Connect with us

පුවත්

මංජුට මුදල් එන තැන් පැහැදිළි නෑ – CIDයට විස්තරාත්මක පැමිණිල්ලක්

Published

on

ශ්‍රී ලංකා ගෝලීය කොංග්‍රසය නම් දේශපාලන ව්‍යාපාරයේ නායකයා ලෙස පෙනී සිටින මංජු නිශ්ශංක නැමැත්තා ට විදෙස් රටවලින් මුදල් ලැබෙන මූලාශ්‍ර පැහැදිලි නැති බවත්, එය විනාශකාරී තත්ත්වයක් විය හැකි බවත් පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබේ.

මෙසේ පැමිණිලි කර ඇත්තේ ඕෂල හේරත්, නීතීඥ නාමල් රාජපක්ෂ හා  සේපාල අමරසිංහ යන මහත්වරුන් විසිනි.

ඔවුන් සිය පැමිණිල්ලෙන් පෙන්වා දී ඇත්තේ මංජු විසින් මුදල් විශුද්ධිකරණ සහ මැතිවරණ වියදම් පනත් උල්ලංඝනය කර ඇති බවයි.

මංජු ලංකාවට අමතරව, ඇමරිකාව හා එංගලන්තයේ පුරවැසිභාවය හිමි අයෙක් බවත් ඔවුන් හෙළිකර තිබේ.

ශ්‍රී ලංකා ගෝලීය කොංග්‍රසය මෙරට ලියාපදිංචි නොවූ දේශපාලන ව්‍යාපාරයක් බවත්, එම කොංග්‍රසය ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 5ක් හා දකුණු පළාතේ එක් පළාත් පාලන ආයතනයක් වෙනුවෙන් ”අරුණලු ජනතා පක්ෂය”නම් දේශපාලන පක්ෂයක්ද ‌යොමුකර ඇති බවද පැමිණිල්ලෙන් හෙළිකර ඇත.

අදාළ තැනැත්තා ඉකුත් පාර්ලිමේන්තු මැතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතාගේ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් රුපියල් මිලියන 30ක පමණ මුදලක් වියදම් කර ඇති බවත්, ගොඩහේවා මහතා රාජ්‍ය අමාත්‍ය ධූරය දැරූ සමයේ ඒ වෙනුවෙන් අමාත්‍ය උපදේශක තනතුරක් හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ධුරයක් ලබාදී ඇති බවද පැමිණිල්ලෙන් වැඩිදුරටත් කියා සිටී.

ඔහුගේ ව්‍යාපාර හා දේශපාලන මූලස්ථානය ලෙස දැනට වසරකට වැඩි කාලයක සිට කොළඹ ඇක්සස් ගොඩනැගිල්ලේ 6 වැනි මහල වෙන්කර ගනිමින් පවත්වාගෙන යන බවත්, මේ සදහා දලවශයෙන් මිලියන 5ක් හෝ ඊට වැඩි මුදලක් ගෙවන බවද පැමිණිල්ලෙන් කියා සිටී.

ඊට අමතරව On 320 නැමැති මහල් නිවාසයේ හා ෂැංග්‍රිලා නිවාස සංකීර්ණයේ ද අදාළ අයට නිවාස ඇතැයි එහි වැඩිදුරටත් දක්වා ඇත.

ඇමෙරිකාවේ නිව්යෝක් හි මංජුට නිවසක් තිබුණ ද එම නිවසට ද ඔහු ඩොලර් ලක්ෂ 6කට වැඩි මුදලක් ණයවී සිටින බවත්, ඒ අනුව ඔහු ලංකාව තුළ සිදුකරනු ලබන වියදම් වලට ඔහුට විදෙස් රටවලින් මුදල් ලැබෙන මූලාශ්‍ර සම්බන්ධයෙන් සැකයක් ඇතැයි ද ඒවා සොයා බලන්නැයිද අදාළ පැමිණිල්ලෙන් ඉල්ලා ඇත.

පුවත්

මෙන්ඩිස්ලාගෙන් තවත් පොල්ලක් ; හිරේ ඉන්න ඇලෝසියස් කට උත්තර නැතුව අධිකරණයට

Published

on

By

නොච්චියාගම ප්‍රදේශයේ පුද්ගලික සමාගමකින් කැබිලි බඩ ඉරිඟු ලබාගෙන රුපියල් පන්කෝටි විසිනව ලක්ෂයක මුදලක් වංචා කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මෙන්ඩිස් සමාගමේ සභාපති අර්ජුන ඇලෝසියස් අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂ දහයක් වටිනා ශරීර ඇප හතරක් මත මුදා හැර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන මෙහෙයවා බන්ධනාගාරය මගින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

ඒ අනුව ඇපකරුවන් පවුලේ ළඟම ඥාතීන් විය යුතු බවටද නියෝග කළ අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය සැකකාර අර්ජුන ඇලෝසියස්ට විදේශ ගතවීම වළකාලමින් ආගමන විගමන පාලකවරයාට තහනම් නියෝගයක්ද නිකුත් කළේය.

රජයට ගෙවිය යුතු බදු මුදල් ගෙවීම පැහැර හැරීමේ චෝදනාවට වරදකරු වී දැනට වැලිකඩ බන්ධනාගාරයේ සිර දඬුවම් විඳිමින් සිටින සැකකාර අර්ජුන ඇලෝසියස් යළි 2025 වසරේ පෙබරවාරි මස 10 දින අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට තවදුරටත් නියෝග කරනු ලැබීය.

ඊයේ (06) දිනයේ වරින් වර අවස්ථා තුනකදී මෙම සිද්ධියට අදාළ නඩුව කැඳවූ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය සියලු පාර්ශ්වයන්ගේ කරුණු දැක්වීම් සැලකිල්ලට ගෙන සැකකාර අර්ජුන ඇලෝසියස්ට ඇප නියම කරමින් ප්‍රකාශ කළේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරුගෙන් ප්‍රකාශයක් පවා ලබා නොගෙන මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීම මෙන්ම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමද ගැටලු සහගත බවය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අසම්පූර්ණ සහ දෝෂ සහිත වැඩිදුර වාර්තා මෙන්ම අධිකරණ නියෝග ඉල්ලා සිටීමේ වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීම මෙහිදී අධිකරණයේ දැඩි දෝෂ දර්ශනයට ලක් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වැඩිදුර වාර්තා සහ වෙනත් ලේඛන අධිකරණයට ඉදිරිපත් කිරීමේදී මීට වඩා වගකීමෙන් කටයුතු කරන ලෙසටද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දනුම් දුන්නේය.

මූලාශ්‍රය – අරුණ

Continue Reading

පුවත්

වාහන අවභාවිතා හා බඩ් වාහන ගැන බොරු තොරතුරු දුන් අයට වැඩ වරදියි

Published

on

By

ජනාධිපති අනුර කුමාර දිසානායක පත්වීමෙන් පසු රජයේ වාහන අවභාවිතාවන් හා නීති විරෝධීව එකලැස් කර ඇති වාහන සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට හඳුන්වා දුන් 1997 ක්ෂණික ඇමතුම් මධ්‍යස්ථානය වෙත ලද පැමිණිලි එකසිය තිහකට වැඩි සංඛ්‍යාවකින් සියයකට වැඩි සංඛ්‍යාවක්ම අසත්‍ය තොරතුරු යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා කියයි.

නිවැරදි තොරතුරු ලැබී ඇත්තේ 18 ක් පමණක් බවද තොරතුරු 22 ක් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකෙරෙන බවත් සෙසු සියලු තොරතුරු අසත්‍ය ඒවා බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටී.

මෙවැනි අසත්‍ය තොරතුරු ලබාදුන් පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු කීවේය.

පසුගියදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුජීව සේනසිංහ මහතාගේ නිවසේ නීති විරෝධී ලෙස එකලැස් කළ වාහනයක් ඇතැයි කියන තොරතුරකට අනුව ඔහුගේ නිවස පරීක්ෂාවට ලක්කළ බවද අධිකරණ වරෙන්තුවක් මත එය සිදුකළ බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.සුජීවගේ ගෙදර බඩ් වාහන නොතිබුත් ඒ ගැන තවත් සොයනවා…

මන්ත්‍රිවරයාගේ නිවසෙන් මෙදින එවැනි වාහනයක් හමුනොවූ නමුත් එසේ කියා එය අසත්‍යක් යැයි පසෙකට නොදමන බවත් මේ සම්බන්ධයෙන් තවමත් විමර්ශන සිදුකෙරෙන බවත් හෙතෙම කියා සිටියේය.

මේ අතර පසුගිය සෙනසුරාදා තානාපතිවරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් මෙන්ම ප්‍රකට ව්‍යාපාරිකයන් පදිංචිව සිටින ෂැන්ග්‍රිලා සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ වාහනයක බෝම්බයක් ඇති බවට ලද තොරතුරකට අනුව පරීක්ෂා කිරීමක් කළ බව මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

එවැනි බෝම්බයක් ද එදින හමු නොවූ බවත් මෙය අධිකරණ සෝදිසි වරෙන්තු මත සිදුනොකළේ එය භයානක තොරතුරක් නිසා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ ඊයේ (06) පැවැති කැබිනට් තීරණ ප්‍රකාශ කිරීමේ මාධ්‍ය හමුවේදී කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව කියා සිටියේය.

Continue Reading

පුවත්

ප්‍රදේශ රැසකට නායයෑමේ අනතුරු ඇඟවීමක්

Published

on

By

අද (06) පස්වරු 4:00 සිට හෙට (07) පස්වරු 4:00 දක්වා බලපැවැත්වෙන පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයකට පූර්ව නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබේ. 

ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, රුවැන්වැල්ල, දෙහිඹ්විට, යටියන්තොට, කෑගල්ල, ගලිගමුව, බුලත්කොහුපිටිය, වරකාපොළ සහ අරණායක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කුරුවිට සහ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත “අවදානයෙන් සිටින්න” යනුවෙන් දැනුම්දී ඇත.

එමෙන්ම බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර, කුරුණෑගල, සහ මාතර දිස්ත්‍රික්කවල අවදානම් ප්‍රදේශ සඳහා “විමසිලිමත්ව සිටින්න” යනුවෙන් නායයෑම් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved