Connect with us

පුවත්

බෝල් පොයින්ට් පෑනක් දෙන්නැයි හරක් කටා අධිකරණයෙන් ඉල්ලයි

Published

on

2023 වසරේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ භාරයේ රඳවා සිටියදී ඉන් පලායාමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා තමාට බෝල් පොයින්ට් පෑනක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කරන බව ඔහුගේ නීතීඥ ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා අධිකරණයට දැන්වීය.

අදාළ චෝදනා එල්ලවී සිටින හරක් කටා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට අද කොළඹ මහාධිකරණයේදී මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ  අධි චෝදනා කියවාදීම සිදු කෙරුණු අවස්ථාවේදී මේ ඉල්ලීම සිදු කළේය.

මෙහිදී විනිසුරුවරයා ත්‍රස්ත විමර්ශන කාර්යාංශයට දැනුම් දුන්නේ මේ වන විට විත්තිකරුට ලබා දෙන ලෙස අධිකරණය විසින් නියම කර ඇති සියලු දේවල් ඒ ආකාරයෙන්ම ඔහු වෙත ලබාදීමට කටයුතු කරන ලෙසයි.

එක් එක් කාරණා සම්බන්ධයෙන් වෙන් වෙන්ව නියෝග නිකුත් කිරීමට තමන්ට හැකියාවක් නොමැති බවත් විනිසුරුවරයා සඳහන් කර සිටියේය.

නඳුන් චින්තක හෙවත් හරක් කටා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා නිර්දෝෂී පුද්ගලයෙකු වන අතර ඔහු කිසිදු අධිකරණයකින් වරදකරු කර නොමැති බව කියා සිටියේය.

තම සේවා දායකයා අධිකරණයට පැමිණ සිටින්නේ පිරිසුදු දෑතින් බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට හේතුව පවා පොලිසිය විසින් ඔහුට කියාදී නොමැති බවත් නීතීඥවරයා කීය.

සිය සේවා දායකයාට එල්ල කර තිබෙන්නේ අත්අඩංගුවෙන් පලායාමේ චෝදනා බවත්, සාමාන්‍ය නීතිය යටතේ එවැනි චෝදනාවක් එල්ල කර වරදකරු වූවත් ඔහුට අධිකරණයෙන් හිමිවන්නේ වසරක සිර දඬුවමක් බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඔහුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කරන්නේ ඔහුට දැඩි දඬුවම් ලබා දීම් අරමුණින් යැයිද පැවසීය.

ද්වේෂ සහගතව හෝ වැරදි ලෙස කරුණු වටහාගෙන නීතිපතිවරයා සිය සේවා දායකයාට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල කර තිබෙන බවත් මෙය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිතයට ලක්කිරීමක් යැයිද ඔහු අධිකරණයට දැන්වීය.

සිය සේවා දායකයාට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පවත්වාගෙන යාමට නොහැකි බවත් ඒ අනුව විත්තිකරුට එරෙහිව එල්ලකර තිබෙන අධි චෝදනා ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉන් අනතුරුව මෙම නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ හිටපු කොස්තාපල්පරයකු වන රවිදු සන්ධිප ගුණසේකර වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජාලිය සමරසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයා කොටි සංවිධානය ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බව සඳහන් කරමින් රැඳවුම් නියෝග ලබාගෙන රඳවාගෙන ප්‍රශ්න කළත් දැන් ඉදිරිපත් කර තිබෙන්නේ අත්අඩංගුවෙන් පලා යෑමට ආධාර අනුබලදීමේ චෝදනා යැයිද කීය.

තම සේවා දායකයා පොලිස් නිලධාරීන්ට කිරි ටොපි ලබා දුන් බව මෙම නඩුවෙන් චෝදනා කර ඇති බවත් කිරි ටොපි ලබාදීම ත්‍රස්තවාදී ක්‍රියාවක් වන්නේ කෙසේදැයි නීතිඥවරයා ප්‍රශ්න කර සිටියේය.

ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරමින් විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා මුල් අවස්ථාවදීම ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා සිටියේය.

පැමිණිල්ල ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිතා කරන බවට නියෝගයක් නිකුත් කරන ලෙස විත්තිය නීතිඥවරු විසින් මහාධිකරණයෙන් ඉල්ලා සිටියත් එවැනි නියෝගයක් නිකුත් කිරීමට මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කළ රජයේ නීතිඥවරයා එවැනි ඉල්ලීමක් සිදු කළ යුත්තේ අභියාචනාදීකරණය හෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ බව කීය.

පළමුවන විත්තිකාර හරක් කටා නමැත්තා එවැනි ඉල්ලීමක් දැනටමත් අභියාචනාදීකරණය හමුවේ සිදුකර එය ප්‍රතික්ෂේප කර ඇතැයි සඳහන් කළ රජයේ නීතිඥවරයා අද දින කරුණු ඉදිරිපත් කිරීමේදී විත්තිය විසින් එම කරුණ අධිකරණයට වසන් කළ බවත් පැවසීය.

මෙම විත්තිකරුවන් විසින් සිදු කර තිබෙන වරද ඉතා ලිහිල් කර දැක්වීමට විත්තියේ නීතිඥවරු උත්සාහ කළත් විත්තිකරුවන් කිසියම් රසායනික ද්‍රව්‍යයක් පොලිස් නිලධාරීන්ගේ ශරීර ගත කිරීමට උත්සාහ කර ඇති බවත් එය ශරීරගත වූයේ නම් මරණය පවා සිදුවිය හැකි බවට අධිකරණයට ඉදිරිපත් කර තිබෙන අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ වාර්තාවේ සඳහන් කර තිබෙන බවත් රජයේ නීතිඥවරයා කීය.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම මූලික විරෝධත පිළිබඳ නියෝගය ජුලි මස 03 වනදා ප්‍රකාශයට පත්කරන බව නිවේදනය කළේය.

පුවත්

‘භාතිය’ ගේ සුවදුක් බැලීමට ගිය පරිසර ඇමතිගෙන් ප්‍රතිකාර කඩිනම් කිරීමට උපදෙස්

Published

on

By

නිකවැරටිය වනජීවී කලාපයේ පොල්පිතිගම ප්‍රදේශයේ දැනට රෝගාතුරව සිටින ඇතාගේ ප්‍රතිකාර කඩිනම් කිරීම සහ ඇතාට අවශ්‍ය අනෙකුත් පහසුකම් සලසා දීම උදෙසා පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි යන මහත්වරු ඊයේ (4) ඇතා රෝගාතූරව සිටි පොල්පිතිගම ප්‍රදේශයේ අධීක්ෂණයට සහභාගී වූහ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පශුවෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන්, විවිධ පරිසර සංවිධාන, මහව පොලිස් ස්ථානයේ නිළධාරීන්, දේශපාලන අධිකාරිය ඇතුළු ප්‍රදේශවාසීන් මෙම ඇතාගේ රෝගී තත්වය පිළිබඳ විමසීමට එක් විය.

මේ වන විට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය කකණ්ඩායමක් සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරු ඇතාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමේ කටයුතු ආරම්භ කර ඇත.

ඒ අනුව දැනට රෝගීව සිටින ඇතාගේ රුධිර සාම්පල් සහ සෙම සාම්පල් ලබා ගැනීම සිදු කරන ලද අතර ඇතාගේ ස්කෑන් පරීක්ෂණය සහ රුධිකර සාම්පල් සහ අනෙකුත් වෛද්‍ය වාර්තා පදනම් කරගෙන ප්‍රතිකාර කඩිනම් කරන ලෙස පරිසර අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

එමෙන් ම නිරන්තරයෙන් ඇතාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ වාර්තා කිරීමටත් ඒ අනුව ප්‍රතිකාර විධිමත් කිරීමටත් පරිසර අමාත්‍යවරු විසින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දෙන ලදී.

Continue Reading

පුවත්

හදිසියේම පොලීසිය සහ හමුදාව කැඳවා සිදුකළ මෙහෙයුම

Published

on

By

ඊයේ (04) රාත්‍රියේ රාගම, කඳාන, සහ වත්තල යන ප්‍රදේශවල හදිසි ආරක්ෂක මෙහෙයුමක් දියත් කර තිබුණි.

යුද හමුදාව, නාවික හමුදාව, විශේෂ කාර්ය බළකාය, සහ පොලීසිය එක්ව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

ජූලි 03 වන දින රාගම සහ කඳාන ප්‍රදේශවල සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් දෙදෙනෙකු මිය යාමෙන් පසු, අදාළ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීම මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වී ඇත.

ඒ අනුව, මාර්ගවල ගමන් ගත් වාහන සහ පුද්ගලයන් දැඩි පරීක්ෂාවකට ලක් කරමින් සෝදිසි මෙහෙයුම් සිදුකර තිබේ.

සබැඳි පුවත්

ආමි උපුල් වෙඩි තබා ඝාතනය කරලා

කඳාන වෙඩි තැබීම කොණ්ඩ රංජිගේ වැඩක්!

Continue Reading

පුවත්

හරක් කටා කොළඹ ජාතික රෝහලට

Published

on

By

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලියේ නායකයෙකු වන නඳුන් චින්තක හෙවත් ‘හරක් කටා’, චිකුන්ගුන්යා වෛරසය වැළදීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

ඔහු මේ වන විට 37 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අතර, එම වාට්ටුව පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලීසිය විසින් දැඩි ආරක්ෂාවක් යටතේ පවත්වාගෙන යන බවද වාර්තා වේ.

ආරක්ෂක හේතූන් මත එම වාට්ටුව ඔහුට පමණක් වෙන් කර ඇති අතර, වෙනත් රෝගීන් කිසිවෙකු එහි යාමට ඉඩ නොමැති බවද සඳහන්ය.

මෙම අතරතුරදී, තමාට පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීමට අවසර ලබාදෙන ලෙස හරක් කටා විසින් ඉල්ලීමක් කළ ද, එය බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved