Connect with us

පුවත්

පේරාදෙණිය සරසවියේ අක්‍රමිකතා රැසක් හෙළිවෙයි

Published

on

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ (08) දින රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කොප් කමිටුව) පේරාදෙණිය විශ්වවිද්‍යාලය කැඳවා තිබිණි.

මෙහිදී 2023 මාර්තු 22 වැනි දින පැවති කෝප් කමිටු රැස්වීමේදී ලබා දුන් පහත සදහන් නියෝග ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම මෙන්ම වත්මන් විගණන විමසුම් පිළිබදවද අවධානය යොමු විය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්.ඩී ළමාවංශ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට කැදවා තිබිණි.

ඉදිකිරීම්වල සිදුවි ඇති අක්‍රමිකතා, දුෂණ සහ වංචා සෙවීමට අමාත්‍යංශ ලේකම් වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් තෙමසක් ඇතුලත වර්ථාවක් කැඳවයි
විශ්ව විද්‍යාලය තුළ සිදුකරන ලද ඉදිකිරීම්වලදී අක්‍රමිකතා සිදුව ඇති බවට විගණන විමසුම් පවතින බැවින් එම වංචා දූෂණ සෙවීම සදහා අමාත්‍යංශ ලේකම් වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන ලෙස කෝප් සභාපතිවරයා නියෝග කළේය. එසේම තෙමසක් ඇතුලත ඒ සම්බන්ධ වාර්තාවක් කෝප් කමිටුවට ලබා දෙන ලෙසටත් උපදෙස් ලබාදීම සිදුවිය.

අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විධායක නිලධාරීන් විගණන සහ කළමනාකරණ කමිටු රැස්වීම සදහා සහභාගී වීම පැහැර හැරීම
විගණන සහ කළමනාකරණ කමිටුව වර්ජනය කළ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විධායක නිලධාරින්ගේ අදහස් විමසීමට කමිටුව විසින් අවස්ථාව ලබාදෙන ලදී. හිටපු කමිටු සභාපතිවරයෙකු විසින් අනධ්‍යයන කාර්ය මණ්ඩලයට අපහාසාත්මක අයුරින් සැලකීමේ තත්ත්වයක් මුල් කරගනිමින් මෙම රැස්වීම් වර්ජනය කර ඇති බව මෙහිදී අනාවරණය විය. කමිටු සාමාජික මන්ත්‍රීවරු පෙන්වා දුන්නේ මෙවැනි සිද්ධි කෝප් කමිටුවේ සාකච්ඡා කිරීමට තරම් නොවන බවත් විශ්ව විද්‍යාල පරිපාලනය විසින්ම ඍජු ක්‍රියාමාර්ග ගෙන විසදාගත යුතු බවයි. එසේම මෙය වැරදි පූර්වාදර්ශයක්ද වියහැකි බැවින් මේ වර්ජනය පිළිබදව ගන්නා ක්‍රියාමාර්ග වාර්තා කරන ලෙසත් දැනුම් දුන්නේය. එසේම ඉදිරියේදී භාණ්ඩාගාර නියෝජිතයෙකු පත්වීමට නියමිත බැවින් විගණන සහ කළමනාකරණ කමිටුවේ ප්‍රධානියා ලෙස ඔහුව පත්කිරීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් නියෝග කළේය.

ගිවිසුම් කඩකළ ආචාර්යවරුන් සම්බන්ධව පියවර ගැනීම
පේරාදෙණිය විශ්වවිද්‍යාල‍යට අදාළව උසස් අධ්‍යාපනය සදහා විදේශීය විශ්ව විද්‍යාලවලට යොමුව ගිවිසුම් කඩකළ විශ්විද්‍යාල ආචාර්යවරු 63 කගෙන් අයවිය යුතු රු. මිලියන 25 ක මුදලක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුවිය. මේ වන විට මෙම ආචාර්යවරු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නැති බවද හෙළිවිය. මෙම සිදුවීම් 2010 ට පෙර සිදුවූ බවත් මේ වන විට මෙවැනි අඩුපාඩු සිදුනොවන ලෙස ගිවිසුම් ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇති බවත් වි.වි. ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසීය. එසේම ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අදාළ ආචාර්යවරයෙක් කූඨ ලේඛන සකසා විදෙස්ගතව ගිවිසුම් කඩකර ඇති බවද මෙහිදී අනාවරණය විය. එසේම 2010න් පසුවද ගිවිසුම් කඩකළ වැඩිම ආචාර්යවරු පිරිසක් ඇත්තේද (122) පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ බව හෙළි විය. මේ සම්බන්ධයෙන් ගනු ලබන තීරණ සම්බන්ධයෙන් කමිටුවට වාර්තා කරන ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයාට නියෝග කෙරිණි.

අධ්‍යයන සහායක කාර්ය මණ්ඩලය ඇඟිලි සළකුණු යන්ත්‍රයේ පැමිණීම සටහන් නොකිරීම
අධ්‍යයන සහායක කාර්ය මණ්ඩලයේ ඇතැම් පිරිස් ඇඟිලි සළකුණු යන්ත්‍රයේ පැමිණීම සටහන් නොකිරීම සම්බන්ධව අවධානය යොමුවිය. ඇගිලි සළකුණු යන්ත්‍රයේ පැමිණීම සටහන් කිරීම අනිවාර්ය කරමින් චක්‍රලේඛයක් නිකුත් කරන ලෙසත් ඒ පිළිබද ප්‍රගතිය සති දෙකක් තුළ වාර්තා කරන ලෙසත් වි.වි. ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයාට නියෝග කරන ලදී.

ශාරීරික අධ්‍යාපන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයා රු. මිලියන 3.2 ක් අයථා පරිහරණය කිරීම
මෙම සිදුවීමට අදාළ පුද්ගලයන් දෙදෙනෙක්ගේ වැඩ තහනම් කර ඇති බවත් එක් පුද්ගලයෙකු විදේශ ගතව ඇති බවත් අනාවරණය විය. මෙම පුද්ගලයන් සේවයෙන් පහකර මේ සම්බන්ධයෙන් නෛතික පියවර ගැනීමට පොලිසියට පැමිණිලි කර ඇති බවත් හෙළිවිය. මෙම මුදල් අයකරගැනීමටත් වැරදි කළ පුද්ගලයන්ට උපරිම දඩුවම් ලබා දීමේ අවශ්‍යතාවත් කමිටුව අවධාරණය කරන ලදී.

මියගිය මහාචාර්යවරියකගේ ස්වාමියාට රු. මිලියන 7කට අධික මුදලක් නීති විරෝධී ලෙස ගෙවීම
විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සේවය කොට මියගිය මහාචාර්යවරියකට හිමි රු. මිලියන 7 කට ආසන්න මුදලක් ව්‍යාජ ලේඛන සකසා විශ්ව විද්‍යාලයේ සේවයේ නියුතු ඇයගේ ස්වාමිපුරුෂයා වෙත ගෙවීම සම්බන්ධයෙන් ද විගණකාධිපතිවරයා මෙහිදී කරුණු දැක්වීය. මෙම මහාචාර්යවරියට හිමි රු. මිලියන 3.2 ක සේවක අර්ථසාධක අරමුදලක් ද ඇයට හිමි රු. මිලියන 3.7 ක හිග වැටුප් හා දීමනා සහ සේවක පාරිතෝෂික අරමුදල් ද වශයෙන් අදාළ නීති රෙගුලාසිවලට පටහැනිව ගෙවා ඇති බව හෙළිවිය. 2020 වසරේ සිදුවූ මෙම සිදුවීම ව්‍යාජ ලේඛන සකසා සිදුකළ වංචාවක් බැවින් මේ සම්බන්ධව ක්‍රියාත්මක නොවූයේ මන්දැයි විගණකාධිපතිවරයා කරුණු විමසන ලදී. පේරාදෙණිය විශ්ව විද්‍යාලයටත් අපකීර්තියක් ගෙනෙදෙන මෙවැනි සිදුවීම් නැවැත්වීමට පරිපාලනය වහාම මැදිහත්විය යුතු බව කමිටුව විසින් පෙන්වා දෙන ලදී.

තවත් පරිපාලන දුර්වලතා සහ අක්‍රමිකතා රැසක්
රු. මිලියන 7.5 ක වියදමින් ඉදිකරන ලද කලාගාරය වසර 6කට වැඩි කාලයක් නිෂ්කාර්යව පැවතීම, රු. මිලියන 8.3 ක වියදමින් ආරම්භකරන ලද පරිගණක පද්ධතියේ වැඩ වසර 6ක් ගතවුවද අවසන්කර නොතිබීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබදවද මෙහිදී අවධානය යොමුවිය.

විශ්ව විද්‍යාල පාලක සභාවේ අනුමැතිය මත තීරණ ගනු ලැබුවද පාලක මණ්ඩලයට රජයේ මුල්‍ය රෙගුලාසි කිසිවිටකටත් උල්ලංඝනය කිරීමට නොහැකිබව කමිටුව විසින් අවධාරණය කරන ලදී.

මෙම නිර්දේශවල ප්‍රගතිය සමාලෝචනය සදහා පේරාදෙණිය විශ්ව විද්‍යාලය මාස 6කින් නැවත කැදවීමටත් මෙහිදී තීරණය විය.

පුවත්

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය ගැන ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Published

on

By

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමේ වගකීම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, විද්වතුන් හා මාධ්‍ය සංවිධාන වෙත පැවරෙන බව ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඊට පහසුකම් සැලසීම පමණක් ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

Continue Reading

පුවත්

ශ්‍රී ලංකාව BRICS වලට උනන්දුවක් තියෙනවද? මට නම් දැනෙන්නෙ නැහැ – රුසියානු තානාපති

Published

on

By

BRICS සම්මුතිය සමග එක්වීමට උනන්දුවක් දක්වන්නේ නම් රටක් ලෙස ශ්‍රී ලංකාව ඊට ප්‍රායෝගිකව පියවර ගත යුතු බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් මහතා පවසයි.

කොළඹදී ඊයේ පැවති විශේෂ සමුළුවක ප්‍රශ්නෝත්තර වටයේදී ඔහු මේ බව කියා සිටියේය.

“ජාත්‍යන්තර නීතීය තුළ බලය යෙදවීම රුසියානු කෝණයෙන්” යන විශේෂ සම්මන්ත්‍රණයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේදී ඊයේ පැවැත්වුණි.

එහිදී  මාධ්‍යවේදීයෙකු විසින් ශ්‍රී ලංකාව BRICS සමග සම්බන්ධ වෙන්නේ කවදාදැයි විමසා සිටියේය.

ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති ලෙවාන් ජගර්යාන් මහතා – “මේ ප්‍රශ්නය මගෙන් කිහිප සැරයක්ම අහලා තියෙනවා.මම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 01 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවෙන්න ගියා රුසියානු ජනාධිපතිතුමාගේ ආරාධනා පත්‍රයකුත් අරගෙන BRICS සමුළුවට සහභාගී වෙන්න කියලා. මම භාෂා පරිවර්තක සමඟ තමයි කතා කළේ. මම දන්නේ නෑ එයා හරියට පරිවර්තනය කළාද කියලා.ජනාධිපතිවරයා මට කිව්වා මහ මැතිවරණය පැවැත්වෙන නිසා ඔහුට රුසියාවට එන්න වෙන්නේ නැහැ කියලා. BRICS සමඟ සම්බන්ධ වෙනවා නම් රුසියාවෙන් විතරක් නෙවෙයි සාමාජික රටවල් සියලුදෙනාගේ සම්මුතියක් තියෙන්න ඕනේ සහ ඒකට පියවර ගණනාවක් තියෙනවා.”

“රුසියාව,චීනය ශ්‍රී ලංකාවට සහයෝගය දෙනවා නමුත් ඒක කරන්න ඉතින් ඔබගේ පැත්තෙනුත් උනන්දුවක් තියෙන්නේ ඕනේ.එහෙම උනන්දුවක් තියෙනවාද? මට නම් දැනෙන්නේ නැහැ.කරුණාකරලා ප්‍රායෝගික පියවර ටිකක් ගන්න. තව දෙයක් ෂැංහයි සහයෝගිතා සංවිධානය ගැනත් ටිකක් අවධානය දෙන්න කියලා ඔබේ රටට කියනවා.”

මාධ්‍යවේදියා – වසර 3ක පමණ සිට යුක්‍රේනයේ කලාප කිහිපයක රුසියාව සිය අණසක පැතිරවූවා. ඒ කලාපවල අනාගතය කුමක්ද?

“ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති – රුසියානු ව්‍යවස්ථාවට අනුව ඩොනෙස්ක්,ලොහාන්ස්ක්,කර්ෂෝන් සහ සපොරෂියා කලාපය අයිති වෙන්නේ රුසියාවට. යුක්‍රේන හමුදාව සමහර තැන්වල ඉන්නවා ඒ අය ඉවත්විය යුතුයි. ඒ කලාප පිළිබඳ අපි සාකච්ඡා කරන්නේ නැහැ, විශේෂයෙන් ඒවා යළි ලබාදීම පිළිබඳව සාකච්ඡා කරන්නේ නැහැ.”

මූලාශ්‍රය  – අද දෙරණ

Continue Reading

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved