Connect with us

පුවත්

බලෙන් අල්ලාගත් සුපිරි නිවසින් ඉවත්වීමට ඥානසාර හිමිට නියෝග

Published

on


බම්බලපිටියේ පිහිටි රුපියල් කෝටි 10 ක් වටිනා සුඛෝපභෝගී නිවසක් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන තිබූ බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ (12 වැනිදා) අනාවරණ විය.

නීත්‍යනුකූල නොවන ආකාරයට බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින එම දේපොළෙන් වහාම ඉවත්වන ලෙසත්, එසේ කටයුතු නොකළහොත් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට වන බවද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසාන් අමරසිංහ විවෘත අධිකරණයේදී ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු වගඋත්තරකරුවන් තිදෙනාට නියෝග කළේ ය.

අංක 36/5/1, ගෘබරි ගාර්ඩන්ස්, බම්බලපිටිය සහ දැනට අංක 107/ඒ/2 ශාන්ත මැතිව් මාවත, ඒකල පදිංචි ඉනෝකා චන්දිමා සේනානායක විසින් ප්‍රාථමික නඩු විධාන සංග්‍රහ පනත යටතේ පවරා තිබූ නඩුවක තීන්දුව දෙමින් අතිරේක මහෙස්ත්‍රාත්වරයා එම නියෝග කළේ ය.

මෙහි වගඋත්තරකරුවන් ලෙස රාජගිරිය, නාවල පාර, ශ්‍රී සද්ධර්ම රාජිත විහාරයේ ගලබොඩඅත්තේ  ඥානසාර  හිමි, එම හිමියන්ගේ ගෝල හිමිනමක බව කියන දයාසීහ හිමි, බම්බලපිටිය ගෘබර් ගාර්ඩන්ස් සල්කන් රෙසිඩන්ස් හි සභාපති ලෙස කටයුතු කරන සිල්වෙස්ටර් නමැති අය නම්කර තිබුණි.

පෙත්සම්කාරියගේ නැන්දණිය මේ වන විට 82 වියේ පසුවන ඇමරිකාවේ වෙසෙන සුමිත්‍රා සේනානායක වීරසිංහට අයත් දේපොළක් වන මෙම නිවස පෙත්සම්කාරිය වෙත පවරා ඇති බව ඇයගේ දිවුරුම් ප්‍රකාශයේ සඳහන් වේ.

එම දේපොළෙහි සිය නැන්දණිය 2018 වසරේ සිට 2022 මැයි 18 දක්වා ජීවත් වූ බවත්, එම අවස්ථාවේදී ඇය බලා ගත්තේ තමා විසින් බවද පෙත්සම්කාරිය දන්වා සිටියි. තමාගේ දියණියන් වන චින්ත්‍යා කෞශලී පෙරේරා සහ රශ්මි කෝශිලා පෙරේරා විසින්ද සිය නැන්දණිය සමග අදාළ නිවසේ ජීවත් වූ බවද පෙත්සම්කාරිය දන්වා සිටියි.

තම නැන්දණිය 2022 මැයි 18 වැනිදා විදේශගත වූ බවත්, නිවසෙහි යතුරු ඇතුළු සියලු දේපොළ බාරදී ගිය බවත් දන්වා සිටින පෙත්සම්කාරිය ඉන් අනතුරුව වගඋත්තරකාර ගලබොඩඅත්තේ  ඥානසාර  හිමියන් සහ එම හිමිනමගේ ගෝල හිමි නමක් යැයි පවසමින් අයකු වරින්වර දුරකථන ඇමතුම් දී අදාළ දේපොළෙන් ඉවත්වන ලෙස දැනුම් දුන් බව දන්වා සිටියි. එම වගඋත්තරකරුවන් දිගින් දිගටම සිදුවන හරිහැර ඉවසිය නොහැකි නිසා ඒ පිළිබඳ බම්බලපිටිය පොලිසිය වෙත 2023 අගෝස්තු 17 දින පැමිණිල්ලක් කළ බවත්, එම පැමිණිල්ල දමා නැවත නිවසට යන විට එහි සිටි ආරක්ෂක නිලධාරින් නිවසට ඇතුළු නොවන ලෙසට තර්ජනය කරමින් බාධා කළ බවත් පෙත්සම්කාරිය දන්වා සිටියි.

මේ පිළිබඳ විමසීමට බම්බලපිටිය පොලිසිය වෙත ගිය අවස්ථාවේදී සහකාර පොලිස් අධිකාරිවරයකු යැයි තමන්ව හඳුන්වා ගන්නා අයකු ද පැමිණ තමාට බැණ වැදී වගඋත්තරකාර ගලබොඩඅත්තේ ඤාණසාර හිමියන්ට පක්ෂව කටයුතු කළ බවත්, අනතුරුව තමන්ට වූ අසාධාරණය වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කර ගැනීම සඳහා ප්‍රාථමික නඩු විධාන සංග්‍රහ පනතේ 66(1) (ආ) වගන්තිය යටතේ ඉල්ලීමක් කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අංක 831/3/23 යටතේ නඩුවක් පැවරූ බවත් පෙත්සම්කාරිය දන්වා සිටියි.

වසරකට ආසන්න කාලයක් පුරා අදාළ නඩුව අධිකරණය හමුවේ විභාග වූ අතර පෙත්සම්කාරිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ සන්ධ්‍යා තල්දූව අධිකරණය හමුවේ දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළාය.

මෙම ප්‍රශ්නගත දේපොළෙහි සාමකාමී නිරවුල් භුක්තිය පෙත්සම්කාරියට හිමි බව තීන්දු කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා ඒ අනුව පෙත්සම්කාරියට නිවසේ භුක්තිය භාර දෙන ලෙස වගඋත්තරකරුවන්ට වැඩිදුරටත් නියෝග කළේ ය.

(අරුණ )

පුවත්

කහවත්ත පොලිස් ස්ථානාධිපති යාපනයට මාරුකරයි

Published

on

By

කහවත්ත යාඉන්න ප්‍රදේශයේදී තරුණයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශන කටයුතුවලට අදාළව කහවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා යාපනය පොලිස් කොට්ඨාශයට මාරුකර තිබේ.

ඉකුත් ජුනි 30දා අදාග තරුණයා වෙඩිතැබීමකින් ඝාතනය ලක්වූ අතර, සිද්ධියෙන් තවත් තරුණයෙකු බරපතල තුවාල සහිතව රෝහල්ගත කෙරුණි.

Continue Reading

පුවත්

රනිල්, ඊලොන් මස්ක්ට ස්තූති කරයි

Published

on

By

‘Starlink’ චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව සියලුම ශ්‍රී ලාංකිකයන්ට ලබාදීම ගැන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ඊලොන් මස්ක්ට සිය කෘතඥතාව පළ කර තිබේ. 

නිවේදනයක් නිකුත්කරමින් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ, නුදුරු දිනකදීම තමන් ඊලොන් මස්ක් හමුවීමේ බලාපොරොත්තුවෙන් සිටින බවය.

එම හමුවේදී මෙරට ඩිජිටල් ක්ෂේත්‍රය සඳහා ඇති තවත් අවස්ථා ගවේෂණය කිරීමට බලාපොරොත්තු වන බව එම නිවේදනයේ දැක්වේ.

රනිල් වික්‍රමසිංහ මහතා 2024 වසරේ ඉන්දුනීසියාවේ බාලි හිදී පැවති 10වන ‘ලෝක ජල සමුළුවට’ සහභාගි වූ අවස්ථාවේදී ඊලොන් මස්ක් හමුවිය.

එය ‘Starlink’ චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාවට ලැබීමේ ක්‍රියාවලියේ ආරම්භය වේ.

ලොව සුප්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක් ඔහුගේ ‘X’ ගිණුමෙහි සටහනත් තබමින් පවසා සිටියේ, ‘Starlink’ අන්තර්ජාල සේවාව මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක බවය.

Continue Reading

පුවත්

ජනාධිපති ලේකම් හා නෙදර්ලන්ත තානාපති අතර හමුවක්

Published

on

By

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනී හෝර්බාක් මහත්මිය (Bonnie Horbach) අතර  සාකච්ඡාවක් අද (02) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

නෙදර්ලන්තය සතුව දැනට පවතින ශ්‍රී ලංකාවේ පෞරාණික භාණ්ඩ සහ පුස්කොළ පොත් නැවත මෙරටට ලබා දීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකා රජය විසින් මෙම කාර්යයේදී දක්වන ලද  සහයෝගය සම්බන්ධයෙන් බොනී හෝර්බාක් මහත්මිය (Bonnie Horbach)  ස්තුතිය පළ කළ අතර, දෙරට අතර සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීම සඳහා එය වැදගත් අවස්ථාවක් ලෙස සලකන බවද ප්‍රකාශ කළාය.

යටත් විජිත ලෙස පැවති රටවල් සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීමට යටත්විජිත කෞතුක භාණ්ඩ ඒවායේ මුල් රටවල් වෙත නැවත භාර දිය යුතුය යන ප්‍රතිපත්තිමය තීරණයට නෙදර්ලන්ත රජය එළැඹ ඇත. ඒ අනුව, ඔවුන්, එම කෞතුක භාණ්ඩ ප්‍රතිෂ්ඨාපනය කිරීමේ කාර්යයෙහි මුලපිරීමක් ලෙස පර්යේෂණ වැඩසටහනක් ආරම්භ කර ඇති අතර, එහිදී, එරට පවතින යටත්විජිත කෞතුක භාණ්ඩ සම්බන්ධයෙන් ඒකාබද්ධ පර්යේෂණ සිදු කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් සමඟ එකඟතාවකට පැමිණ තිබේ.

එහි ආරම්භයක් ලෙස, ශ්‍රී ලංකාවේ ජාතික ලේඛනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් දෙර‌ටෙහි පර්යේෂකයින් විසින් නෙදර්ලන්තයේ ඇති පුස්කොළ අත්පිටපත් එකතුව පිළිබඳ පර්යේෂණ සිදු කිරීමටද  අපේක්ෂා කෙරේ.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, නෙදර්ලන්ත තානාපතිනියගේ සංස්කෘතික කටයුතු පිළිබඳ උපදේශක ක්‍රිෂේන් මෙන්ඩිස් යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved