Connect with us

පුවත්

බාල බෙහෙත් ගෙන්වූ සමාගම් වැලම අධිකරණයට; සමාගම් ලැයිස්තුවත් එළියට

Published

on

හියුමන් ඉමියුනොග්ලොබුලින් ඇතුළු මෑත කාලීනව සිදු වූ මතභේදාත්මක වෛද්‍ය සැපයුම් සිදුකර ඇති සමාගම් වෙතින් වෛද්‍ය සැපයුම් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලය සහ සෞඛ්‍ය බලධාරීන් ගත් තීරණය වැරදි, නීත්‍යානුකූල නොවන, ශුන්‍ය සහ අවලංගු, සහ නීතිය ඉදිරියේ බල රහිත බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අප්‍රේල් 16 වැනිදා  මූලික අයිතිවාසිකම් පෙත්සමක් (SCFR/99/2024) ගොනු කර තිබේ.

පෙත්සමෙන් වගඋත්තරකරුවන් 66 දෙනෙකු ඇතුළුව ආන්දෝලනාත්මක වෛද්‍ය සැපයුම්වලට සම්බන්ධ සමාගම් වන අයුසුලේට් බයොටෙක් ෆාර්මා (Isolez Biotech Pharma AG (Pvt) Ltd), ලයිව්එල්ත් බයෝ ෆාමාර් (Livealth BioPharma (Pvt) Ltd),  යදීන් ඉන්ටර් නැෂනල් පුද්ගලික සමාගම (Yaden International (Pvt) Ltd), ස්ලිම් ෆාමර්සූටිකල්ස් පුද්ගලික සමාගමේ (Slim Pharmaceuticals (Pvt) Ltd) නන්දනී මෙඩිකල් ලැබෝටරිස් පුද්ගලික සමාගම (Nandani Medical Laboratories (Pvt) Ltd), ඩිවයින් ලැබෝටරීස් (Divine Laboratories (Pvt) Ltd), ගල්ෆික් බයෝසෙන්ස් පුද්ගලික සමාගම  (Gulfic Biosciences Limited) සහ නවචෙම් ලංකා පුද්ගලික සමාගම(Novachem Lanka (Pvt) Ltd) නම් කර තිබේ.

වගඋත්තරකරුවන් අතර කැබිනට් අමාත්‍ය මණ්ඩලය, සෞඛ්‍ය අංශයට අදාල වත්මන් සහ හිටපු ඉහළ නිලධාරීන්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල,  භාණ්ඩාගාර ලේකම්, විගණකාධිපති, රේගු අධ්‍යක්ෂ ජනරාල්, පොලිස්පති, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙහි සාමාජිකයින් සහ අධ්‍යක්ෂ ජනරාල් සහ නීතිපතිවරයා වේ.අයුසුලේට් බයොටෙක් ෆාර්මා (Isolez Biotech Pharma AG (Pvt) Ltd) හා ලයිව්එල්ත් බයෝ ෆාමාර් (Livealth BioPharma (Pvt) Ltd) යන සමාගම් ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් සැපයීමේ සිද්ධියේ පළමු සැකකාර් වන සුගත් ජානක ප්‍රනාන්දු නමැත්තාට අයත් සමාගම් බව පැවසේ.

යදීන් ඉන්ටර් නැෂනල් පුද්ගලික සමාගම (Yaden International (Pvt) Ltd) සෂිමාල් දිසානායකට අයත් එකක් වන අතර එහි නිෂ්පාදන කටයුතු සිදුකරනු ලබන්නේ කටුනායක බවද වාර්තා වේ. (රුපියල් මිලියන 20ක අල්ලසක් ලබා ගනිද්දී කොටුවූ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වූ පී. දිසානායක මහතා සෂිමාල්ගේ පියාය.)
ස්ලිම් ෆාමර්සූටිකල්ස් පුද්ගලික සමාගමේ (Slim Pharmaceuticals (Pvt) Ltd) ප්‍රධානියා, සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ සුමිත් ප්‍රේමරත්න නැමැත්තෙකි.

නන්දනී මෙඩිකල් ලැබෝටරිස් පුද්ගලික සමාගම (Nandani Medical Laboratories (Pvt) Ltd), ඩිවයින් ලැබෝටරීස් (Divine Laboratories (Pvt) Ltd), ගල්ෆික් බයෝසෙන්ස් පුද්ගලික සමාගම  (Gulfic Biosciences Limited) සහ නවචෙම් ලංකා පුද්ගලික සමාගම (Novachem Lanka (Pvt) Ltd)  යන සමාගම් සියල්ල ඉන්දීය සමාගම් වේ.

පෙත්සම මගින් තරඟකාරී ලංසු නොමැතිව හියුමන් ඉමියුනොග්ලොබුලින් සහ තවත් ඖෂධ කිහිපයක් ආනයනය කිරීම වැරදි සහ නීති විරෝධී බව ප්‍රකාශ කිරීම, සැපයුම්කරුවන්ගේ ලියාපදිංචිය අත්හැරීමේ ක්‍රමවේදය (Waivers of Registration) පිළිබඳව සමාලෝචනය කිරීම, මිලදී ගැනීම් වලට අදාළ විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙස විගණකාධිපතිවරයාට නියෝග කිරීම, අදාළ පාර්ශවයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියෝග කිරීම හා රජයට හෝ මහජනතාවට සිදු වූ වියදම් සහ වන්දි අයකර ගැනීමට කටයුතු කිරීම යන කරුණු ඉල්ලා තිබේ.

පොදු දේපළ අවභාවිතය සහ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම පිළිබඳව වගවන ලෙස ඉල්ලා සිටිමින්, මහජන සුබ සිද්ධිය වෙනුවෙන් මෙම පෙත්සම ගොනු කර ඇත.

වගඋත්තරකරුවන්ගේ ක්‍රියාවන් හෝ අත්‍යාවශ්‍ය ක්‍රියා නොකිරීම් හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පෙත්සම්කරුවන් කියා සිටියි.

වෛද්‍ය සැපයුම් ලබා ගැනීමේදී, සැපයුම්කරුවන්ගේ ලියාපදිංචිය අත්හැරීමේ ක්‍රමවේදය (Waivers of Registration) පිළිබඳව සමාලෝචනය කිරීමට පෙත්සම්කරුවන් අධිකරණයේ මැදිහත්වීම අපේක්ෂා කරයි.

එමෙන්ම, ප්‍රසම්පාදනයේ විනිවිදභාවය සහතික කිරීම සඳහා පනවා ඇති නීතිරීති සහ රෙගුලාසි වලට වගඋත්තරකරුවන්ට අනුකූල වන්නැයි නියෝග කරන ලෙසද පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටියි.

“සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පැවතියේ යැයි කියන ලද ‘හදිසි තත්ත්වය’ බොහෝ දුරට දුර්වල කළමනාකරණය නිසා ඇති වූවක් බව පෙනී යයි. සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතන වල නිලතල දරන පුද්ගලයන්ගේ වැරදි කළමනාකරණය විසින් ඉහත කී හදිසි අවස්ථාව සැලසුම් කළේ යම් යටි අරමුණු ඉටු කර ගැනීමේ වුවමනාවට දැයි සැකයක් ඇතිවේ,” යනුවෙන් පෙත්සමේ සඳහන් වේ.

ඉන්දියානු ණය පහසුකම යටතේ ඖෂධ ආනයනය කිරීමේදී දක්නට ලැබුණු අක්‍රමිකතා සහ නීතිය නොසලකා හැරීම සැලකිල්ලට ගනිමින්, 2023 පෙබරවාරි මාසයේ දී ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) ආයතනය ගොනු කළ,දැනට අධිකරණය ඉදිරියේ විභාග වෙමින් පවතින පෙත්සමට (SCFR/65/2023) අමතරව මෙම පෙත්සම ගොනු කර ඇත.

ලියාපදිංචිය අත්හැරීමේ ලිපි නිකුත් කර ඇති සැපයුම්කරුවන්ගෙන් වෛද්‍ය සැපයුම් ලබා ගැනීමට ගත් තීරණය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙසත්, ඔවුන් හරහා ලබා ගත් වෛද්‍ය සැපයුම් සඳහා දරන ලද පිරිවැය ගණනය කරන ලෙසත් විගණකාධිපතිවරයාට නියෝග කරන ලෙස ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) ආයතනය මෙවර ඉදිරිපත් කළ පෙත්සම මගින් අධිකරණයෙන් ඉල්ලා ඇත.

මීට අමතරව, ලියාපදිංචිය අත්හැරීමේ ලිපි නිකුත් කර වෛද්‍ය සැපයුම් ප්‍රසම්පාදනය තුළින් මූල්‍ය හෝ වෙනත් ප්‍රතිලාභ ලබාගෙන ඇති බවට හඳුනාගෙන ඇති පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීම ආරම්භ කරන ලෙස නීතිපතිවරයාට නියෝග කරන ලෙසද අධිකරණයෙන් ඉල්ලා ඇත.

මෙම සිද්ධීන් හේතුවෙන් රජයට හෝ මහජනතාවට දැරීමට සිදු වූ වියදම් මෙන්ම ඒ සම්බන්ධයෙන් වන්දි මුදලක් අදාළ වගඋත්තරකාර පාර්ශවවලින් අයකර ගන්නා ලෙස නීතිපතිවරයාට නියෝග කරන ලෙස පෙත්සම මගින් තවදුරටත් ඉල්ලා ඇත.

සම්පූර්ණ පෙත්සම මෙතනින්

පුවත්

දේශබන්දු පරීක්ෂණ කමිටුවේ දෙපාර්ශවයේම සාක්ෂි මෙහෙයවීම අවසන්

Published

on

By

පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව ඉදිරියේ වගඋත්තරකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පාර්ශ්වයේ සහ පැමිණිලි පාර්ශ්වයේ යන දෙපාර්ශ්වයේම සාක්ෂි මෙහෙයවීම ඊයේ (01) අවසන් විය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් පරීක්ෂණ කමිටුව අද රැස් වූ අතර මෙහිදී පැමිණිල්ලේ තවත් සාක්ෂිකරුවන් දෙදෙනෙකුගෙන් සාක්ෂි ලබා ගැනීම සිදු විය.

මෙම සාක්ෂිකරුවන් දෙදෙනා රාජකාරී කටයුත්තකට විදේශගතව සිටි අතර ඔවුන්ගේ සාක්ෂි ලබාදීම ජුනි 26න් පසුව සිදු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගී වූ අතිරේක සොලිස්ටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස්, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන මහත්වරුන් සහ වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයේ නීතීඥ ආර්.එස්. වීරවික්‍රම මහතා පෙර එකඟ වූ පරිදි, අද දින මෙම සාක්ෂිකරුවන් දෙදෙනාගේ ද සාක්ෂි ලබාගැනීමට තීරණය කෙරිණි.

ඒසේම දෙපාර්ශ්වයේම ලිඛිත දේශන 2025 ජූලි 8 වැනිදා ප.ව. 3.30ට පෙර පරීක්ෂණ කමිටුව වෙත භාරදීමට නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් සහ වගඋත්තරකාර පොලිස්පතිවරයා යන දෙපාර්ශ්වයම එකඟ වූහ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

මන්ත්‍රී අර්ච්චුනාට එරෙහි පෙත්සම විභාගයට අවසර

Published

on

By

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (02) අවසර දුන්නේය.

එහෙත් පෙත්සමෙන් ඉල්ලා තිබූ පරිදි අර්ච්චුනා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම හා ඡන්දය ප්‍රකාශ කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් මෙම අවස්ථාවේදී නිකුත් නොකරන බව විනිසුන් මඩුල්ල ප්‍රකාශ කර ඇත.

මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග නිකුත් කරන ලදී.

අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඕෂල හේරත් මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ආශෝක් බරන් මහතා අධිකරණය හමුවේ සඳහන් කර තිබුණේ, වගඋත්තරකාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට තේරී පත්වන අවස්ථාවේදී රජයේ වෛද්‍යවරයෙකු වශයෙන් සේවයකර වැඩ තහනමට ලක්ව සිටි බැවින් ඔහුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව පාර්ලිමේන්තුවට තේරි පත්වීමට සුදුසුකම් නොමැති බවය.

ඒ අනුව ඔහුට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම ඡන්දය ප්‍රකාශ කිරීමට නීතිමය හිමිකමක් නොමැති බවට නීතිඥවරයා තර්ක කර තිබුණි.

එහෙත් රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සේනානි දයාරත්න මහතා සඳහන් කර තිබුණේ, සිය සේවා දායකයාව පාර්ලිමේන්තුවට තේරී පත්වන අවස්ථාවේදී ඔහු වැටුප් රහිතව වැඩසටහනට ලක්ව සිටි එබැවින් එම අවස්ථාවේ ඔහු රජයේ සේවකයෙකු වශයෙන් සැලකිය නොහැකි බවය.

ඒ අනුව ඔහුට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නීතිමය බාධාවක් නොමැති බවට නීතිඥවරයා තර්ක කළේය.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල, මෙම විභාගයට ගැනීමට අවසර දුන්නේය.

ඉන් අනතුරුව පෙත්සම අගෝස්තු මස 1 වනදා කැඳවීමටද නියම විය.

Continue Reading

කැබිනට් තීරණ

ශ්‍රීලංකන් ගැන සොයන්න ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක්

Published

on

By

ශ්‍රීලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති වංචා, දූෂණ හා අක්‍රමිකතා සෙවීම සඳහා ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවත් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ එලෙස අනුමැතිය හිමි වී ඇත.

සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම මඟින් රටේ ආර්ථික අභිවෘද්ධිය සඳහා දායකත්වයක් සැපයුව ද එය පවත්වාගෙන යාම සඳහා රජයට අධික වැය බරක් දැරීමට සිදුව ඇති අතර, එම සමාගම වාර්ෂිකව ලබන අධික පාඩුව රටේ ආර්ථිකයට දරා ගැනීමට අපහසු වී ඇත.

මෙම සමාගම ආර්ථිකමය වශයෙන් වාසිදායක, කාර්යක්ෂම හා ඵලදායී රාජ්‍ය ආයතනයක් බවට පත් කර, නවීන තාක්ෂණය භාවිත කරමින් සාර්ථක ලෙස පවත්වාගෙන යාම මහජන අභිලාෂය වී තිබේ.

ඒ සඳහා, සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම වර්තමාන තත්ත්වයට පත් වීමට බලපෑ හේතු සම්බන්ධයෙන් පසුගිය කාලපරිච්ඡේදය තුළ සිදු වී ඇති ගනුදෙනු හා සිද්ධීන් පිළිබඳ විධිමත් අධ්‍යයනයක් හා ඇගයීමක් සිදුකළ යුතුය.

එසේම, ගුවන්තොටුපොළ මෙහෙයුම් සම්බන්ධයෙන් වගකීම් පැවරී ඇති සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමේ කටයුතු පිළිබඳව ද විමර්ශනය කිරීමේ අවශ්‍යතාව විවිධ පාර්ශ්වයන් ඔස්සේ රජයේ අවධානයට යොමු කර ඇත.

ඒ අනුව, 2010‑2025 කාලසීමාව තුළ ඉහත සඳහන් ආයතනවල සිදු වී ඇතැයි සැලකෙන වංචා, දූෂණ සහ අක්‍රමිකතා සොයා බලා නිර්දේශ සහිත සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා හිටපු විගණකාධිපති එච්.එම්.ගාමිණී විජේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved