරගාවලියේ ප්‍රධාන භූමිකාවක් කළ සූදු ඔට්ටු වෙබ් අඩවි 15ක් පිළිබඳව ද අධිකරණ ඇමතිවරයා එහිදී හෙළි කළේ තරගයේ මාතෘකා අනුග්‍රහය දුන් SKYFAIR යනු නීති විරෝධී ඕට්ටු ඇල්ලීමේ අක්වෙරළ වෙබ් අඩවියක් බව ද අනාවරණය කරමිණි.
අධිකරණ ඇමතිවරයා මෙසේ ද පැවසුවේය.
“එල්.පී.එල්. තරගාවලියේ දී විශේෂයෙන්ම ක්‍රිප්ටො කරන්සි ක්‍රමය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වුණා.
ඒ තුළ T 20 ෆ්‍රැන්චයිස් පදනම් කරගත්ත ලීගයේ මාතෘකා අනුග්‍රහය දුන්නේ SKYFAIR කියන නීති විරෝධී ඕට්ටු ඇල්ලීමේ අක්වෙරළ වෙබ් අඩවියක්.
අපේ රටේ නීතිය අනුව ඒවා තහනම්. ඒ තහනම් දේවල් ප්‍රවර්ධනය සඳහා තමයි මෙවර මේ ක්‍රීඩාව පාවිච්චි කරලා තිබෙන්නේ.
අනුග්‍රාහකයින් රාශියක් නීති විරෝධී ඔට්ටු වෙබ් අඩවි පවත්වාගෙන යන ආයතන. එවැනි ආයතන 15ක් හඳුනාගෙන තිබෙනවා.
Skyfair.News, 1xBet 1XBook, Crickets In, Kheloyar News, Babu88, SAT sport, Wolf 777, Tiger ESCH, BA Fry Coin,, MTFE. තමයි ඒ අඩවි.
එතකොට බලන්න, මේ ආයතන සියල්ලම ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරවල යෙදිලා තියන ඒවා. නැතිනම් ක්‍රිප්ටො කරන්සි ගනුදෙනු සිදුකරන ඒවා.
ජයග්‍රහණය ලබපු කැන්ඩි කණ්ඩායමටත් අනුග්‍රහය දක්වලා තිබෙන්නේ “බී ලව්” කියන ක්‍රිප්ටො කරන්සි ආයතනනය. ඒක තහනම් කරපු ආයතනයක්.
මේ ක්‍රිකට් මණ්ඩලය කරපු ක්‍රියාදාමය නීතියෙන් පිට කරපු ක්‍රියා කටයුතු හරිද වැරදිද කියලා හොයන්න අමාත්‍යවරයාට වගකීමක් තියනවා. හොයාල වැඩක් නෑ… ඒවා නිවැරදි කිරීම සඳහා පියවර ගත යුතුව තිබෙනවා.
ඒක ව්‍යවස්ථාවෙන් පැවරිලා තියන වගකීමක්.
දූෂණ විරෝධී පනතේ 108 වැනි වගන්තිය අලුතින් හඳුන්වලා තියනවා. මේ ක්‍රීඩා සම්බන්ධව අල්ලස්, තුටු පඬුරු ලබා දීම, ඒවා භාර ගැනීම, අවුරුදු හතක සිර දඬුවමකට ලක් විය යුතු, මිලියනයකට නොවැඩි දඩයකට ලක් විය යුතු වරදක් විදිහට නීතිය ඔබතුමාලා සම්මත කරලා දුන්නා. ඒක 2023 අංක 09 දරන පනත.
ඒකේ 109 වගන්තියත් මේකට අදාලයි. ඒ වගන්තිය යටතේ ක්‍රිකට් මණ්ඩලය විතරක් නොවෙයි ඕනෑම තැනැත්තෙක් පහුගි කාල සීමාව තුළ උපයා ගත්ත ධනය උපයා ගත් ආකාරය පැහැදලි කළ යුතුයි.
ඒ පැහැදිලි කිරීම ඇමතිවරයා කර ගත යුතුයි. එහෙම පැැහදිලි කිරීමක් කරගන්න බැරිනම් කලින් කී දඬුවම්වලට යටත් විය යුතු වරදක්.
ඇමතිවරයාට බලය තියනවා. ඒ බලය පාවිච්චි කරන්න. මේ යොජනා කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරලා දෙන්න. සති දෙකක් ඇතුළත අපි පනත සම්පාදනය කරලා දෙනවා.”