Connect with us

පුවත්

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, මන්ත්‍රී අනුරුද්ධ ඇතුළු තිදෙනා රිමාන්ඩ්

Published

on

රුපිය​ල් කෝටියක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පල ඇතුළු තිදෙනා එළඹෙන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවට අද (11) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

නෞකාවලින් ඉවත් කරන දැවිතෙල් පිරිපහදු කිරීම සඳහා පරිසර ආරක්ෂක බලපත්‍රයක් ලබාගැනීමට මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති  සුපුන් එස්. පතිරගේ විසින් රුපියල් කෝටියක මුදලක අල්ලසක් ඉල්ලූ බව පවසමින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු විසින් පසුගියදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ගොනුකර තිබුණි.

ඔහු එමගින් සඳහන් කර තිබුණේ පසුගිය වසරේ තම බලපත්‍රය ලබාගැනීමට මධ්‍යම පරිසර අධිකාරියට ගිය අවස්ථාවේදී ද එහි සභාපතිවරයා විසින් රුපියල් කෝටි දෙකක මුදලක් ඉල්ලූ අතර එම මුදල ලබාදීමට අපහසු බැවින් එය රුපියල් ලක්ෂ 70ක් දක්වා අඩුකර ගැනීමට හැකි වූ බවය.

පසුව මුදල් ලබාදීමකින් තොරවම අනතුරුව අදාළ බලපත්‍රය ලබාදුන් බවත් අදාළ ව්‍යාපාරිකයා පවසා තිබේ.

කෙසේවෙතත් මේ වසරට අදාළ පරිසර ආරක්ෂක බලපත්‍රය ලබාගැනීමට අදාළ ව්‍යාපාරිකයා ගිය අවස්ථාවේදී නැවත වතාවක් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා විසින් රුපියල් කෝටියක මුදලක් ඉල්ලා ඇත්තේ ඒ සඳහා අනුමැතිය ලබාදීම සඳහාය.

ඒ අදාළ ව්‍යාපාරිකයාට ඊට අදාළ කොන්දේසි සපුරාලීම සඳහා නොහැකිවීම හේතුවෙනි.

අනතුරුව ඔහු විසින් තවත් පුද්ගලයන් දෙදෙනෙකු අදාළ ව්‍යාපාරිකයාට හඳුන්වාදෙමින් පවසා ඇත්තේ, රුපියල් කෝටියක මුදල ඔවුන් දෙදෙනා වෙත ලබාදෙන ලෙසය.

ඒ අනුව ඔවුන් අදාළ ව්‍යාපාරිකයාට පවසා ඇත්තේ රාජගිරියේ පිහිටි සුපිරි වෙළෙඳසැලකට එම මුදල ඊයේ (10) පස්වරුවේ රැගෙන එන ලෙසය.

ඉන්පසුව ව්‍යාපාරිකයා අල්ලස් කොමිසමේ නිලධාරීන් සමග අදාළ ස්ථානයට ගොස් ඇති අතර එහිදී සභාපතිවරයා හඳුන්වාදුන් පුද්ගලයන් පවසා ඇත්තේ රුපියල් කෝටියක මුදල ඔහු සතුව වූ කූඩයට දමන ලෙසය.

එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගනු ලැබීය.

එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, ඒ අතර සිටි අයෙක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ අනුරුද්ධ පොල්ගම්පල හා ඔහුගේ සමීපතමයෙක් වන ටෙනිසන් ෆොන්සේකා නැමැත්තෙක් බවය.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා වන සුපුන් එස්. පතිරගේ අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහුට අයත් කාර්යාලය තුළදීය.

අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම් අතරතුරදී සභාපතිවරයාට අද උදෑසන අධි රුධිර පීඩනය ඇතිවීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලෙන් ඖෂධ ලබාදීමද සිදුකර තිබුණි.

අනතුරුව සැකකරුවන් තිදෙනා අද දහවල් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවට ඉදිරිපත් කළේය.

එහිදී විමර්ශන නිලධාරීන් විසින් සැකකරුවන් ලබාගත් රුපියල් කෝටියක මුදලද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

එම අවස්ථාවේදී පළමු සැකකරු වන මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළේ තම සේවාදායකයා මුදල් ලබාගැනීම කිසිඳු අවස්ථාවකදී සිදුනොකළ බවය.

එමෙන්ම ඔහුගේ බිරිඳ ගුරුවරියක් වන අතර එළඹෙන 15වනදා නිවුන් දරු උපතක් සිදුකිරීමට ඇය රෝහල්ගත කිරීමට සූදානමින් සිටින බවද අදාළ නීතීඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළේය.

තම සේවාදායකයා රක්ෂිත බන්ධනාගාරගත කළහොත් ඇයගේ සෞඛ්‍යට තර්ජනයක් විය හැකි බැවින් ඔහුට ඕනෑම ඇප කොන්දේසියක් මත ඇප ලබාදෙන මෙන් විත්තිකාර පාර්ශ්වයේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අනතුරුව දෙවැනි සැකකරු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පොල හා තෙවැනි සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළේ අල්ලස් කොමිසමේ උපාය දූතයා පැමිණ සිය සේවාදායකයාගේ කූඩයට මුදල් දැමීමෙන් පසුව විමර්ශන නිලධාරීන් විසින් ඔවුන් දෙදෙනා අත්අඩංගුගවට ගත් බවය.

පසුව සියලු කරණු සලකාබැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා සැකකරුවන් තිදෙනා එළඹෙන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.

පුවත්

හිටපු ඇමති ෆවුසිට එරෙහි පෙත්සමකට දින නියම වේ

Published

on

By

ආපදා කළමනාකරන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ නෙදර්ලන්ත රජය මගින් පරිත්‍යාග කරල ලද සුඛෝපභෝගී ජීප් රථයක් සිය පෞද්ගලික පරිහරණයට යොදා ගැනීම තුළින් එවක අමාත්‍ය ඒ .එච්.එම්.ෆවුසි මහතා මහජනතාවගේ මූලික මිනිසා අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න විසින් ගොනුකර තිබු මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා නොවැම්බර් මස 4 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) නියෝග කළේය.

මෙම පෙත්සම අද එස්. තුරෙයිරාජා, මේනකා විජේසුන්දර, සම්පත් අබේකෝන් යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කරන ලදී.

වග උත්තරකාර ෆවුසි හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් නීතිඥවරයෙකු පෙනී නොසිටි අතර ඔහුගේ නම විවෘත අධිකරණයේ අඬගසනු ලැබූ නමුත් එම අවස්ථාවේදී ඔහු අධිකරණයේ පෙනී නොසිටියේය.

පෙත්සම සම්බන්ධයෙන් වන නොතීසි සති හතරක් තුළ වග උත්තරකාර හිටපු අමාත්‍යවරයා වෙත යැවීමට පියවර ගන්නා ලෙසත් අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශවයට නියෝග කරන ලදී.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු ඇමති ඒ .එච්.එම්. ෆවුසි , ඔහුගේ ‍ලේකම් වරිය ලෙස කටයුතු කළ සිත්ති මරීනා මොහොමඩ් ඇතුළු 08 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කරු කියා සිටින්නේ 2010 වසරේ ආපදා කළමනාකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ නෙදර්ලන්ත රජය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට පරිත්‍යාගයක් වශයෙන් සුඛෝපභෝගී මෝටර් රථයක් ලබා දුන් බවත් පසුව ඔහු එය තමන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගත් බවයි.

පසුව අමාත්‍යංශ අරමුදල් වලින් රුපියල් මිලියනයක පමණ මුදලක් වැය කර ඔහු එම වාහනය නඩත්තු කර තිබෙන බවත් පෙත්සමෙන් චෝදනා කර තිබේ.

මෙම චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළ අතර ඔහු එම චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව මහාධිකරණය විසින් වසර 10 කට අත් හිටවූ සිර දඬුවම් නියම කළ බවත් පෙත්සමේ සඳහන් වේ.

අමාත්‍යවරයෙක් වශයෙන් ෆවුසි මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට ප්‍රතිඥාවක් ලබාදී තිබූණද මෙම ක්‍රියාව තුළින් ඔහු එම ප්‍රතිඥාව උල්ලංඝනය කර තිබෙන බවත් ඒ තුළින් ඔහු රටේ ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටි.

Continue Reading

පුවත්

ලංකාවේ Starlink ආරම්භය ගැන ඉඟියක්

Published

on

By

සිංගප්පූරුවේ පැවති 2025 ආසියානු තාක්ෂණ සමුළුවට සමගාමීව, සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් වැදගත් ද්විපාර්ශ්වික හමුවක් සංවිධානය කරන ලදී.

මෙම හමුව සඳහා මෙරට ගරු ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර සන්නිවේදන සහ තොරතුරු ප්‍රතිපත්ති සම්බන්ධීකාරක තානාපති ස්ටෙෆාන් ලැන්ග් යන මහත්වරු එක් වූහ.

ශ්‍රී ලංකා රජය ඩිජිටල් ලෙස පරිවර්තනය කිරීම සඳහා දරන පුළුල් උත්සාහයන් පිළිබඳව තානාපති ලැන්ග් මහතා අගය කළ අතරම ඒ සඳහා සහයෝගය පළ කර සිටියේය.

සාකච්ඡාවේ දී සාකච්ඡා කළ ප්‍රධාන කරුණක් වූයේ ශ්‍රී ලංකාවේ Starlink සේවාවන් ආරම්භ කිරීම සඳහා වන වැඩපිළිවෙලයි.

ස්ටාර්ලින්ක් මෙහෙයුම් දියත් කිරීම සඳහා රජය අවශ්‍ය සියලු ක්‍රියාවලීන් සම්පූර්ණ කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා මෙහිදී තහවුරු කළ අතර  ස්ටාර්ලින්ක් වෙතින් ලබාදීමට නියමිත තොරතුරු පුවරු (Dashboard) ලැබුණු පසු, මෙහෙයුම් ප්‍රමාදයකින් තොරව ආරම්භ කළ හැකි බව ද දන්වා සිටියේ ය.

ඊට අමතරව මෙහිදී තවත් උපායමාර්ගික ක්ෂේත්‍ර කිහිපයක් සාකච්ඡා කළ අතර ඒ අනුව, ගූගල් සහ මෙටා වැනි ප්‍රමුඛ ගෝලීය තාක්ෂණික සමාගම් සමඟ ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය සඳහා අඛණ්ඩ සහාය ලබා ගැනීම, රට තුළ දත්ත මධ්‍යස්ථාන පිහිටුවීම, AI මත පදනම් වූ දත්ත මධ්‍යස්ථාන සංවර්ධනය ඇතුළුව විවිධ අංශ හරහා කෘතිම බුද්ධිය (AI) ඒකාබද්ධ කිරීම, සයිබර් ආරක්ෂණ පනතේ දියුණුව සහ සයිබර් ආරක්ෂණ ඒජන්සිය ශක්තිමත් කිරීම,පවතින මාර්ගගත ආරක්ෂණ පනතට සංශෝධන එක් කිරීම, දත්ත ආරක්ෂණ පනතට සංශෝධන එක් කිරීම සම්බන්ධයව අවධානය යොමු විය.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය සඳහා ඒවා අභියෝගාත්මක සහ සංකීර්ණ බව විස්තර කරමින් තානාපති ලැන්ග් මෙම මුලපිරීම්වල වැදගත්කම සහ අත්‍යාවශයතාවය අවධාරණය කළේය. මෙම පරිවර්තනීය ඩිජිටල් ප්‍රතිපත්ති සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට එක්සත් ජනපදයේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවටත් ඔහු තවදුරත් අවධාරණය කළේය.

මෙම හමුව සඳහා සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සෙනරත් දිසානායක, ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ චාන්සරි ප්‍රධානී අහමඩ් රාසි  සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ උපදේශක සුමුදු රත්නායක යන මහත්වරුන් සහභාගී වූහ.

Continue Reading

පුවත්

විදුලිබල පනතට එරෙහිව පෙත්සමක්

Published

on

By

රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලිබල පනත් කෙටුම් පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පෙත්සමක් ගොනුකර තිබේ.

ඒ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය විසිනි.

මෙම පෙත්සම අද (02) ඒ.එච්.එම්.ඩී.නවාස්, අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

පෙත්සම නැවත විභාගය සඳහා ලබන 06 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (02) නියෝග කරන ලදී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved