Connect with us

පුවත්

මද්‍යසාර හා මත්ද්‍රව්‍ය පාලනයට ජනපති අපේක්ෂකයින්ට යෝජනාවලියක්

Published

on

මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC), ජනාධිපති අපේක්ෂකන්ට මද්‍යසාර, දුම්වැටි පාලනය සහ මත්ද්‍රව්‍ය පාලනය සම්බන්ධයෙන් යෝජනා 12ක් ඉදිරිපත් කරගෙන තිබේ.

දුම්වැටි සහ මද්‍යසාර භාවිතයෙන් දිනකට පුද්ගලයන් 100කට ආසන්න ප්‍රමාණයක් අකාලයේ මරණයට පත් කරයි. ශ්‍රී ලංකාවේ සිදුවන වළක්වා ගත හැකි මරණවලින් 10න් 8කටම බෝ නොවන රෝග (NCD) හේතුවන අතර එම රෝග ඇති වීමට බලපාන ප්‍රධාන සාධක 4න් 2ක්ම දුම්වැටි සහ මද්‍යසාර භාවිතය හේතු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ තොරතුරු වලින් අනාවරණය වී ඇත.

ශ්‍රී ලංකාවේ පුද්ගලයන් දිනකට දුම්වැටි සහ මද්‍යසාර භාවිතය සඳහා රුපියල් කෝටි 121 ක් වියදම් කරනු ලබයි.

දුම්වැටි සහ මද්‍යසාර භාවිතය රටකට තව දුරටත් ආදායමක් නොවන අතර 2022 වර්ෂය තුළ සුරාබදු වශයෙන් ‍රුපියල් බිලියන 165 බදු ප්‍රමාණයක් අයකර ගනු ලැබූවත් මද්‍යසාර භාවිතය නිසා එම වසරේ රටට සෞඛ්‍ය සහ ආර්ථික වශයෙන් ඇති වූ පිරිවැය රුපියල් බිලියන 237 කි.

එමෙන්ම 2016 වර්ෂය තුළ රජය සිගරට් බදු වශයෙන් රුපියල් බිලියන 88 ක් අයකර ගනු ලැබූවත් සිගරට් භාවිතය නිසා සිදු වූ සෞඛ්‍යය සහ ආර්ථික පිරිවැය රුපියල් බිලියන 214ක් බව අධ්‍යයන වලින් අනාවරණය වී ඇත.

මෙරට 9 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වන දින පැවැත්වීමට නියමිතව ඇත. ඒ අනුව සෑම ජනාධිපති අපේක්ෂකයෙකුම ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරන අතර, ඒ තුළ ඇතුළත් කිරීමට යෝජනා කරන රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් රට තුළ දුම්කොළ, මද්‍යසාර සහ අනෙකුත් මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම සඳහා විද්‍යාත්මක ප්‍රවේශයක සිට කටයුතු කරන අප ආයතනය (මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය) විසින් සකස් කර ඇති නිර්දේශ පහතින්.

දුම්වැටි, මද්‍යසාර සහ අනෙකුත් මත්ද්‍රව්‍ය ගැටලු පාලනයට යෝජනා හා නිර්දේශ

01. මද්‍යසාර සහ දුම්වැටි සඳහා වූ බදු උද්ධමනයට සහ ආර්ථික වර්ධනයට ගලපමින් සෑම වසරකම සුරාබදු වැඩි වන විද්‍යාත්මක බදු සූත්‍රයක් හඳුන්වා දෙමින් එය ක්‍රියාත්මක කිරීම.

02. දුම්කොළ සහ මද්‍යසාර සමාගම් දැනටමත් රජයට ගෙවිය යුතු නමුත් පැහැර හැර ඇති බදු අයකර ගැනීමටත් අනාගතයේ එවැනි තත්වයක් ඇති නොවීමටත් ක්‍රමවත් බදු අය කර ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීම.

03. මද්‍යසාර සහ දුම්කොළ භාවිතය හා ප්‍රවර්ධනය අවම කිරීමට දැනට සම්මතකර ඇති නීති හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මෙන්ම දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනතට යෝජනා කර ඇති සංශෝධන කඩිනමින් සම්මත කර ගැනීම.

  • ඒකල වශයෙන් (සිගරට් එක දෙක ලෙසින්) සිගරට් අලෙවිය තහනම් කිරීමේ සශෝධනය ක්‍රියාත්මක කිරීම.
  • අධ්‍යාපන ආයතනයක හෝ ආගමික ස්ථානයක සිට මීටර 100ක් ඇතුළත දුම්වැටි සහ මද්‍යසාර අලෙවි කරන ස්ථානයක් පවත්වා ගෙන යාම තහනම් කිරීමේ සංශෝධනය ක්‍රියාත්මක කිරීම.
  • සියලුම පොදු ස්ථාන දුම්වැටි සහ මද්‍යසාර භාවිතයෙන් තොර කලාප බවට පත් කිරීමේ සංශෝධනය ක්‍රියාත්මක කිරීම.
  • අන්තර්ජාලය ඇතුලු සියලු මාධ්‍ය තුළින් දුම්වැටි, මද්‍යසාර සහ අනෙකුත් මත්ද්‍රව්‍ය භාවිතය දිරිගන්වන ගීත, ගීත ඇල්බම්, චිත්‍රපට, ටෙලිනාට්‍ය, යූ ටියුබ්, ෆේස් බුක්, වීඩියෝ සංවාද ආදී සියලු ආකාරයේ ප්‍රවර්ධනයන් වැළැක්වීම සඳහා වු සංශෝධනය ක්‍රියාත්මක කිරීම.
  • අන්තර්ජාලය හරහා සියලු ආකාරයේ දුම්වැටි, දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන, මද්‍යසාර සහ අනෙකුත් මත්ද්‍රව්‍ය අලෙවිය තහනම් කිරීමේ සශෝධනය ක්‍රියාත්මක කිරීම.
  • දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනතට අදාළ වැරදි අත්අඩංගුවට ගත හැකි වරදවල් බවට පත් කිරීම සහ එම වැරදි වලට පනවන දඩ මුදල් සහ දඩුවම් කාලය වැඩි කිරීමේ සශෝධන ක්‍රියාත්මක කිරීම.
  • නීතියෙන් තහනම් කර ඇති දුම්රහිත දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන සහ නීත්‍යානුකූල නොවන මද්‍යසාර සහ අනෙකුත් මත්ද්‍රව්‍ය අලෙවියට අදාළව නීතිය ක්‍රියාත්මක වීම.
  • දුම්කොළ සහ මද්‍යසාර සමාගම්වල අනුග්‍රාහ දැක්වීම් තහනම් නමුත් එය තවදුරටත් උල්ලංඝනය කිරීම් සිදුවෙමින් පවතී. එය වැළැක්වීම සඳහා කටයුතු කිරීම.
  •  ප්‍රධාන මාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන අලෙවියට අදාළව සෘජු හා වක්‍රාකාර ප්‍රචාරණය සිදු කිරීම නැවැත්වීමට කටයුතු කිරීම.


04. තාවකාලික මද්‍යසාර බලපත් නිකුත් නොකිරීම සහ සංචාරක කර්මාන්තය මුවාවෙන් නිකුත් නරන සුරා බලපත් ලබා දීමේ ක්‍රමවේදය අත් සිටුවීම.

05. 2016 අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ මද්‍යසාර පාලනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම.

06. නීති විරෝධී මද්‍යසාර, දුම්වැටි සහ අනෙකුත් මත්ද්‍රව්‍ය පාලනය සදහා නීතිය ක්‍රියාත්මක කිරීම. ඒ සඳහා ඇති ආයතන ශක්තිමත් කිරීමට ක්‍රියාත්මක වීම.

07. මත්ද්‍රව්‍ය භාවිතයට පුරුදු වීමට පෙර එයින් වළක්වා ගැනීමේ අරමුණෙන්, ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගත් දිගින් දිගටම ක්‍රියාත්මක වන ප්‍රතිඵලදායක දුම්වැටි, මද්‍යසාර සහ අනෙකුත් මත්ද්‍රව්‍ය භාවිතය අධෛර්යමත් කිරීම සඳහා ජාතික මට්ටමේ නිවාරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම.

08. මද්‍යසාර භාවිතය සඳහා යොමු වූවන් එයින් නිදහස් කරගැනීමට උපදේශනය, ප්‍රතිකාර හා වෙනත් සේවා සහ අවශ්‍ය වැඩසටහන් සම්පාදනය කර ක්‍රියාත්මක කිරීම සහ දුම්වැටි සහ මද්‍යසාර භාවිතයෙන් නිදහස් වීමට උදවු ලබාගත හැකි “1948” දුරකතන උපදේශන සේවාව තවදුරටත් පුළුල්කර ක්‍රියාත්මක කිරීම.

09. දුම්කොළ පාලනය සඳහා වන ජාත්‍යන්තර මට්ටමේ සම්මුතියක් වන WHO Framework Convention on Tobacco Control (FCTC) අප රට අත්සන් තබා ඇති අතර එහි ඉලක්ක නිශ්චිත කාල රාමුවකට අනුව අවසන් කිරීම.

10. දුම්වැටි සහ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන අලෙවිය සදහා බලපත්‍රයක් ලබා ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීම සහ බලපත්‍ර නොමැතිව දුම්වැටි සහ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන අලෙවිය තහනම් කිරීම.

11. දුම්කොළ සහ මද්‍යසාර කර්මාන්ත විසින් දැනට පවතින ප්‍රතිපත්ති දුර්වල කිරීමට සහ නව ප්‍රතිපත්ති ගෙන ඒම වළක්වමින් සිදුකරන මැදිහත්වීම් වැළැක්වීමට කටයුතු කිරීම.

12. ගංජා නීතිගත කිරිමේ උගුලෙන් රට ගලවා ගැනීමට ගංජා භාවිතයේ ඇති හානිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සහ ගංජා භාවිතය ප්‍රවර්ධනය කරන විවිධ ආකාරයේ මාධ්‍යයට එරෙහිව කටයුතු කිරීමට අවශ්‍ය නව පනත් සම්මත කිරීම සහ බලාත්මක කිරීම.

මෙම නිර්දේශ ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ගැටලුව අවම කිරීමේ යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම සහ අපේ රටේ පුරවැසියන්ගේ යහ පැවැත්ම සහතික කිරීම අරමුණු කරගෙන සකස් කර තිබේ.

මෙම නිර්දේශ සඳහා ඉදිරි ජනාධිපති අපේක්ෂකයන් ඒ සඳහා ඔවුන්ගේ එකඟතාවය සහ එය ඔවුනගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කිරීමට කටයුතු කරනු ඇතැයි මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය බලාපොරොත්තු වේ.

මෙම වැඩපිළිවෙළට ලබා දෙන සහයෝගය සහ නායකත්වය යටතේ සියලුම ශ්‍රී ලාංකිකයන් සඳහා සෞඛ්‍ය සම්පන්න නිදහසින්, සතුටින් ජීවත් වීමට හැකි පරිසරයක් නිර්මාණය කර දීම අනාගත ජනාධිපතිවරයාගේ වගකීම බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය ලෙස අපි තරයේ අවධාරණය කර සිටිමු.

පුවත්

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය ගැන ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Published

on

By

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමේ වගකීම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, විද්වතුන් හා මාධ්‍ය සංවිධාන වෙත පැවරෙන බව ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඊට පහසුකම් සැලසීම පමණක් ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

Continue Reading

පුවත්

ශ්‍රී ලංකාව BRICS වලට උනන්දුවක් තියෙනවද? මට නම් දැනෙන්නෙ නැහැ – රුසියානු තානාපති

Published

on

By

BRICS සම්මුතිය සමග එක්වීමට උනන්දුවක් දක්වන්නේ නම් රටක් ලෙස ශ්‍රී ලංකාව ඊට ප්‍රායෝගිකව පියවර ගත යුතු බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් මහතා පවසයි.

කොළඹදී ඊයේ පැවති විශේෂ සමුළුවක ප්‍රශ්නෝත්තර වටයේදී ඔහු මේ බව කියා සිටියේය.

“ජාත්‍යන්තර නීතීය තුළ බලය යෙදවීම රුසියානු කෝණයෙන්” යන විශේෂ සම්මන්ත්‍රණයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේදී ඊයේ පැවැත්වුණි.

එහිදී  මාධ්‍යවේදීයෙකු විසින් ශ්‍රී ලංකාව BRICS සමග සම්බන්ධ වෙන්නේ කවදාදැයි විමසා සිටියේය.

ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති ලෙවාන් ජගර්යාන් මහතා – “මේ ප්‍රශ්නය මගෙන් කිහිප සැරයක්ම අහලා තියෙනවා.මම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 01 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවෙන්න ගියා රුසියානු ජනාධිපතිතුමාගේ ආරාධනා පත්‍රයකුත් අරගෙන BRICS සමුළුවට සහභාගී වෙන්න කියලා. මම භාෂා පරිවර්තක සමඟ තමයි කතා කළේ. මම දන්නේ නෑ එයා හරියට පරිවර්තනය කළාද කියලා.ජනාධිපතිවරයා මට කිව්වා මහ මැතිවරණය පැවැත්වෙන නිසා ඔහුට රුසියාවට එන්න වෙන්නේ නැහැ කියලා. BRICS සමඟ සම්බන්ධ වෙනවා නම් රුසියාවෙන් විතරක් නෙවෙයි සාමාජික රටවල් සියලුදෙනාගේ සම්මුතියක් තියෙන්න ඕනේ සහ ඒකට පියවර ගණනාවක් තියෙනවා.”

“රුසියාව,චීනය ශ්‍රී ලංකාවට සහයෝගය දෙනවා නමුත් ඒක කරන්න ඉතින් ඔබගේ පැත්තෙනුත් උනන්දුවක් තියෙන්නේ ඕනේ.එහෙම උනන්දුවක් තියෙනවාද? මට නම් දැනෙන්නේ නැහැ.කරුණාකරලා ප්‍රායෝගික පියවර ටිකක් ගන්න. තව දෙයක් ෂැංහයි සහයෝගිතා සංවිධානය ගැනත් ටිකක් අවධානය දෙන්න කියලා ඔබේ රටට කියනවා.”

මාධ්‍යවේදියා – වසර 3ක පමණ සිට යුක්‍රේනයේ කලාප කිහිපයක රුසියාව සිය අණසක පැතිරවූවා. ඒ කලාපවල අනාගතය කුමක්ද?

“ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති – රුසියානු ව්‍යවස්ථාවට අනුව ඩොනෙස්ක්,ලොහාන්ස්ක්,කර්ෂෝන් සහ සපොරෂියා කලාපය අයිති වෙන්නේ රුසියාවට. යුක්‍රේන හමුදාව සමහර තැන්වල ඉන්නවා ඒ අය ඉවත්විය යුතුයි. ඒ කලාප පිළිබඳ අපි සාකච්ඡා කරන්නේ නැහැ, විශේෂයෙන් ඒවා යළි ලබාදීම පිළිබඳව සාකච්ඡා කරන්නේ නැහැ.”

මූලාශ්‍රය  – අද දෙරණ

Continue Reading

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved