Connect with us

පුවත්

මන්ත්‍රීවරියන්ගේ සංසදය නවසීලන්තයේ හිටපු අගමැතිවරියන් හමුවේ

Published

on

නවසීලන්තයේ අධ්‍යයන සංචාරයක යෙදී සිටින ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය නවසීලන්තයේ හිටපු අගමැතිවරියන් වන ජසින්ඩා ආර්ඩන් සහ හෙලන් ක්ලාක් යන මහත්මීහු පසුගිය 27දා හමු විය. 

දේශපාලනය තුළ කාන්තා නායකත්වය සවිබලගැන්වීම, ස්ත්‍රී පුරුෂ සමාජභාවීය බහුවිධභාවය නගාසිටුවීම පිළිබඳ මෙහිදි දිර්ඝ වශයෙන් අග්‍රාමාත්‍යවරියන් සමග සාකච්ඡා කෙරිණි. 2017 සිට 2023 දක්වා නවසීලන්තයේ අග්‍රාමාත්‍ය ධූරය හෙබවූ ජසින්ඩා ආර්ඩන් මහත්මිය සිය පාලන කාලය තුළ ආර්ථික දේශපාලන අර්බුද මෙන්ම කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ සිය රටට නායකත්වය ලබා දීම පිළිබද සිය අත්දැකීම් මන්ත්‍රිවරියන් සමග බෙදා ගත්තාය. විශේෂයෙන් ඇගේ පාලන කාලය තුළ දරුවන් රැක බලා ගැනීමට රැකියාව අත් හල කාන්තාවන්ට නැවත රැකියා වෙළදපොලට පිවිසීම සදහා අවකාශ සැලසීම පිළිබද ඇති කරන ලද ප්‍රතිපත්ති, වැටුප් සමානතාවය ඇති කිරීම සදහා ගන්නා ලද ක්‍රියාමාර්ග, දරු උපතකදී වැටුප් සහිත මව්පිය නිවාඩු ලබාදිම, ළමා දරිද්‍රතාවය අවම කිරීම මෙන්ම රටතුළ මෙන්ම දේශපාලනය තුළදීද ස්ත්‍රී පුරුෂ සමාජ භාවයන්ට හසු නොවන අනෙකුත් ප්‍රජාවගේ අයිතීන් සුරක්ෂිත කිරීම  ආදී කරුණු පිළිබද මෙහිදී මන්ත්‍රීවරියන්ගේ අවධානය යොමු විය.

එමෙන්ම නවසීලන්තයේ පළමු කාන්තා අග්‍රාමාත්‍යවරිය වන හෙලන් ක්ලාක් මහත්මියද ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය වෙත සිය දේශපාලන අත්දැකීම් පිළිබද අදහස් දැක්වූ අතර, විශේෂයෙන් කාන්තාවන් සවිබල ගැන්වීම සදහා සිය ධුර කාලය තුළ ගන්නා ලද ක්‍රියාමාර්ග මෙන්ම විශ්‍රාම දිවිය වෙනුවෙන් ඉතිරි කිරීම සදහා කාන්තාවන් දිරිමත් කිරීම සහ සිවිල් විවාහ ප්‍රතිසංස්කරණ පිළිබදවද සිය අදහස් ඉදිිපත් කළාය. 

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පිළිගැනීම සදහා නවසීලන්තයේ මාඕරි (Maori) ප්‍රජාව නියෝජනය කරමින් සංස්කෘතිකාංගයක්ද මෙහිදී සංවිධානය කොට තිබිණි.

වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ, වෛද්‍ය සීතා අරඹේපොල, රෝහිණි කුමාරි විජේරත්න, නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි, ගීතා සමන්මලී කුමාරසිංහ, නීතිඥ තලතා අතුකෝරල, කෝකිලා ගුණවර්ධන, මුදිතා ප්‍රිශාන්ති, රාජිකා වික්‍රමසිංහ, මංජුලා දිසානායක, ආචාර්ය හරිනි අමරසූරිය මෙන්ම පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර, සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) ඉන්දිරා දිසානායක සහ පාර්ලිමේන්තුවේ මාධ්‍ය කළමණාකාරිනි නිම්මි හාතියල්දෙනිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙරට දේශපාලනය තුළ කාන්තා නායකත්වය සවිබලගැන්වීම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සුරක්ෂිත කිරීම මෙන්ම ශ්‍රී ලාංකීය කාන්තා අභිවෘද්ධිය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග වඩාත් ශක්තිමත් කිරීම අරමුණු කොට ගෙන මෙම අධ්‍යයන සංචාරය ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පූර්ණ අනුග්‍රහය සහිතව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනය (NDI) විසින් සංවිධානය කෙරිණි.

පුවත්

ජර්මනියේ නිල සංචාරයෙන් පසුව ජනපති යළි දිවයිනට

Published

on

By

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරය සාර්ථකව නිම කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ දිවයිනට පැමිණියේය.

මෙම නිල සංචාරයේ දී ජනාධිපතිවරයා ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් (Frank-Walter Steinmeier), ජර්මානු විදේශ අමාත්‍ය ජොහාන් වඩෆුල් (Dr. Johann Wadephul) සහ ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍ය රීම් අලබලි-රඩොවන් (Reem Alabali-Radovan) යන මහත්ම මහත්මීන් හමු වී ද්වීපාර්ශ්වික සාකච්ඡාවල නිරත විය. එහිදී  රජයේ ප්‍රමුඛතා මත පදනම්ව වෙළෙඳ, ඩිජිටල් ආර්ථික, ආයෝජන සහ වෘත්තීය පුහුණු ආදී ක්ෂේත්‍රයන්හි දෙරටේ සහයෝගීතාව පුළුල් කෙරෙන නව මාර්ග පිළිබඳව සොයා බැලීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරිණි.

මීට අමතරව, ජනාධිපතිවරයා ජර්මනියේ සංචාරක හා චාරිකා කර්මාන්ත සංගම්වල (Tourism and Travel Industry Associations) නියෝජිතයන්ගේ හමුවකටද සහභාගී විය.

ජර්මනියේ වාණිජ හා කර්මාන්ත මණ්ඩලය විසින් එම සංගම් මුලස්ථානයේදී (DIHK) සංවිධානය කරනු ලැබූ ව්‍යාපාරික සංසදයට සහභාගී වූ ජනාධිපති අනුර දිසානායක මහතා එහි ප්‍රධාන දේශනයද සිදු කළේය.

ජනාධිපතිවරයා සිය නිල සංචාරය අතරතුර ජර්මනියේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමටද කටයුතු කළේය.

මෙම සංචාරයට ජනාධිපතිවරයා සමඟ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

ආචාර්ය ගීතා ගෝපිනාත් මෙරටට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය ඇතුළු දූත පිරිසක්, දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි තිබේ.

ඔවුන් මෙරටට පැමිණ තිබුණේ කටාර් ගුවන් සේවයට අයත් QR 662 දරණ ගුවන් යානයෙනි.

සිය සංචාරය තුළ දී, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ව සංවිධාන කරන, “ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම:ණය සහ පාලනය” මැයෙන් 2025 ජූනි මස 16 වැනිදා පැවැත්වීමට නියමිත සමුළුවේ විශේෂ ආරාධිතයෙකු ලෙස ආචාර්ය ගෝපිනාත් මහත්මිය සභාගිවනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහායෙන් ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පළමු අර්ධය අවසන් වී ඇති මෙම අවස්ථාවේ දී පැවැත්වෙන මෙම සමුළුවේ දී සාර්ව ආර්ථික ස්ථායීතාව ළඟා කර ගැනීම, ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ පාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලද අත්දැකීම් සහ ඉදිරි අභියෝග පිළිබඳ ව සාකච්ඡා කිරීමට නියමිත ය.

මෙම සංචාරයේ දී, ශ්‍රී ලංකාව සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පවතින සබඳතා පිළිබඳ ව  ශ්‍රී ලංකා බලධාරීන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සහ අනෙකුත් ප්‍රධාන කොටස්කරුවන් සමග සාකච්ඡා පැවැත්වීමට ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකර අධ්‍යක්ෂිකාව අපේක්ෂා කරයි.

Continue Reading

පුවත්

ADB අධ්‍යාපනයට දුන් ණය ආධාර නවත්වන්න යයි; හේතුව ව්‍යාපෘතිවල ප්‍රගතියන් නෑ

Published

on

By

මෙරට අධ්‍යාපන ව්‍යාපෘතිවලට ලබා දෙන ණය ආධාර නතර කිරීමට සිදු වන බවට ආසියානු සංවර්ධන බැංකුව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට අනතුරු ඇඟවීමක් කර ඇතැයි වාර්තා වේ.

මෙම අනතුරු ඇඟවීම කර ඇත්තේ ආසියානු සංවර්ධන බැංකු නියෝජිතයන් අමාත්‍යාංශ නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවකදීය.

ලබා දී ඇති ණය ආධාර යටතේ ආරම්භ කළ ව්‍යාපෘතිවල ප්‍රගතිය සම්බන්ධයෙන් සෑහීමකට පත් විය හැකි තත්ත්වයක් නොවීම මීට හේතු වී ඇත.

විශේෂයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව ලබා දී තිබෙන ඩොලර් මිලියන අනූ නවයක ණය ආධාර සම්බන්ධයෙන් එම නියෝජිතයන් ප්‍රශ්න කර තිබේ.

මෙම මුදල ලබාගෙන ඇත්තේ විෂය මාලා නවීකරණය, පාසල් පෙළපොත් වෙනුවට මොඩියුල ක්‍රමය ක්‍රියාත්මක කිරීමට මෙන් ම පාසල් ඇගයීම් ක්‍රමය විධිමත් කිරීම වෙනුවෙනි.

මෙම එක් ව්‍යාපෘතියක් හෝ ක්‍රියාත්මක කිරීමට ජාතික අධ්‍යාපන ආයතනයට නොහැකි වී තිබෙන නමුත් සූදානම් වීමේ වැඩසටහන් වෙනුවෙන් රුපියල් මිලියන ගණනින් වැය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.

මෙම ව්‍යාපෘති වෙනුවෙන් ලබා ගත් ණය ගිවිසුම් කාලය පවා අවසන් වී තිබෙන බව ආසියානු සංවර්ධන බැංකු නියෝජිතයන් පෙන්වා දී තිබේ. දහවැනි ශ්‍රේණියේ විෂයමාලා නවීකරණයට අදාළව ජාතික අධ්‍යාපන ආයතනය කටයුතු ආරම්භ කර තිබුණ ද ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත්තේ එක සහ හය ශ්‍රේණිවල ප්‍රතිසංස්කරණ පමණක් වීම ද එම නියෝජිතයන්ගේ විවේචනයට ලක් වී ඇතැයි පැවැසේ.

මේ දක්වා අධ්‍යාපන ව්‍යාපෘති 42ක් වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 1330ක පමණ ණය හා ආධාර මෙරටට ලබා දී තිබේ.

ණය හා ආධාර ඉල්ලා සිටීමට පදනම් කර ගත් ප්‍රතිසංස්කරණ යෝජනා සහ එම වැඩසටහන්වලට අදාළව කර තිබෙන වියදම් සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙසත් ව්‍යාපෘතිවලින් ප්‍රගතියක් අත් නොවීමට වගකිව යුත්තේ කවුරුන්ද යන්න හෙළි කරන ලෙසත් ලංකා ගුරු සංගමය අමාත්‍යාංශයෙන් දැඩි ඉල්ලීමක් කරයි.

මූලාශ්‍රය – අරුණ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved