Connect with us

පුවත්

බෝල් පොයින්ට් පෑනක් දෙන්නැයි හරක් කටා අධිකරණයෙන් ඉල්ලයි

Published

on

2023 වසරේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ භාරයේ රඳවා සිටියදී ඉන් පලායාමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා තමාට බෝල් පොයින්ට් පෑනක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කරන බව ඔහුගේ නීතීඥ ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා අධිකරණයට දැන්වීය.

අදාළ චෝදනා එල්ලවී සිටින හරක් කටා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට අද කොළඹ මහාධිකරණයේදී මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ  අධි චෝදනා කියවාදීම සිදු කෙරුණු අවස්ථාවේදී මේ ඉල්ලීම සිදු කළේය.

මෙහිදී විනිසුරුවරයා ත්‍රස්ත විමර්ශන කාර්යාංශයට දැනුම් දුන්නේ මේ වන විට විත්තිකරුට ලබා දෙන ලෙස අධිකරණය විසින් නියම කර ඇති සියලු දේවල් ඒ ආකාරයෙන්ම ඔහු වෙත ලබාදීමට කටයුතු කරන ලෙසයි.

එක් එක් කාරණා සම්බන්ධයෙන් වෙන් වෙන්ව නියෝග නිකුත් කිරීමට තමන්ට හැකියාවක් නොමැති බවත් විනිසුරුවරයා සඳහන් කර සිටියේය.

නඳුන් චින්තක හෙවත් හරක් කටා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා නිර්දෝෂී පුද්ගලයෙකු වන අතර ඔහු කිසිදු අධිකරණයකින් වරදකරු කර නොමැති බව කියා සිටියේය.

තම සේවා දායකයා අධිකරණයට පැමිණ සිටින්නේ පිරිසුදු දෑතින් බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට හේතුව පවා පොලිසිය විසින් ඔහුට කියාදී නොමැති බවත් නීතීඥවරයා කීය.

සිය සේවා දායකයාට එල්ල කර තිබෙන්නේ අත්අඩංගුවෙන් පලායාමේ චෝදනා බවත්, සාමාන්‍ය නීතිය යටතේ එවැනි චෝදනාවක් එල්ල කර වරදකරු වූවත් ඔහුට අධිකරණයෙන් හිමිවන්නේ වසරක සිර දඬුවමක් බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඔහුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කරන්නේ ඔහුට දැඩි දඬුවම් ලබා දීම් අරමුණින් යැයිද පැවසීය.

ද්වේෂ සහගතව හෝ වැරදි ලෙස කරුණු වටහාගෙන නීතිපතිවරයා සිය සේවා දායකයාට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල කර තිබෙන බවත් මෙය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිතයට ලක්කිරීමක් යැයිද ඔහු අධිකරණයට දැන්වීය.

සිය සේවා දායකයාට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පවත්වාගෙන යාමට නොහැකි බවත් ඒ අනුව විත්තිකරුට එරෙහිව එල්ලකර තිබෙන අධි චෝදනා ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉන් අනතුරුව මෙම නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ හිටපු කොස්තාපල්පරයකු වන රවිදු සන්ධිප ගුණසේකර වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජාලිය සමරසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයා කොටි සංවිධානය ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බව සඳහන් කරමින් රැඳවුම් නියෝග ලබාගෙන රඳවාගෙන ප්‍රශ්න කළත් දැන් ඉදිරිපත් කර තිබෙන්නේ අත්අඩංගුවෙන් පලා යෑමට ආධාර අනුබලදීමේ චෝදනා යැයිද කීය.

තම සේවා දායකයා පොලිස් නිලධාරීන්ට කිරි ටොපි ලබා දුන් බව මෙම නඩුවෙන් චෝදනා කර ඇති බවත් කිරි ටොපි ලබාදීම ත්‍රස්තවාදී ක්‍රියාවක් වන්නේ කෙසේදැයි නීතිඥවරයා ප්‍රශ්න කර සිටියේය.

ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරමින් විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා මුල් අවස්ථාවදීම ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා සිටියේය.

පැමිණිල්ල ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිතා කරන බවට නියෝගයක් නිකුත් කරන ලෙස විත්තිය නීතිඥවරු විසින් මහාධිකරණයෙන් ඉල්ලා සිටියත් එවැනි නියෝගයක් නිකුත් කිරීමට මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කළ රජයේ නීතිඥවරයා එවැනි ඉල්ලීමක් සිදු කළ යුත්තේ අභියාචනාදීකරණය හෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ බව කීය.

පළමුවන විත්තිකාර හරක් කටා නමැත්තා එවැනි ඉල්ලීමක් දැනටමත් අභියාචනාදීකරණය හමුවේ සිදුකර එය ප්‍රතික්ෂේප කර ඇතැයි සඳහන් කළ රජයේ නීතිඥවරයා අද දින කරුණු ඉදිරිපත් කිරීමේදී විත්තිය විසින් එම කරුණ අධිකරණයට වසන් කළ බවත් පැවසීය.

මෙම විත්තිකරුවන් විසින් සිදු කර තිබෙන වරද ඉතා ලිහිල් කර දැක්වීමට විත්තියේ නීතිඥවරු උත්සාහ කළත් විත්තිකරුවන් කිසියම් රසායනික ද්‍රව්‍යයක් පොලිස් නිලධාරීන්ගේ ශරීර ගත කිරීමට උත්සාහ කර ඇති බවත් එය ශරීරගත වූයේ නම් මරණය පවා සිදුවිය හැකි බවට අධිකරණයට ඉදිරිපත් කර තිබෙන අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ වාර්තාවේ සඳහන් කර තිබෙන බවත් රජයේ නීතිඥවරයා කීය.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම මූලික විරෝධත පිළිබඳ නියෝගය ජුලි මස 03 වනදා ප්‍රකාශයට පත්කරන බව නිවේදනය කළේය.

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved