ඉන්දියානු ණය ආධාරය නොමැති කාලසීමාවේදීත් මෙරටට ආනයනය කරන ඖෂධ වලින් 80% ආනයනය කරන්නේ ඉන්දියාවෙන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පවසා තිබේ.
එම නිලධාරීන් මේ බව සඳහන් කර ඇත්තේ සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (19) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා මේ සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදී නිලධාරීන් මේ සම්බන්ධයෙන් පැවසූ අතර මෑත කාලීනව ඉන්දියානු ණය අධාර යටතේ ගෙන්වූ බෙහෙත් භාවිතා කරන බවද ඔවුහු පෙන්වා දුන්හ. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එම නිලධාරීන් පෙන්වා දුන්නේ ඖෂධ ගෙන්වීමට අවශ්‍ය අංශ කටයුතු නොකළේ නම් මිනිසුන් මිය යන්නේ ඖෂධ නොමැති කමින් බවයි.
එසේම මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පෙන්වා දුන්නේ පේරාදෙණිය රෝහලේ සිදු වීම සිදු වන අවස්ථාවේදී එම වාට්ටුවේම සිටි රෝගීන් 12 දෙනෙකුට මෙම ඖෂධය ලබාදී තිබූ බවයි. තවද මෙම වසර තුළ 167,000 ක් මෙම ඖෂධය භාවිත කොට ඇති බවයි. එසේම 230,000ක් රෝහල් සඳහා මෙම ඖෂධය ලබා දී ඇති බවයි. මෙම ඖෂධය 2013 ඔක්තෝම්බර් 21 ලියාපදිංචි කොට ඇති ඖෂධයක් බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
එසේම බාල ඖෂධ යනු කුමක්දැයි අර්ථකථනයක් නැති බැවින් බාල ඖෂධ යන්න තමන් ප්‍රතික්ෂේප කරන බවද අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙහිදී සඳහන් කළේය.
මෙහිදී මහාචාර්ය සේනක බිබිලේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය වර්ථමානයේ ක්‍රියාත්මක වන්නේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) තිස්ස විතාරණ මහතා විමසා සිටි අතර එම ප්‍රතිපත්තිය තවමත් අනුගමනය කරන බවද අමාත්‍ය රඹුක්වැල්ල මහතා මෙහිදී පැවසීය. මෙහිදී මෙම ප්‍රතිපත්තිය මගින් සම්පූර්ණ වසරකට අවශ්‍ය ඖෂධයන් ඹෟෂධ නාමය සහිතව එක් වර ටෙන්ඩර් කොට ලබාගැනීම පිළිබඳ අදහස් කොට ඇති බව මහාචාර්ය තිස්ස විතාරණ මහතා පෙන්වා දුන්නේය.
මීට අමතරව දිස්ත්‍රික්ක මට්ටමෙන් රෝහල් ආශ්‍රීතව පවතින ගැටලු, නිලධාරීන් සම්බන්ධ පුරප්පාඩු, ඖෂධ සහ උපකරණ හිගය පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.