Connect with us

පුවත්

මනූෂ රට නොගිය අයටත් කාර් පර්මිට් දීලා, විගණකාධිපති හෙළිකරයි

Published

on

එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින්ට විදේශ ප්‍රේෂණ මත පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබා දීම සම්බන්ධයෙන් විගණකාධිපති කාර්යාලය විසින් සිදුකළ විශේෂ විගණනයේ වාර්තාව නිකුත් කර ඇත.

වාහන ආනයනයනයේ දී රජයට බදු අහිමිවීම් සිදුව ඇති බවට විගණන වාර්තාවේ සඳහන් කරුණු වලින් හෙළි වී තිබේ.

නීත්‍යානුකූල මාර්ග ඔස්සේ මෙරටට මුදල් යොමු කරන විගමනික ශ්‍රමිකයින්ට විද්‍යුත් වාහන ආනයනය සඳහා අවසර ලබාදීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවුයේ 2022 වසරේ අගෝස්තු මස 08 වැනිදා යි.

එවකට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබීය.

හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා විද්‍යුත් වාහන ගෙන්වීම සඳහා යෝජනාව ඉදිරිපත් කරන ලදී

යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේ අමාත්‍යවරයා කිව්වේ කුමක්ද?

අමාත්‍ය මනූෂ නානායක්කාර එහිදී පැවසුවේ “විදෙස්ගත ශ්‍රමිකයන් මේ වෙලාවේ එවන මුදල් නිසා තමයි අපිට විශාල වශයෙන් යම් යම් මිලදී ගැනීම් කරන්න ඩොලර් ලබා ගන්න හැකි වෙලා තියෙන්නේ. පහුගිය කාලයේ එවූ මුදල් ප්‍රමාණයේ යම් කිසි අඩුවක් තිබුණත් ජූලි මාසේ වෙද්දී යම් වැඩිවීමක් තියෙනවා. මේ මුදල් නිසා තමයි අපිට තෙල් ටික, ගෑස් ටික, බෙහෙත් ටික ගන්න පුළුවන් වුණේ. ඒ නිසා තමයි අපි මුලින් ම ඉල්ලීමක් කළේ රටේ තියන ප්‍රශ්නය විසදාගන්න ඔබට පුළුවන් සහයෝගයක් දෙන්න කියලා.”

“සමහරු උන්ඩියල්,හවාලා වැනි ක්‍රම හරහා සල්ලි එවද්දී රටට ආදරේ මිනිස්සු ටික තමන්ගේ ඩොලර්, යෙන්, ඩිනාර් ටික බැංකු හරහාම එව්වා. ඒ ඩොලර් සංචිත වලින් මේ රටේ මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා ටික සම්පූර්ණ කරන්න පුළුවන් වුණා. ඒ නිසා කැබිනට් මණ්ඩලයේ පූර්ණ එකඟතාවය මත අපේ අමාත්‍යංශය, මුදල් අමාත්‍යංශය සහ මහ බැංකුව එකතු වෙලා එවන ප්‍රේෂණ වැඩි කරන්න කැබිනට් මණ්ඩලයට යෝජනාවක් කළා.” යනුවෙන් ද එහිදී අමාත්‍යවරයා පැවසීය

නිකුත් කළ බලපත්‍ර ගැන අනාවරණයක්

වාහන බලපත්‍ර ඉල්ලුම් කිරීම් සඳහා ලැබී ඇති ප්‍රේෂණවල වටිනාකම

ඒ අනුව, 2022 සැප්තැම්බර් මස 22 වැනිදා සිට 2024 ජුනි 30 දක්වා කාලය තුළ දී මෙරටට විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා ඉල්ලීම් කළ පුද්ගලයින් සඳහා බලපත්‍ර 10,77ක් නිකුත් කර තිබු අතර ඉන් බලපත්‍ර 77ක් අවලංගු කර ඇති බව විශේෂ විගණන වාර්තාවේ සඳහන් වේ.

2024 වසරේ ජුනි මස 30 වැනිදා වන විට නිකුත් කර තිබු වලංගු බලපත්‍ර 1000ක් අතුරින් බලපත්‍ර 510 කට අදාළව පමණක් වාහන ආනයනය කිරීමට බලපත්‍රලාභීන් කටයුතු කර ඇති බව මෙම වාර්තාවේ දක්වා තිබේ.

කෙසේ වුවද 2024 ජුනි 30 වනදා වන විට මෝටර් රථ කොමසාරිස් ජනරාල් කාර්යාලයේ ලියාපදිංචි කර තිබුණේ ආනයනික වාහන වලින් 375ක් පමණක් බව ද එහි සඳහන් කර ඇත.

2024 ජුනි 30 දින වන විට ඇමෙරිකානු ඩොලර් 121,505,640ක් විදේශ ප්‍රේෂණ, යෝජනා ක්‍රමය යටතේ බලපත්‍රලාභීන්ගේ බැංකු වෙත ලැබී තිබු අතර, ආනයනික වාහන 510ක් සඳහා ඇමෙරිකානු ඩොලර් 24,100,757ක් විදේශ වෙත ප්‍රේෂණය කර තිබු බව වාර්තාවේ සඳහන් වේ.

බලපත්‍ර 1000ක් අතුරින් බලපත්‍ර 510 කට අදාළව පමණක් වාහන ආනයනය කිරීමට බලපත්‍රලාභීන් කටයුතු කර ඇත

විගණනයට ඉදිරිපත් නොකළ ලිපිගොනු

වාහන ආනයනය කිරීමේ මාසික සාරාංශය

මෙම බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළ ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමේදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිප දෙනෙක් අක්‍රමවත්ව කටයුතු කිරීම හේතුවෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී බරපතල ලෙස විනිවිදභාවය කඩකර ඇති බවට නිරීක්ෂණය වී ඇති බව විගණකාධිපති කාර්යාලය නිකුත් කළ විශේෂ වාර්තාවේ සඳහන් කර තිබේ.

එමෙන්ම සහනදායී තීරුබදු වාහන බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක රජයේ බලයලත් ආයතනය වන මහා භාණ්ඩාගාරයේ වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව හෝ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාදී තිබු ආනයන අපනයන පාලක වෙත එම කටයුතු පැවරීමකින් තොරව, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් විසින් එම කටයුතු පවරා ගැනීම තුළින් අධිකාරී බලය අවභාවිතා කිරීම හා පැවතිය යුතු යහපත් අභ්‍යන්තර පාලන ක්‍රමවේද නොසලකා හැරීමක් කර තිබෙන බව‍ ද නිරීක්ෂණය වන බවට මෙම වාර්තාවේ කරුණු සඳහන් වේ.

එමෙන්ම බලපත්‍ර නිකුත් කිරීමට අදාළ ලිපිගොනු 64ක් විගණනයට ඉදිරිපත් කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයා අපොහොසත් වූ බවට ද මෙහිදී කරුණු හෙළිවී තිබේ.

විදේශගත නොවූ පුද්ගලයින්ට ද විද්‍යුත් වාහන ආනයනයට බලපත්‍ර ලබාදී ඇත.

රට නොගිය අයට දුන්න වාහන බලපත්‍ර

විද්‍යුත් වාහන බලපත්‍රයක් ලබා ගැනීමට නම් 2022 මැයි 01 දින සිට 2023 සැප්තැම්බර් 15 දින දක්වා කාලපරිච්ඡේදය තුළ විදේශ රටක සේවා නියුක්ත වී සිටීමේ කොන්දේසිය සපුරාලිය යුතු වුවත්, එලෙස තහවුරු කර ගැනීමේ ක්‍රමවේදයක් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් අනුගමනය කර නොතිබූ බව විශේෂ විගණන වාර්තාව මගින් හෙළිකර තිබේ.

කෙසේ වුවද ස්වාධීන විගණන පරික්ෂාවල දී විදේශගත වූ බවට තහවුරු නොවූ පුද්ගලයින් 04 දෙනෙකු වෙනුවෙන් එම නීතිරීති නොසලකා විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කර ඇති බවට නිරීක්ෂණය වූ බව මෙම වාර්තාවේ සඳහන්ව ඇත.

අදාළ කාලපරිච්ඡේදයේදී මෙම පුද්ගලයින් සිව්දෙනාගේ බැංකු ගිණුම්වලට ඇමෙරිකානු ඩොලර් 445,942ක විදේශ ප්‍රේෂණ ලැබී තිබිණි.

විදේශගත නොවූ පුද්ගලයින්ගේ බැංකු ගිණුම් සඳහා ලැබී තිබුණු මෙම විදේශ මුදල් ප්‍රේෂණ මුදල් විශුද්ධිකරණය මගින් හෝ වෙනත් අනීතික ආකාරයකින් ලද මුදල් නොවන බවට තහවුරු කර ගැනීමට කටයුතු කර නොතිබූ බව ද මෙම විශේෂ විගණන වාර්තාවේ සඳහන් කර තිබේ.

මේ අතර බලපත්‍ර නිකුත් කිරීමට ප්‍රේෂණ ඒවා ඇති කාල පරිච්ඡේදය තුළ අවස්ථා කිහියක දී විදේශගත වූ පුද්ගලයින් 404 දෙනෙක්, බලපත්‍ර නිකුත් කිරීමට ප්‍රේෂණ ඒවා ඇති පරිච්ඡේදය තුළ විදේශගත වී සිටි පුද්ගලයින් 383 දෙනෙක්ට සහ බලපත්‍ර නිකුත් කිරීමට ප්‍රේෂණ ඒවා ඇති පරිච්ඡේදය තුළ දින 03ත් මාස 03 අතර කාලසීමාවකට එක් වරක් පමණක් විදේශගත වී සිටි පුද්ගලයින් 15 දෙනෙකුට විද්‍යුත් වාහන ගෙන්වීම සඳහා බලපත්‍ර නිකුත් කර තිබේ.

එමෙන්ම මෙම විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර ලබා ගැනීම සඳහා විදෙස්ගත ශ්‍රමිකයින් 15 දෙනෙකු විසින් එක් අවස්ථාවකට වඩා වැඩි වාර ගණනකදී බලපත්‍ර ඉල්ලුම් කර තිබු අතර එම බලපත්‍ර ලේඛනගත කර අංක ලබා දී පසුව වැඩිපුර ලේඛනගත කළ බලපත්‍ර අවලංගු කිරීමට කටයුතු කර ඇති බව විගණන වාර්තාවේ දැක්වේ.

වාහන ආනයනය කළ සමාගම් ගැන හෙළිවූ කරුණු

කැබිනට් අනුමැතියක් හෝ මුදල් අමාත්‍යාංශයේ නිර්දේශයකින් තොරව මෙම යෝජනා ක්‍රමය යටතේ බලපත්‍රලාභීන් සඳහා වාහන ආනයනය කිරීමට පහසුකම් සපයන ආනයනකරුවන් ලෙස ආයතන ලියාපදිංචි කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය කටයුතු කර තිබු බව විගණන වාර්තාවේ කරුණු සඳහන් කර තිබේ.

විදෙස්ගත ශ්‍රමිකයින්ට විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා අයදුම්පත් කැඳවා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය විසින් වාහන ආනයන කිරීම සඳහා වන ආයතන 31ක් ලියාපදිංචි කර ඇති බවට විගණන වාර්තාවේ සඳහන් තිබේ.

ඒ අනුව Auto Capital Investment (Pvt) Ltd ආයතනය විසින් බලපත්‍රලාභීන් 335ක් වෙනුවෙන් ද, Overland Auto Mobile ආයතනය බලපත්‍රලාභීන් 305ක් වෙනුවෙන් ද, එනම් මුළු බලපත්‍ර සංඛ්‍යාවෙන් සීයයට 64ක් සඳහා වාහන ආනයන පහසුකම් සැපයීමට කටයුතු කර තිබුණි.

එසේ ලියාපදිංචි කරන ලද ආයතන දෙක විසින් බලපත්‍රලාභීන් 640ක් සඳහා වාහන සැපයීමේ පහසුකම් සපයන ආනයනකරු ලෙස කටයුතු කර තිබුණ ද, වාහන ආනයන කටයුතු වෙනත් පාර්ශව මගින් සිදු කර තිබූ හෙයින් මෙම ලියාපදිංචි කර ඇති ආයතන සඳහා අතරමැදි ව්‍යාපාරික අවස්ථාවක් මේ හරහා නිර්මාණය වී තිබුණු බවට නිරීක්ෂණය වූ බව විගණන වාර්තාව මගින් අනාවරණ කර ඇත.

මේ අතර වාහන ආනයනයේදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ වාහන ආනයනකරුවන් ලෙස ලියාපදිංචි නොවූ ආයතන 27ක් හරහා බලපත්‍රලාභීන් 510 දෙනෙකු වාහන ආනයනය කිරීමට කටයුතු කර ඇති බවට රේගු දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කළ දත්ත මගින් අනාවරණය වූ බව විශේෂ විගණන වාර්තාවේ දක්වා තිබේ.

වාහන ආනයනය සඳහා ලියාපදිංචි වූ ආයතන දෙකක් මගින් බලපත්‍රලාභීන් 640ක් සඳහා වාහන ගෙන්වා ඇත.

රජයට අහිමි වූ ආදායම

මෙරටට ආනයනය කළ විද්‍යුත් වාහන 510 සඳහා පමණක් සුඛෝපභෝගී බදු නිදහස් සීමාව රුපියල් මිලියන 06 සිට රුපියල් මිලියන 12 දක්වා ඉහළ දැමීම හේතුවෙන් විගණනයේ ගණනය කිරීම් අනුව අයකරගත හැකිව තිබුණු රුපියල් මිලියන 1,384ක බදු ආදායමක් රජයට අහිමි වී තිබුණු බව නිරීක්ෂණය වූ බව විශේෂ විගණන වාර්තාවේ සඳහන් කර තිබේ.

එමෙන්ම මෙම බලපත්‍ර මත ආනයනය කරන CIF වටිනාකමින් සීයයට 10ක බද්දක් ගෙවා වෙනත් පාර්ශවයකට පැවරීමට අවස්ථාව ලබා දී තිබුණද, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ලබා ගන්නා ලද තොරතුරු අනුව වෙනත් පාර්ශවයන්ට පවරා තිබූ වාහන 06ක් සඳහා රුපියල් මිලියන 12.8ක් වූ පැවරුම් බදු ගෙවූ බවට විගණනයට තහවුරු නොවූ බව මෙම විගණන වාර්තාවෙන් හෙළිකර තිබේ.

විගණන වාර්තාවෙන් ලබාදුන් නිර්දේශ

විදේශ ශ්‍රමිකයින් සඳහා වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරීමේ දී හෙළිවූ කරුණු සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් නිර්දේශ 10ක් සිය විශේෂ විගණන වාර්තාවේ දක්වා තිබේ.

එහිදී වාහන ආනයනයේදී ප්‍රතිපත්ති හා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ඇතුළත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලත් කමිටු වාර්තාවෙහි දක්වා තිබු ප්‍රතිපත්තිමය කරුණු 04ක් උල්ලංඝනය කරමින් විද්‍යුත් වාහන ආනයනයට අදාළ 2/2022 දරන 2022 අගෝස්තු 31 දිනැති චක්‍රලේඛය නිකුත් කිරීම සම්බන්ධයෙන් අදාල බලධාරීන්ට එරෙහි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නිර්දේශ කර තිබේ.

එමෙන්ම ඉතා කෙටි කාලපරිච්ජේදයක් සඳහා විදේශගතව තිබු පුද්ගලයින් 419 දෙනෙකුට බලපත්‍ර නිකුත් කර තිබුණු අතර එම අයදුම්කරුවන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂාවන් සිදු කර යම් අක්‍රමිකතාවයක් සිදු වී හෝ සිදුකර ඇත්නම් ඒ සඳහා වගකිව යුතු පාර්ශවයන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීම හා රජයට සිදුවී ඇති අලාභයන් අයකර ගැනීමට ද විගණන වාර්තාවෙන් නිර්දේශ කර ඇත.

මූලාශ්‍රය: බීබීසී සිංහල

පුවත්

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය ගැන ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Published

on

By

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමේ වගකීම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, විද්වතුන් හා මාධ්‍ය සංවිධාන වෙත පැවරෙන බව ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඊට පහසුකම් සැලසීම පමණක් ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

Continue Reading

පුවත්

ශ්‍රී ලංකාව BRICS වලට උනන්දුවක් තියෙනවද? මට නම් දැනෙන්නෙ නැහැ – රුසියානු තානාපති

Published

on

By

BRICS සම්මුතිය සමග එක්වීමට උනන්දුවක් දක්වන්නේ නම් රටක් ලෙස ශ්‍රී ලංකාව ඊට ප්‍රායෝගිකව පියවර ගත යුතු බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් මහතා පවසයි.

කොළඹදී ඊයේ පැවති විශේෂ සමුළුවක ප්‍රශ්නෝත්තර වටයේදී ඔහු මේ බව කියා සිටියේය.

“ජාත්‍යන්තර නීතීය තුළ බලය යෙදවීම රුසියානු කෝණයෙන්” යන විශේෂ සම්මන්ත්‍රණයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේදී ඊයේ පැවැත්වුණි.

එහිදී  මාධ්‍යවේදීයෙකු විසින් ශ්‍රී ලංකාව BRICS සමග සම්බන්ධ වෙන්නේ කවදාදැයි විමසා සිටියේය.

ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති ලෙවාන් ජගර්යාන් මහතා – “මේ ප්‍රශ්නය මගෙන් කිහිප සැරයක්ම අහලා තියෙනවා.මම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 01 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවෙන්න ගියා රුසියානු ජනාධිපතිතුමාගේ ආරාධනා පත්‍රයකුත් අරගෙන BRICS සමුළුවට සහභාගී වෙන්න කියලා. මම භාෂා පරිවර්තක සමඟ තමයි කතා කළේ. මම දන්නේ නෑ එයා හරියට පරිවර්තනය කළාද කියලා.ජනාධිපතිවරයා මට කිව්වා මහ මැතිවරණය පැවැත්වෙන නිසා ඔහුට රුසියාවට එන්න වෙන්නේ නැහැ කියලා. BRICS සමඟ සම්බන්ධ වෙනවා නම් රුසියාවෙන් විතරක් නෙවෙයි සාමාජික රටවල් සියලුදෙනාගේ සම්මුතියක් තියෙන්න ඕනේ සහ ඒකට පියවර ගණනාවක් තියෙනවා.”

“රුසියාව,චීනය ශ්‍රී ලංකාවට සහයෝගය දෙනවා නමුත් ඒක කරන්න ඉතින් ඔබගේ පැත්තෙනුත් උනන්දුවක් තියෙන්නේ ඕනේ.එහෙම උනන්දුවක් තියෙනවාද? මට නම් දැනෙන්නේ නැහැ.කරුණාකරලා ප්‍රායෝගික පියවර ටිකක් ගන්න. තව දෙයක් ෂැංහයි සහයෝගිතා සංවිධානය ගැනත් ටිකක් අවධානය දෙන්න කියලා ඔබේ රටට කියනවා.”

මාධ්‍යවේදියා – වසර 3ක පමණ සිට යුක්‍රේනයේ කලාප කිහිපයක රුසියාව සිය අණසක පැතිරවූවා. ඒ කලාපවල අනාගතය කුමක්ද?

“ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති – රුසියානු ව්‍යවස්ථාවට අනුව ඩොනෙස්ක්,ලොහාන්ස්ක්,කර්ෂෝන් සහ සපොරෂියා කලාපය අයිති වෙන්නේ රුසියාවට. යුක්‍රේන හමුදාව සමහර තැන්වල ඉන්නවා ඒ අය ඉවත්විය යුතුයි. ඒ කලාප පිළිබඳ අපි සාකච්ඡා කරන්නේ නැහැ, විශේෂයෙන් ඒවා යළි ලබාදීම පිළිබඳව සාකච්ඡා කරන්නේ නැහැ.”

මූලාශ්‍රය  – අද දෙරණ

Continue Reading

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved