Connect with us

පුවත්

මහනුවර අලි කුලප්පු වෙලා; නරඹන්නෝ වැවට පැනලා (වීඩියෝ)

Published

on

මහනුවර ඇසළ පෙරහරේ දෙවැනි කුඹල් පෙරහර ඊයේ (22) රාත්‍රියේ වීදී සංචාරය කරමින් තිබියදී හදිසියේම සිදු වූ අලි කුලප්පුවක් හේතුවෙන් නොසන්සුන් කාරී තත්ත්වයක් ඇතිව තිබේ.

එම නොසන්සුන්තාව නිසා ජනතාව දිව යෑමට උත්සහ කිරීමේදී ඇති වූ තෙරපීමත් සමඟ කිහිප දෙනකු මහනුවර වැවට වැටීමෙන් පසු පොලිස් ජීවිතාරක්ෂක අංශයේ නිලධාරීන් විසින් ඔවුහු නිරුපද්‍රිතව බේරා ගනු ලැබූහ.

සිද්ධියෙන් තුවාල ලැබූ කාන්තාවක මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

කතරගම දේවාල පෙරහරේ ගමන් ගත් අලියකු කුලප්පු වී පෙරහර මාර්ගයේ ඉදිරියට දිව ඒමත් සමඟ ඊට ඉදිරියෙන් ගමන් ගත් විෂ්ණු දේවාල පෙරහරේ ගමන් ගත් ඇතුන් දෙදෙනකු කලබල වී වැව් බැම්ම දෙසට දිව යෑම නිසා වැව අද්දර පෙරහර නරඹමින් සිටි ජනතාව නොසන්සුන්ව හැසිරීමත් සමඟ ඒ අතර සිටි කිහිප දෙනකු වැවට වැටීමට අමතරව වැවට පැන ඇති බවද පැවසේ.

‍පසුව නොසන්සුන්කාරී ලෙස හැසිරුණු අලියා සහ ඇතුන් දෙදෙනා මෙල්ල කර බැඳ දැමීමට පශු වෛද්‍යවරුන් හා ඇත් ගොවුවන් කටයුතු කර තිබේ.

ඉන් පෙරහර ගමන් මඟට බලපෑමක් සිදු නොවූ බවද පැවසේ.

අලි කුලප්පු දේශපාලනයට එතරම් යහපත් නොවන බවට ද මතයක් තිබේ.

වීඩියෝව – Accident 1st 

දළදා පෙරහැරේ අලි කුලප්පු ඉතිහාසය…

මේ එසේ 2021 වසරේදී රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් අලි කුලප්පුව ගැන තැබූ සටහනකි. 

දළදා පෙරහැර හා ලංකා දේශපාලන අතර දැවැන්ත සම්බන්ධයක් තිබේ. කාලයකට පෙර ‘පූජනීය දළදා සංස්කෘතිය‘ දාහතරවන කලාපයට පෙරවදනක් ලියන්නට මම දළදා සංස්කෘතියේ දේශපාලනය අධ්‍යයනය කළෙමි.

දළදා සංස්කෘතියේ දේශපාලන කතාව කියන්නට දළදා හාමුරුවන්ගෙන් අවසරයි!

ඇත්තු කුලප්පු හා මැතිවරණ

මහනුවර දළදා පෙරහරේ අලි කුලප්පුවීමකින් 1959 අගෝස්තු 19 දින පුද්ගලයින් 15 ක් මිය ගියේය. පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙඩි තබා ඇතා ඝාතනය කළේය. මේ අලි කුලප්පුව ගැන දීර්ඝ ලිඛිත සාහිත්‍යයක් ‘අලි කොමිසම‘, පාර්ලිමේන්තුව, පත්තර, මහෙස්ත්‍රාත් විභාගය හරහා නිර්මාණය විය.
පසුව එය රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන් එපිට මැතිවරණ වේදිකාවට ද ගියේය.

“දේශපාලන කුලප්පුවලින් අලින් කුලප්පු වෙලා” එදා මුදල් ඇමති ස්ටැන්ලි ද සොයිසා කීවේය. ටී.බී.ඉලංගරත්න ඇමතිගේ මැදිහත්වීමෙන් පරීක්ෂණයක් පටන්ගත්තේය.

එදා පටන් අලි කුලප්පුව දේශපාලනය හා බැඳී ඇත.

1959 සැප්තෑම්බර් 25 බණ්ඩාරනායක ඝාතනය සිදු විය.  ලංකා දේශපාලනය උඩු යටි කුරු කළ 56 විප්ලවයෙන්‘ 1956 අප්‍රේල් බිහි වූ ආණ්ඩුව සිය කාලය සම්පූර්ණ කිරීමටත් පෙර, 1959 දෙසැම්බර් 4 බිඳවැටුණි. 1960 මාර්තු මැතිවරණයෙන් එජාපයේ ඩඩ්ලි සේනානායක ආණ්ඩු පිහිටවූවේය.


1959 දළදා පෙරහරේ කුලප්පු වූ ඇතා පොලිස් වෙඩි පහරින් මිය ගොස් සිටි අයුරු…

1976 අගෝස්තු ඇසළ පෙරහැරේ පත්තිනි දේවාල රන්දෝලියේ ඇතා කුලප්පුවිය. පොලිස් වෙඩි පහරින් පත්තිනි දේවාලයේ වතුර මල අසල දි ඇතා මැරී වැටුනේය. 1977 ජූලි 22 එජාපය  5/6 ක බලයක් සහිතව ආණ්ඩු බලය ලබාගත්තේය.

1992 අගෝස්තු නෙරංජන් විජේරත්න දියවඩන නිලමේ සමයේ දී, පෙරහර කරඬුව රැගත් මංගල හස්තිරාජයා කලබලයට පත් වූවේ විදුලි කාන්දුවක් හේතුවෙන් රන්සිවිගේ ගිනිගැනීමෙනි. වර්ෂ 1992 කරඬුුව වඩම්වන්නට  සිටි රත්නපුර සමන් දේවාලයේ ඇතා ඇත් ගොව්වාට පහර දී කලබැගෑනියක් ඇති වූවේ කරඬුව බඳින්නට සුළු වේළාවකට පෙරය.  ඇතා නිර්වින්දනය කළ අතර, පෙරහැර කරඬුව වැඩම කරනු ලැබූවේ ජයරාජා නම් ඇතා පිට ය. 1993 මැයි 1 දින ජනාධිපති ආර්.ප්‍රේමදාස ඝාතනය විය. 1993 මැයි 17 පලාත් සභා ඡන්ද විමසීමේ දී බස්නාහිර, වයඹ සහ දකුණු පළාත් සභා බලය විපක්ෂයට ගියේය.

1993 අගෝස්තු ජනපති ඩී.බී.විජේතුංග සමයේ දෙවැනි කුඹල් පෙරහැරේ දී කරඩුව මඩම්මවන මගුල් ඇතු කුලප්පුවූවා පමණක් නොව ඇඳ වැටුණි. 1994 අගෝස්තු 16 දින එජාපයේ 17 වසරක පාලනය අවසන් වී චන්ද්‍රිකා බණ්ඩාරනායක අගමැතිවරයා ලෙස පත් විය.

2012 හෝ 2013 පළමු කුඹල් පෙරහැර අතර, මහ වැසි වැටී මහමළුවේ තිබූ දැවැන්ත අට්ටාලයක් කඩා වැටුණි. එහි ශබ්දයට අලි කලබල වූ අතර, අලි රංචුවට බිය වී වැටී එක් (ගැබිණි කාන්තාවක්) මියගියේය. මහ වැස්ස නිසා එදා පෙරහැරේ බෙර වාදනය කළේ සුදු ඉටිරෙදිවලින් වසා (මළ ගෙදරක) වාගේ ය.

2014 මහ පෙරහැරේ දී කරඬුව මඩම්මවමින් සිටි ඉන්දි රාජා ට කොටුගොඩැල්ල වීදියේ දී දෑලේ සිටි බූරුම රාජා දළ පහරක් එල්ල කළේය. එදා පෙරහැර ගෙවැදුනේ දෑලේ ඇතුන් රහිතව ය.

2014 පෙරහැර අවසන් වී දින කිහිපයකින් ලංකාවේ දේශපාලනය වෙනස් වන්නට පටන් ගෙන, 2015 ජනවාරි 8 යහපාලන ආණ්ඩුව බිහිවිය.

2019 අගොස්තු මාලිගාවේ ඇතෙකුට පහරදීමට නාථ දේවාලයේ පෙරහැරට ගෙන ආ අලියෙක් උත්සහ කළේය. 2019 නොවැම්බර් මැතිවරණයෙන් යහපාලන ආණ්ඩුව බිඳවැටුණේය.

අටුවා කථාව

දළදා සංස්කෘතියේ අලි ඇත්තු කලබලවීම ගැන 1959 කතාවේ දී නුගවෙල නිළමේ කරඬුව වැඩම කළ ඇතා ගේ දළයෙන් අල්ලා ගෙන කලබලය සමනය කර ගත් අයුරු ගැන දීර්ඝ ලිඛිත සාක්ෂි ඇත.

1976 පත්තිනි දේවාලයේ ඇතා නවරත්න නිළමේ (අමාත්‍යවරයෙකි) ඉදිරිපිට වෙඩි වැදී මියයාම ගැන පොලිස් වාර්තා පවසන්නේ ‘අත්වැරැද්දකින් වෙඩි වැදීමක්‘ ලෙස ය.

1992 සිද්ධිය ජනමාධ්‍ය එදා වාර්තා කළේ නැත. සිද්ධිය ඇසින් දුටුවන්, අවසන් මොහොතේ පෙරහැර කරඬුව බැදීමේ කාර්යය ඉටු කළ ජයතිස්ස බණ්ඩාර ඇහැලමල්පේ ඇතුළු කිහිප දෙනෙකු හැර සිද්ධියට ලිඛිත සාක්ෂි නැති තරම් ය.

1993 අවසනාවන්ත සිදුවීමට මුහුණ දුන්නේ කරඬුව වඩම්මවමින් සිටි ඇතා ය. කරඬුවට හානියක් නොවු නමුත් ඇතා ඇඳ වැටුණු බව ඇසින් දුටුවන්ගෙන් මම අසා ඇත්තෙමි.

විග්නේෂ්වරන් මහ ඇමති ධූරයට පත් වූ උතුරු පලාත් සභා ඡන්දය තිබුණේ 2013 සැප්තෑම්බර් 21 දින යි. මහ මළුවේ පීඨිකාව කඩා වැටීමෙන් පසුව අලි කුලප්පු වූයේ 2012 ද නැතිනම් 2013 වසරේ දැයි මට නිශ්චිත නැත.

2019 අගොස්තු මාසයේ නාථ දේවාලය අසල බැඳ සිටි (පෙරහැරේ නොගිය) සතෙකු මාලිගාවේ පෙරහැරේ ගිය සතෙකුට පහරදීම/පහරදීමට උත්සහ දැරීම නිසා පෙරහැර ගෙවදීමට ආසන්නයේ කලබලය සිදුවිය. ‍එවකට මම මධ්‍යම පළාතේ ආණ්ඩුකායා වූ බැවින් සිද්ධිය මා දැනගත් නමුත්, ඉතිහාසය පුරාම සිදුවී ඇති අයුරින්ම එය සිරස්තලයක් වූවේ නැත.

2021 අගෝස්තු 22 අවසන් රන්දෝළි පෙරහැරේ දී කතරගම දේවාලයේ අලි තිදෙනෙකු හෝ සිව් දෙනෙකු කුලප්පු විය. කුලප්පු වූ එක් සතෙකු දළදා කරඬුව වැඩමවූ අලි පන්තිය අසලට පැමිණි නමුත්, නැදුන්ගමුවේ ඇතා ද, දෑලේ ඇත්තු ද නොසෙල්වී කිසිදු කලබලයකින් තොරව සිටියේය.

රූපවාහිනියෙන් ද, අන්තර් ජාලයෙන් ද සජීවී යැයි කියා පෙර දින පෙරහැර පෙන්වනු ලැබීය.

ටීකාව

පෙරහැර සංස්කෘතියකි! දේශපාලනය ද සංස්කෘතියකි!!
පසු සටහන – මෑත කාලයේ රටේම අලි ඇතුන් පෙරහැරට එක් කර ගන්නට දරණ උත්සාහය නිසා පෙරහැර දිගු වී ඇත. අලි කුලප්පුවීම් වැඩිවීමට එය ප්‍රධාන හේතුවකි.

පුවත්

කඳාන වෙඩි ප්‍රහාරයෙන් එක් අයෙකු මරුට (Update)

Published

on

By

කඳානේදී අද (03) සිදුවූ වෙඩි ප්‍රහාරයකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

සිද්ධියෙන් තුවාල ලැබූ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සමීර මනහර මහතා ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරාංචි මාර්ග සඳහන් කරයි.


(පෙර පුවත 2025 ජුලි 03 පෙ.ව.11.02 )

කඳාන වෙඩිතැබීමකින් හිටපු ඇමති ගේ පෞද්ගලික ලේකම්ට තුවාලයි!

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෝටර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු හට කඳාන ජනතා පොළ ආසන්නයේදී අද (ජූලි 03) වෙඩි තබා තිබේ.

මෙම සිද්ධියෙන් හිටපු අමාත්‍ය – මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සමීර මනහර මහතා ද තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

තුවලකරුවන් රාගම රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Continue Reading

පුවත්

මර්වින් ඇතුළු තිදෙනාට ඇප

Published

on

By

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනාට ඇප නියම කර තිබේ.

මර්වින් සිල්වා මහතා විසින් ඉදිරිපත් කරන ලද ඇප අයදුම්පත අද (03) ගම්පහ මහාධිකරණ විනිසුරු ඩබ්. කේ. ඩී. විජයරත්න මහතා ඉදිරියේ දී සලකා බැලුණු අතර, එහිදී විත්තිකරුවන් වූ මර්වින් සිල්වා, ජයන්ත කබ්රාල් සහ නවීන් වීරකෝන් යන විත්තිකරුවන් තිදෙනාටම ඇප හිමි වුණි.

එක් අයෙකු රු. ලක්ෂ 2ක මුදල් ඇපයක් බැගින් හා රු. ලක්ෂ 50ක ශරීර ඇප පහක් මත නිදහස් කෙරුණි.

ඔවුන්ගේ විදේශ ගමන් ද තහනම් කර තිබේ.
තවද සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙස විත්තිකරුවන්ට දැඩි ලෙස අවවාද කෙරුණු අතර සෑම ඉරිදා දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසද විනිසුරුවරයා නියෝග කළේය.

Continue Reading

පුවත්

මොනරා ගමනය නිමයි; ස්වර්ණවාහිනිය අර්බුදයක; ටෙලි නිෂ්පාදකයෝ අමාරුවේ

Published

on

By

ආඩම්බරකාර ටෙලිවිෂන් සම්ප්‍රාප්තිය ලෙස වර ගන්වමින් මීට වසරකට පෙර ආරම්භ කරන ලද මොනරා TV වසා දැමීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ.

කෙසේවුවද, එහි සේවකයන්ට දන්වා ඇත්තේ පරිපාලන අවුලක් නිරවුල් කර ගැනීමට මෙය තාවකාලිකව වසා දැමුණු බවයි.

ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයට අනුබද්ධිතව ආරම්භ කරන ලද මොනරා TV ඉකුත් 2024-06-25 වැනිදා වෝටර්ස් එජි හි විශාල උත්සවයක් පවත්වා ආරම්භ කරන ලදී.


එහි ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලැබුවේ බුද්ධික වික්‍රමාදර මහතා ය.

කෙසේවුවද, ආදළ රූපවාහිනී නාලිකාවට ටෙලිනාට්‍ය සපයන ලද ටෙලිනාට්‍ය නිෂ්පාදකයින්ට රුපියල් ලක්ෂ 2000 ක පමණ හිඟ මුදල් පවතින බවද පැවසේ.

මේ අතර, ආර්ථික කඩාවැටීමකින් ක්‍රියාත්මක වන ස්වර්ණවාහිනී නාලිකාවද දැඩි මූල්‍ය අර්බුදයක සිටින බව පැවසේ.

ස්වර්ණවාහිනිය කලක සිට ටෙලිනාට්‍ය වලට ගෙවනු ලැබුවේ කොටස් 60ක් පමණ එම නාලිකාවේ විකාශයවීමෙන් පසුව බවද වාර්තා වේ.


ඒ අනුව ටෙලිනාට්‍ය නිෂ්පාදකයකුට රුපියල් ලක්ෂ 150ක් පමණ ටෙලිනාට්‍යකට ආයෝජනය කර එහි මුදල් ලබා ගැනීමට මාස තුනකට ආසන්න කාලයක් බලා සිටීමට සිදුව ඇති බව ද ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු අප වෙත පැවසීය.

එසේ මුදල් ගෙවීමේදී ද මුදල් ගෙවනු ලබන්නේ කොටස් 5ක් වැනි ප්‍රමාණයකට බවද වාර්තා වේ.


මේ පිපිරීමත් සමඟ ටෙලිනාට්‍ය නිෂ්පාදකයින් දැඩි අර්බුදයක පවතින බවද වාර්තා වේ.
එසේම, ස්වර්ණවාහිනියේ වත්මන් ප්‍රධාන විධායක නිලධාරී සුසාර දිනාල් මහතා එම ධූරයට පත්වීමට පෙර එයට ටෙලිනාට්‍ය සැපයූ ටෙලි නිෂ්පාදකයින්ට ඔවුන්ගේ විකාශය වූ ටෙලිනාට්‍යවල මුදල් ලබා ගැනීම තවත් අපහසුව ඇතැයි වාර්තා වේ.

ඒ අදාළ මුදල් සුසාරට පෙර එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ උදාර විජේසිංහ මහතාගෙන් ඒවා ඉල්ලා ගන්නා ලෙස වත්මන් පාලන අධිකාරිය විසින් පැවැසීම නිසාය.

ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ හිමිකරුවන්නේ ලයිකා මොබයිල් හිමිකාර සුභාෂ්කරන් අලි රාජා මහතා ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved