Connect with us

පුවත්

මන්ත්‍රී අර්ච්චුනා තාවකාලික වාරණයක්

Published

on

පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට පටහැනිව කටයුතු කළ මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා සඳහා තාවකාලික වාරණයක් පැනවීමට කටයුතු කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (19) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

රාමනාදන් අර්ච්චුනා මහතා‍ සමබන්ධව කථානායකයවරයා විසින් සිදුකරන ලද සම්පූර්ණ නියෝගයන් මෙසේය,

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතා විසින් පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී හා ඉන් පිටත දී විශේෂයෙන්ම සමාජ මාධ්‍ය භාවිතා කරමින් පුද්ගලයින්, පුද්ගල කණ්ඩායම් හා විවිධ සංවිධාන වලට එරෙහිව ඉතා පහත් පෙලේ වචන භාවිතා කරමින් සිදුකරනු ලැබ ඇති හා සිදුකරමින් පවතින විවිධ මතභේදාත්මක සහ අවමන් සහගත ප්‍රකාශ හේතුවෙන් පෞද්ගලිකව විවිධ පුද්ගලයින්ට සහ විවිධ සමාජ හා ජන කණ්ඩායම්වලට ඇති වී තිබෙන අසහනකාරී තත්ත්වයන් පිළිබඳ තමා වෙත විවිධාකාරයෙන් කරන ලද පැමිණිලි කිරීම් පිළිබඳ කථානායකවරයා අද පාර්ලිමේන්තුවට පැහැදිලි කළේය.

ඒ අනුව, ගරු (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයා විසින් පෞද්ගලිකව කාන්තාවන් ඇතුළුව විවිධ පුද්ගලයින්, විවිධ සමාජ කණ්ඩායම් සහ ආගමික කණ්ඩායම් ඉලක්ක කරමින් එල්ල කරන ලද විවිධ අවමන් සහගත අශෝභන හා දැඩි මතභේදාත්මක ප්‍රකාශ සම්බන්ධව විවිධ පුද්ගලයින්, විවිධ සමාජ සංවිධාන, එසේම මෙම උත්තරීතර සභාව නියෝජනය කරන ආණ්ඩුව හා විරුද්ධ පාර්ශ්වයේ මහජන නියෝජිතයින් ඇතුළු විවිධ පාර්ශ්වයන් තමා වෙත පෞද්ගලිකව පැමිණිලි කොට එකී ප්‍රකාශ සම්බන්ධයෙන් ඔවුන්ගේ දැඩි අප්‍රසාදය, කනස්සල්ල හා කණගාටුව පළ කර තිබෙන අතර, එවැනි ක්‍රියා සම්බන්ධව මෙම උත්තරීතර සභාවේ ප්‍රධානියා වශයෙන් නිසි පියවර ගන්නා ලෙස තමා වෙත මේවන විටත් ඉල්ලීම් රාශියක් ඉදිරිපත් කර ඇති බවද කථානායකවරයා සභාවට දැනුම් දුන්නේය.

විශේෂයෙන්ම පාර්ලිමේන්තුව නැමැති උත්තරීතර සභාව නියෝජනය කරන මහජන නියෝජිතයෙකු ලෙස හිමිව තිබෙන වරප්‍රසාද භාවිතා කරමින්, එම සභාවට පැමිණ පිළිතුරු ලබාදිය නොහැකි පිරිස් සම්බන්ධ‍ව මෙන්ම එම සභාව නියෝජනය කරනු ලබන වෙනත් මහජන නියෝජිතයන් සම්බන්ධයෙන් මෙන්ම වෙනත් විවිධ බාහිර සමාජීය හා ආගමික සංවිධාන ඇතුළු විවිධ ජන කණ්ඩායම් හා ජන කොට්ඨාස ඉලක්ක කර ඉතාමත් පහත් මට්ටමේ වචන භාවිත කරමින් ඔවුන්ගේ පෞද්ගලික ජීවිතවලට අතිශයින් බලපානු ලබන මෙවැනි අවමන් සහගත ප්‍රකාශ සම්බන්ධව කථානායකවරයා වශයෙන් තමාගේ බලවත් අප්‍රසාදය පළ කරන බවද කථානායකවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තුව නැමැති උත්තරීතර සභාව නියෝජනය කරනු ලබන මහජන නියෝජිතයෙකු ලෙස කරනු ලබන මෙම අවමන් සහගත සහ අශෝභන ප්‍රකාශ මඟින් ආයතනයේ උත්තරීතරභාවයට බලවත් කැළලක් හා අවමානයක් සිදුවන බවද කථානායකවරයා අවධාරණය කළේය. තවද, ඒ තුළින් ජාතික සමඟියට හා සංහිඳියාවට බලවත් හානියක් සිදුවන බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.

මෙවැනි ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස අවස්ථා කිහිපයකදීම අදාළ මන්ත්‍රීවරයාට තමා විසින් විවිධාකාරයෙන් අවවාද කර ඇතත්, එකී උපදෙස් පිළිගෙන කටයුතු කරන ආකාරයක් පෙන්නුම් කිරීමට අදාළ මන්ත්‍රීවරයා විසින් මුළුමනින්ම අපොහොසත් වී ඇති බව තමා නිරීක්ෂණය කළ බවද
කථානායකවරයා පැවසීය.

මන්ත්‍රීවරයා විසින් සිදුකරනු ලබන මෙම ක්‍රියා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල විධිවිධානයන්, පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනතේ විධිවිධානයන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ චර්යාධර්ම සංග්‍රහයේ ඇතුළත් විධිවිධාන වලට මෙන්ම, චිරාත් කාලයක සිට පැවත එන පැරණි පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට මුළුමනින්ම පටහැනි හා අනනුකූල බවද කථානායකවරයා විශේෂයෙන් අවධාරණය කළේය.

දිගින් දිගටම ගරු (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයා විසින් සිදුකරනු ලබන මෙම ප්‍රකාශ පිළිබඳව ඉතා ගැඹුරින් අධ්‍යයනය කිරීමෙන් හා සලකා බැලීමෙන් අනතුරුව ඒ තුළින් ජාතික සමඟියට හා සංහිඳියාවට එල්ලවන තර්ජන ද සැලකිල්ලට ගෙන කථානායකවරයා ලෙස තමා වෙත ස්ථාවර නියෝගවල විධිවිධාන ප්‍රකාරව පැවරී ඇති බලතල වලට අනුකූලව 2025 මාර්තු 20 සහ 21, 2025 අප්‍රේල් 08, 09 සහ 10 හා 2025 මැයි 06, 07 සහ 08 යන පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දින අට (08) තුළදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතා විසින් පාර්ලිමේන්තුව තුළදී සිදුකරනු ලබන කිසිදු ප්‍රකාශයක් ශ්‍රව්‍ය, දෘශ්‍ය හා සමාජ මාධ්‍යයන්වල සජීවී විකාශය කිරීම අත්හිටුවීමට කටයුතු කරන ලෙස කථානායකවරයා නියෝග කළේය.

තවද, අවස්ථානුකූලව මන්ත්‍රීවරයා විසින් සිදුකරනු ලබන එවැනි අවමන් සහගත, අ‍ශෝභන සහ පහත්පෙළේ වචන යොදා ගනිමින් කරනු ලබන ප්‍රකාශ සියල්ල හැන්සාඩ් වාර්තා වලින් ඉවත් කිරීමට පියවර ගනු ලබන බවද කථානායකවරයා සභාවට දැනුම් දුන්නේය.

තවද, මෙලෙස සජීවී විකාශය අත්හිටුවීමට කටයුතු කරන කාලය තුළදී මන්ත්‍රීවරයා විසින් පවත්වනු ලබන කථාවල අන්තර්ගතය සහ සිදුකරනු ලබන ප්‍රකාශ පිළිබඳව සැලකිල්ලට ගෙන මෙම තාවකාලික අත්හිටුවීම ඉවත් කිරීම පිළිබඳව සලකා බලනු ලබන බවද ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

පුවත්

මුහුදු පත්ල පිරිසිදු කිරීම ත්‍රිකුණාමලයෙන් ඇරඹේ

Published

on

By

ත්‍රිකුණාමලය පරෙවි දූපත ආශ්‍රිත ප්‍රදේශයේ මුහුදු පත්ල පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (02) පෙරවරුවේ ක්‍රියාත්මක කෙරිණි. සාගර ජීවීන් හට හිතකාමී පරිසරයක් සැකසීම මෙහි අපේක්ෂාවයි.

කොරල්පර පරිසර පද්ධති වලට දැඩි තර්ජනයක් එල්ල කරන ආක්‍රමණශීලී ක්‍රවුන්-ඔෆ්-තෝර්න්ස් නමින් හඳුන්වන ස්ටාර් ෆිෂ් ඉවත් කිරීම, සාගර ජීවීන්ට අනතුරක් කරන සහ ජෛව විවිධත්වය යථා තත්ත්වයට පත් කිරීමට බාධා කරන මාළු දැල් සහ අනෙකුත් හානිකර සාමුද්‍රික සුන්බුන් ඉවත් කිරීම මෙහි මූලික අරමුණු වී ඇත. 

ජගත් පරිසර දිනය නිමිත්තෙන් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය සම්බන්ධීකරණය කළේය. 

පරෙවි දූපත සමුද්‍ර ජාතික වනෝද්‍යානය, ශ්‍රී  ලංකාවේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලයට ඊසාන දෙසින් නිලාවේලි වෙරළේ සිට කිලෝමීටර 1ක් පමණ දුරින් පිහිටා ඇති “විශාල” සහ “කුඩා” පරෙවි දූපත” යන දූපත් දෙකකින් සමන්විත වේ.

සමුද්‍ර උද්‍යානය ආසන්න වශයෙන් හෙක්ටෙයාර 471ක් පුරා පැතිරී ඇති නමුත් ගොඩබිම හෙක්ටෙයාර 9ක් පමණ වේ. විශාල දූපතේ කොරල්පරයක් දළ වශයෙන් මීටර් 200ත් 100ත් අතර උසකින් සහ මුහුදු මට්ටමේ සිට මීටර් 44.8ක් දක්වා උසකින් යුක්ත වේ. මෙම දූපත ශ්‍රී  ලංකාවේ ජෛව විවිධත්වයෙන් යුත් සහ පාරිසරික වශයෙන් සංවේදී සමුද්‍ර  උද්‍යානවලින් එකක් වන බැවින්, එය පිරිසිදු කිරීම කාලෝචිත මෙන්ම සුවිශේෂී වැදගත්කමක් සහිත කාර්යයක්  වේ.

මෙම පරිසර පද්ධතියට ඇති ප්‍රධාන අභියෝග ලෙස නීතිවිරෝධී පිළිවෙත් මඟින් මසුන් ඇල්ලීම, හානිදායක ලෙස කොරල් අස්වැන්න නෙළීමේ ශිල්පීය ක්‍රම, සංචාරක ව්‍යාපාරය නිසා ඇති වන කොරල් පරිහානිය ආදිය හදුනා ගත හැකිය. එසේම, දේශගුණික විපර්යාස හා  මුහුදු උෂ්ණත්වය ඉහළ යාම මතද පරෙවි දූපත අවට කොරල්පරවලට හානි සිදු වේ.

ඒ අනුව, පරෙවි දූපත සංරක්ෂණය කිරීමේ මුලපිරීමක් ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA), ත්‍රිකුණාමලයේ  දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා සංචාරක කාර්යාංශය, ශ්‍රී ලංකා නාවික හමුදාව, ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (IUCN) සහ ශ්‍රී ලංකා කිමිදුම්කරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා පොලීසිය, වනජීවී දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, නිලාවේලි බෝට්ටු සංගමය සහ සර්වෝදය යන ආයතනවලද  ක්‍රියාකාරී සහයෝගය මේ සඳහා ලැබිණි.

මෙම පිරිසිදු කිරීමේ කාර්යය, පාරිසරික සහ ආරක්ෂක ප්‍රමිති අනුගමනය කරමින්, පුහුණුව ලත් කිමිදුම්කරුවන්, සමුද්‍ර ජීව විද්‍යාඥයින් සහ අනෙකුත් සංවිධානවල ස්වේච්ඡා සේවකයින්ගේ එකමුතුවෙන් සිදු කෙරිණි.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් ඩබ්. ජී. එම්. හේමන්ත කුමාර යන මහත්වරු සහ නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු, ප්‍රදේශවාසීහු සහ විදේශ සංචාරකයන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

Starlink සේවා මෙරට ඇරඹීමට සියලු වැඩ සම්පූර්ණයි – එරංග

Published

on

By

ශ්‍රී ලංකාවේ Starlink සේවාවන් ආරම්භ කිරීම සඳහා වන වැඩපිළිවෙළ සඳහා රජය අවශ්‍ය සියලු ක්‍රියාවලීන් මේ වන විට සම්පූර්ණ කර ඇතැයි ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ස්ටාර්ලින්ක් වෙතින් ලබා දීමට නියමිත තොරතුරු පුවරුව (Dashboard)ලැබුණු පසු මෙහෙයුම් ප්‍රමාදයකින් තොරව ආරම්භ කිරීමට හැකිවනු ඇති බවය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ සිංගප්පූරුවේ පැවැති 2025 ආසියානු තාක්ෂණ සමුළුවට සමගාමීව සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කර තිබූ ද්විපාර්ශ්වික හමුවකට එක් වෙමිනි.

මෙම හමුව සඳහා ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර සන්නිවේදන සහ තොරතුරු ප්‍රතිපත්ති සම්බන්ධීකාරක තානාපති ස්ටෙෆාන් ලැන්ග් යන මහත්වරු එක් වූහ.

මෙහිදී තවත් උපායමාර්ගික ක්ෂේත්‍ර කිහිපයක් සාකච්ඡා කර ඇති අතර ඒ අනුව ගූගල් සහ මෙටා වැනි ප්‍රමුඛ ගෝලීය තාක්ෂණික සමාගම් සමග ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්ථනය සඳහා අඛණ්ඩ සහාය ලබා ගැනීම, රට තුළ දත්ත මධ්‍යස්ථාන පිහිටුවීම, AI මත පදනම් වූ දත්ත මධ්‍යස්ථාන සංවර්ධනය ඇතුළුව විවිධ අංශ හරහා කෘතිම බුද්ධිය (AI) ඒකාබද්ධ කිරීම, සයිබර් ආරක්ෂණ පනතේ දියුණුව සහ සයිබර් ආරක්ෂණ ඒජන්සිය ශක්තිමත් කිරීම, පවතින මාර්ගගත ආරක්ෂණ පනතට සංශෝධන එක් කිරීම, දත්ත ආරක්ෂණ පනතට සංශෝධන එක් කිරීම සම්බන්ධවද අවධානය යොමුව ඇත.

එහිදී මෙම අවස්ථාවට එක් වෙමින් ස්ටෙෆාන් ලැන්ග් මහතා පවසා ඇත්තේ මෙම පරිවර්තනීය ඩිජිටල් ප්‍රතිපත්ති සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදි ශ්‍රී ලංකාවට එක්සත් ජනපදයේ අඛණ්ඩ සහාය ලබා දෙන බවය.

(අරුණ)

Continue Reading

පුවත්

හල්ලොලුවගේ වාහනයට වෙඩිතැබීමේ සිද්ධියට තවත් 2ක් අත්ඩංගුවට

Published

on

By

තුසිත හල්ලොලුව මහතාගේ ජීප් රථයට වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අද (02) අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 27 හැවිරිදි සහ 37 හැවිරිදි පුද්ගලයින් බව පොලිසිය පවසයි.

ඔවුන් කඩවත සහ ගණේමුල්ල යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සන්තකයේ තිබී T-56 වර්ගයේ ජීව පතොරොම් 13ක් පුරවන ලද පතොරොම් ගැබක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.

සැකකරුවන් හෙට (03) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved